මීළඟ ජනපති ගැන කියන මෝදිගේ ආගමනය | දිනමිණ

මීළඟ ජනපති ගැන කියන මෝදිගේ ආගමනය

‘ශ්‍රී ලංකා සංචාරය කෙටි වූවත් එය ඵලදායී එකක්. අපේ හදවත් තුළ ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඉන්දියාව හැමවිටම ශ්‍රී ලංකාව සමඟ සිටින බවටත් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවටත් ශ්‍රී ලංකාවේ සිටින මාගේ සහෝදර සහෝදරියන්ට මම සහතික වෙනවා‘ ශ්‍රී ලංකාවේ පැය හතරක නිල සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ටුවිටර් මාධ්‍ය ඔස්සේ මෙරට ජනතාවට ඇති ඇල්ම ප්‍රදර්ශනය කළේය. ඒ වචන කිහිපය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශත වර්ෂ ගණනාවක් පවතින සබඳතාව තව තවත් ශක්තිමත් කරන්නක් විය.

ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය තනිව ආසන 303ක් දිනා ගත් අතර, මිත්‍ර පක්ෂ දිනා ගත් ආසන සංඛ්‍යාවත් සමඟ ඔවුනට හිමි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 354ක් විය. නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්ව මැයි මස 30 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේ නවදිල්ලියේ පිහිටි ජනාධිපති මන්දිරය හෙවත් රාස්ට්‍රපති භවන්හි දී පැවති දිවුරුම් දීමේ උත්සවයට සහභාගිවීම සඳහා මෝදි කරන ලද ආරාධනයට අනුව එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනය මහත් ඉහළින් පිළිගත් නරේන්ද්‍ර මෝදි මහතා සිය දෙවැනි ධුර කාලයේ පළමු නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම අප රටට දැක් වූ ඉමහත් ගෞරවයක් ලෙස සැලකිය හැකිය.

නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැති ධුරයට පත්වන්නේ 2014 වසරේය. එතැන් පටන් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි තෙවැනි අවස්ථාව මෙය විය. නරේන්ද්‍ර මෝදි මහතාගේ මුල්ම ශ්‍රී ලංකා සංචාරය සිදුවූයේ 2015 මාර්තු මාසයේය. එයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවකට අනුව සිදුවිය. මේ සංචාරයේ දී ඉන්දීය අගමැතිවරයා අනුරාධපුර, තලෙයිමන්නාරම සහ යාපනයේද සංචාරය කිරීමට ද ඉන්දීය සාමසාධක හමුදා භටයන් වෙනුවෙන් ඉදිකොට තිබෙන ස්මාරකය නැරැඹීමටත් පියවර ගත්තේය. මීට අමතරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් ඇමතීමට ද ඉන්දීය අගමැතිවරයා පියවර ගත්තේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ පාර්ලිමේන්තුව රැස් වී ඇති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතූ සිවුවැනි විදෙස් අගමැතිවරයා ඔහු වේ. එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතූ නව වැනි විදෙස් අගමැතිවරයා වාගේම සිවුවැනි ඉන්දීය අගමැතිවරයා ද ඔහුය.

මෙරට පාර්ලිමේන්තුව 1962 ඔක්තෝබර් 13 දා ඉන්දීය අගමැති පණ්ඩිත් ජවහර්ලාල් නේරු, 1963 දෙසැම්බර් 09 වැනිදා පාකිස්තානු හිටපු ජනාධිපති ෆීල්ඩ් මාර්ෂල් මොහොමඩ් අයුබ් ඛාන්ද, 1973 අප්‍රේල් 28 වැනිදා ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ද, 1975 දෙසැම්බර් මස 16 වැනිදා පාකිස්තානු හිටපු ජනාධිපති සුල්ෆිකාර් අලි බූටෝ ද, 1979 පෙබරවාරි මස 06 වැනිදා ඉන්දියාවේ හිටපු අගමැති මොරාජි දේශායි ද පාර්ලිමේන්තුව අමතා ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීමෙන් පසු 1985 අප්‍රේල් මස 13 වැනිදා මහ බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් ද, 2003 අගෝස්තු මස 15 වැනිදා හා 2013 මැයි 31 වැනිදා තායිලන්ත අගමැති තක්සින් ෂිනවත්‍රා‍ පාර්ලිමේන්තුව අමතා ඇති අතර, 2015 දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමතනු ලැබීය.

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් වසර 13ක කාලයක් ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය. නරේන්ද්‍ර මෝදි යනු ආර්ථිකමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් බුද්ධිමත් නායකයකු නොවේ යන පුහු මතයක් ඉන්දියානුවන් තුළ එවකට පැවැති අතර, ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇති කොට ඒ අරගල තුළින් දේශපාලන වාසි සොයන ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කරන අයකු ලෙස එරට මාධ්‍ය එදා මෝදිව හඳුන්වනු ලැබීය. අනෙක ඔහු වසර 13ක් මහ ඇමැති ධුරය දැරූ ගුජරාට් ප්‍රාන්තය ආගමික හා ජාතිවාදි කෝලාහලවල මරමස්ථානයක් ලෙස පැවතිනි. එම ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස කටයුතු කරමින් සමස්ත ඉන්දියාවේම ප්‍රතිරූපය කෙළෙසූ බවට ද මෝදිට චෝදනා එල්ල වී තිබුණි.

