විනයක් නොමැති රටක් ගොඩනංවන්න හැකියාවක් නෑ | දිනමිණ

විනයක් නොමැති රටක් ගොඩනංවන්න හැකියාවක් නෑ

පැල්පොළ විපස්සි හිමියෝ කියති

විනයානුකූල බව ශිෂ්ඨසම්පන්න කම කුඩා කාලයේ සිටම පැවැතිය යුතු බවත් විනයක් නොමැතිව රටක් ගොඩනැංවීමට නොහැකි බවත් පැල්පොළ විපස්සී හිමියෝ පැවසූහ.

රුක් රෝපණයේ සහ වෘක්ෂලතා ආරක්ෂාකිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කළ උන්වහන්සේ අවධාරණය කෙළේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම එකම ශාස්තෘන්වහන්සේ බුදු රජාණන් වහන්සේ බවත් උන්වහන්සේ විශ්වවිද්‍යාල වෙත නොගියත්, උපාධි නොලැබුවත් උන්වහන්සේගේ ධර්මය පාදක කරගෙන විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් සිදුකරමින් උපාධි ලබාදීමට පියවර ගන්නා බවයි. බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම සිදුවූයේ වෘක්ෂ දායක කරගෙන බව පැවසූ පැල්පොළ විපස්සී හිමියෝ උන්වහන්සේගේ ගසයට විප්ලවය හේතුවෙන් තුන්ලොවටම අග්‍රවෙමින් ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයා වූ බවයි.

දරුවාගේ උපන් දිනයට පැළයක් සිටුවා ආදර්ශමත් වන ලෙසට මවුපියන්ගෙන් ඉල්ලීමක් කළ උන්වහන්සේ දරුවන්ටද අවබෝධකර දුන්නේ එක පැළයක් හෝ රෝපනය කරන ලෙසටයි. රුක් රෝපනයට වන සංරක්ෂණයට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දක්වන උනන්දුව උන්වහන්සේ අගය කළහ.

පැල්පොළ විපස්සී හිමියෝ මේ බව ප්‍රකාශ කෙළේ (14) අරලියගහ මන්දිරයේ පැවැති පාසල් දරුවන් සිල් සමාදන් කරවීමේ පුණ්‍ය කටයුත්තේදීය.

නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත නාහිමියෝ දරුවන්ට අටසිල් සමාදන් කරවීම සිදුකළහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන් දෙදහස් පන්සීයක් සිල් සමාදන් කරවීමේ ඓතිහාසික අවස්ථාව සිදු වුණි. දරුවන් සමඟ විදුහල්පතිවරුන් ගුරුවරුන්ද සිල්සමාදන්වීමට එක්වූහ.

මෙම පුණ්‍ය කටයුත්ත අති සාර්ථකව සිදු කිරීමට සියලු කටයුතු සම්බන්ධීකරණය කෙළේ සේදවත්ත පුරාණ රජමහා විහාරාධිපති අඹන්වෙල ඤාණාලෝක නාහිමියෝය.

මෙම ඓතිහාසික අවස්ථාවේ තවදුරටත් අදහස් දක්වමින් පැල්පොළ විපස්සී නාහිමියෝ මෙසේද පැවසූහ.

කිසිම ජාතියකට ආගමකට පරිභව නොකරන්න. බෞද්ධ ගීත ගායනා කරමින් මොහිදීන් බෙග් මහතා ජනප්‍රියවූවෙකි. ත්‍රස්තවාදී කල්ලි සෑම රටකම සිටිනවා. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ පමණින් සමස්ත මුස්ලිම් ජනතාවට ඇඟිල්ල දිගු නොකරන්න. සියලු ජාතීන් සමගියෙන් සිටිය යුතුයි.

විනයක් සැලැස්මක් ඇතිව යහපත් ගුණාංගයන් ඇතිව දිවිය සකස්කරගන්න.

බණ අහන්න. මනසේ රඳවාගෙන ජීවත්වන්න පුරුදු වෙන්න. පංචශීල ප්‍රතිපත්ති අපි රකිනවානම්, වෙන කිසිවක් අවශ්‍ය නෑ. සැපේදීත් දුකේදීත් ලද දෙයින් සතුටුවිය යුතුයි.