නරේන්ද්‍ර මෝදි 2014 වසරේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට මුහුණ දුන්නේ එවන් ප්‍රහාරාත්මක ප්‍රචාරයන් මධ්‍යයේය. ඒ මැතිවරණයේ දී ජනතා තීරණය මෝදි වුවහොත් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ඇති විය හැකි බවට දේශපාලන විචාරකයන් එදා මත පළ කළහ. දේශසීමා අර්බුද වෙනත් මුහුණුවරක් ගෙන දකුණු ආසියාතික කලාපයේ බොහෝ දේ වෙනස් විය හැකි බවට චෝදනා කළ මාධ්‍ය සඳහන් කළේ මෝදි පිළිබඳව ජනතාවට ඇති ලොකුම ප්‍රශ්නය ඔහු සිතාමතාම ජනතා ප්‍රශනවලට පිළිතුරුදීම මඟහැරීම බවත් වාර්ගික කෝලාහල ඇති කොට ජන සංහාරයක නිරත වූ අයකු අගමැති ලෙස පිළිගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරමින් ලෝකයේ විශාලතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයේ මෙවන් අයකු අගමැතිවීමෙන් ඉදිරි ගමන් ම‍ඟෙහි ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳ මාධ්‍ය ප්‍රශ්න කරමින් සිටි මොහොතක ඒ අභියෝග සියල්ල කනපිට හැරවීමට හෙතෙම උත්සුක විය.

එවැනි අභියෝග රැසක් ජයගෙන එල්ල වූ චෝදනා සියල්ල පසෙකලා කිසිවකුත් නොසිතූ ආකාරයෙන් නරේන්ද්‍ර මෝදි අගමැති ධුරයට පත්වන්නේ 2014 වසරේ දී ය. ඉතිහාසයේ බොහෝ අවස්ථාවල ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවීම්වල සමාන සබඳකම් දැක් වූ අයුරු අප දැක ඇත්තෙමු. 2014 ඉන්දියාවේ සිදු වූ දේ 2015 දී ශ්‍රී ලංකාවේ ද සිදුවිය. එනම් ඉන්දියාවේ කිසිවකුත් නොසිතූ මෝදි අගමැති වුණාසේ ශ්‍රී ලංකාවේ කිසිවකුත් නොසිතූ අයුරින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණේය. නරේන්ද්‍ර මෝදි සිය පළමු ධුර කාලයේ දී අභියෝග රැසකට මුහුණ දුන්නේය.

එල්ල වූ චෝදනා අපමණය. එහෙත් ඔහු ඒ කිසිවකට සැලුනේ නැත. ඒ අභියෝග හමුවේ සිය ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. හොරකම, දූෂණය තුරන් කරන්නට කැපවිය. ඒ අයුරින් සිය දෙවැනි ධුර කාලය සඳහා තරග කළේය. එහි දී ඉතිහාසයේ කිසිවකුත් නොලද ආකාරයේ විශිෂ්ට ජයක් මෙවර මැතිවරණයේ දී හිමි කර ගත්තේය.

2015 දී මෙවැනිම අභියෝග රැසකට මුහුණ දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාලන සමය තුළ ජනතාවාදී වූ බව කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. දූෂණය, වංචාව, අල්ලස පිටු දැක දූෂණයෙන් තොර රටක් බිහි කරන්නට මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කැපකිරීමක් සිදු කළේය. මෝදි ඉන්දියාවේ සිදුකළ දේම මෛත්‍රී ශ්‍රී ලංකාවේ සිදු කළේය. ඉන්දියාවේ මෝදිට එල්ල වූ ආකාරයේම විරෝධතා ගැටලු ශ්‍රී ලංකාවේ දී මෛත්‍රීට ද ඇති විය. මේ අනුව මෝදි හා මෛත්‍රී අතර ඇත්තේ සමාන ප්‍රතිපත්තිමය සබඳතාවකි. ඒ වගේම ඉන්දියාව හා ශ්‍රී ලංකාව කියන දෙරට අතර ඇත්තේ ද කිසිවකුටත් වෙනස් කළ නොහැකි සංස්කෘතික සමාජයීය හා දේශපාලනික සබඳතාවකි.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වන විට ඉන්දියාවේ ප්‍රථම අගමැතිනිය ලෙස ඉන්දිරා ගාන්ධි පත් වූවාය. ඉන්දියාවේ අගමැති රජිව් ගාන්ධි ඉන්දියාවේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය යන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ආමර්වීදියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය යන්නේය. ඉන්දියාවේ සුලි කුණාටු මෙන්ම ස්වභාවික ව්‍යසනයන්ට වගේම බලපෑමට යට වන විට ශ්‍රී ලංකාවට ද ඒ ව්‍යසනයේ බලපෑම දැනෙන්නේය.

සංස්කෘතිකමය, ආගමික, දේශපාලනමය මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයන් තුළ දෙරට අතර පවතින්නේ සමාන සබඳතාවකි. ඒ සබඳතා මත කල් ගෙවන දෙරට තුළ එනම් ඉන්දියාවේ මැතිවරණය පවත්වා අවසන්ය. එහි ප්‍රතිඵලය වූයේ 2014 කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි අගමැති ධුරයට පත් නරේන්ද්‍ර මෝදි සිය දෙවැනි ධුර කාලය සඳහා ද විශිෂ්ට ජයග්‍රහණයක් ලබා බලයට පත්වීමය.

මීළඟට ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට මුහුණදීමය. ශ්‍රී ලංකාවේ 2019 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දෙවැනි ධුර කාලය සඳහා තරග වදිනු ඇත. ඒ අනුව එහි ප්‍රතිඵලය ද ඉන්දියානු ප්‍රතිඵල හා සමානවීමේ ප්‍රවනතාව වැඩිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාලනය හිමි කර දෙන මැතිවරණ ප්‍රතිඵලය කුමක් වීද යන්න සිතා ගත හැකිය.

ටී. චන්ද්‍රසේකර

නව අදහස දක්වන්න