දඟකාර දරුවන් පැයක් එක තැනක දහම් අවබෝධය දෙමින් තබා ගැනීමත් සීලයකි. මෙවන් ශ්‍රේෂ්ඨ කටයුත්තක් සංවිධානය කිරීමට මුල් වුන අගමැතිතුමාටත් සම්බන්ධිකරණය සිදු කළ ඤාණාලෝකහිමියන් සිදුකෙළේ උතුම් පින්කමකි. ඒ පිළිබඳව මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවෙනවා.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ, ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ හා මැලේසියාවේ කරුණා සංගමයේ ආගමික උපදේශක ආචාර්ය කරදෙමියන ගුණරතන නාහිමියෝ මෙසේ පැවසූහ.

මෛත්‍රිය වපුරන්න. මෛත්‍රියෙන් රට බේරා ගත යුතුයි. රට වෙනුවෙන් කැපවෙන ත්‍රිවිධ හමුදාවට පොලිසියට ආශිර්වාද කරනවා.

මිහිඳු හිමිගේ පැමිණීමෙන් දේවානම්පියතිස්ස රජු වනසතුන් දඩයමේ නොගොස් අවිබිම තබා ධර්මය වැළඳගත්තා. අප ප්‍රගුණ කළයුතු පින්කම් දෙකකි. විපස්සනා භාවනාව සහ මෛත්‍රී භාවනාව එම පින්කම් දෙකයි.

ත්‍රස්තප්‍රහාරයට කිසිවකුට දොස් නොකියන්න. වෛරී ප්‍රකාශ කිරීම අත්හරින්න. සෑම වචනයක්ම ගුවනට එකතුවෙනවා. අහස්තලය පුරාවට උඩුගුවනට සෑම වදනක්ම එකතුවෙනබව අප මතක තබා ගත යුතුයි.

ඉංග්‍රීසි භාෂාව අප අනිවාර්යෙන්ම ප්‍රගුණ කළ යුතුයි. දරුවන් ඒ ගැන අවධානය යොමු කරන්න. සැබෑ ලෙස මවුපියන්ට ආදරය කරන්න. හරියාකාරව එක කාර්යක් සිදු කරන්න. සියොන් දේවස්ථානය සඳහා කන්ටේනරයක් පුරවා භාණ්ඩ රැගෙන ආවා. ඇමති රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සමඟ ගොස් ඒවා භාරදෙනවා. පොසොන් උත්සවය නිමිත්තෙන් උතුරේ දන්සැලක් පවත්වනවා. මියගිය මවුපියන් වෙනුවෙන් එය සිදු කරනවා. දුගී පවුලකින් පැවත ආ මා ඉගෙනීම ප්‍රගුණ කළ නිසා අද රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ ලබනවා. මගේ මවුපියන් එදා අප පවුලේ දහදෙනා නඩත්තු කෙළේ රුපියල් අසූපහක මාසික වැටුපකින්. මේවා පවසන්නේ දරුවන් හරිමඟට ගැනීමටයි.

ගයාන් චානුක විදානපතිරණ මහතා මෙසේ පැවැසීය.

ලෝකයේ වටිනාම ධර්මය තිබෙන ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය අප රටයි. මේ තරමට බණ කියන බණ අහන රටක් තවත් නෑ. එසේ වුවද බණ ඇසුවාට බණ පිළිගැනීම සිදු වන්නේ නැහැ. බණ කීමේදී වයස් මට්ටම් අනුව නියෝජනය වන පිරිස අනුව බණ කිව යුතුයි. තරුණ උදවියට දේශනා කළ යුතු බණ වැඩිහිටි සහ වියපත්වූවන්ට ගැලපෙන්නේ නැත. ඒ ගැන අව‍බෝධයෙන් ධර්මය දේශනා කළ යුතුයි.

ඇමැති අකිල විරාජ් කාරියවසම්, ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, අගමැති ලේකම් සමන් ඒකනායක, අගමැති අතිරේක ලේකම් කේ.පී. දයාරත්න, මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්වූහ. සිංගප්පූරු ජාතිකයන් රැසක්ද මේ අවස්ථාවට එක්වූහ.

කමනි අල්විස්
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ 

නව අදහස දක්වන්න