නායකයන්ගේ හොඳ හිත | දිනමිණ


 

නායකයන්ගේ හොඳ හිත

මාලදිවයින් රාජ්‍යයෙහි හිටපු ජනාධිපතිවරයකු සේම වත්මන් කථානායකවරයා ද වන මොහොමඩ් නෂීඩ් මහතා ඇතුළු දූත පිරිසක ශ්‍රී ලංකාවට පැමිණ අපට ලබාදුන් ධෛර්යයට කෘතඥතාව පළ කළ යුතුය. ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව විශ්වාසයෙන් යුතුව සංචාරයේ යෙදීමට සුදුසු රාජ්‍යයක් බව ලෝකයට ඒත්තුගැන්වීම ස්වකීය සංචාරයේ අරමුණ බවය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ දූත පිරිස ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. එහි එක අරමුණක් වන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මාලදිවයිනෙහි සහයෝගය ලබාදීම ය. අමතක නොකළ යුතු කාරණයක් වන්නේ මාලදිවයිනෙහි ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තය බව ය.

මොහොමඩ් නෂීඩ් මහතා රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් හෘදයාංගම අදහස් ගණනාවක් පළකර තිබේ. ඔහුට අනුව මුස්ලිම් ජනයා ද සිංහල ජනයා ද ඥාතීහු පිරිසක් වෙති. අපේ භාෂාව හා සංස්කෘතිය දෙකක් නො ව එකක් බව ඔහු කියා සිටී. ඊට විද්‍යාත්මක සාධක පෙන්වා දෙන නෂීඩ් මහතා සිංහල හා මාලදිවයිනෙහි දිවෙහි භාෂාව එක ම භාෂා මූලයකින් පැවැත එන බව පෙන්වා දෙයි. අවුරුදු දහස් ගණනක සිට ඥාතීන් ලෙස ජීවත් වූ දෙපිරිස වෙන්වීමට ඉඩ නොතැබිය යුතු බව ද ඔහු කියා සිටී. තමන් ඇතුළු දූත පිරිස ඒ සඳහා මැදිහත් ව ක්‍රියා කරන බව ද නෂීඩ් මහතා පෙන්වා දෙයි. මාලදිවයිනෙහි කථානායක මොහොමඩ් නෂීඩ් මහතාට නැවත වරක් ජාතියේ කෘතඥතාව පළවිය යුතු ය.

මේ දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය ද, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ද අපට බෙහෙවින් වැදගත් බව කිව යුතුය. පාස්කු ප්‍රහාරයෙන් පසු විදේශීය නායකයකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගමන මෝදි මහතා සටහන් කළේ ය. පාස්කු ප්‍රහාරයෙන් පසු විදේශීය රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි දෙවන අවස්ථාව මාලදිවයින් දූත පිරිස සටහන් කළහ. මෙයින් ලෝකයට ලබා දෙන වැදගත් පණිවිඩය වන්නේ ශ්‍රී ලංකාව සුරක්ෂිතය යන්න ය. එහි ආරක්ෂාව ගැන කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නැති බව ඔව්හු සනාථ කරති. මේ මොහොතේ අපට වැදගත් වන්නේ වචනයෙන් නො ව; ක්‍රියාවෙන් දක්වන සහයෝගය යැයි කිව හැකි ය. ඉන්දියාවත්, මාලදිවයිනත් එය ඉටු කරති.

ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදෙකලා ගමනක් නැති බව මේ වනවිට සනාථ වී තිබේ. ශ්‍රී ලංකාවට ද එම තත්ත්වය පොදු ය. කලාපීය වශයෙන් ද, ලෝක මට්ටමෙන් ද පවතින ආර්ථික සබඳතා හා දේශපාලන සබඳතා රටක ඉදිරි ගමන තීන්දු කරයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බොහෝ විට පදනම් වන්නේ නොබැඳි පිළිවෙතක් මත ය. එහි අර්ථය වන්නේ වමට හෝ දකුණට හෝ බර විදේශ ප්‍රතිපත්තියක් අපට නැති බව ය. ලෝකයේ සියලු බලවතුන් සමඟ හොඳ හිත පවත්වාගෙන යන විදේශ ප්‍රතිපත්තියක් අපට තිබේ. ඒ අතර කලාපීය රටවල් සමඟ සමීප මිත්‍රත්වයක් ද අපට තිබේ. ඉන්දියාව, මාලදිවයින වැනි රටවල් මේ මොහොතේ අපට දක්වන ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ ද අපේ කලාපීය සබඳතාවල සාර්ථකත්වය යැයි කිව හැකි ය.

පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සියයට හැටකින් පමණ කඩාවැටුණු බව වාර්තා විය. එහි සැබෑ තත්ත්වය ඊටත් වඩා වැඩිවිය හැකි ය. එහෙත් මේ වන විට අපේ සංචාරක කර්මාන්තය යළි ගොඩනැ‍ඟෙමින් පවතී. ජර්මනිය, ඉන්දියාව, ස්විස්ටර්ලන්තය, මාලදිවයින, චීනය ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට සම්බන්ධ සංචාරක තහනම ඉවත් කරගෙන ඇත. නැතහොත් ලිහිල් කරගෙන ඇත. එය සාධනීය තත්ත්වයකි. ඉන්දීය අගමැතිගේ නිල සංචාරයෙන් ද මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රික පිරිසගේ නිල සංචාරයෙන් ද අපේ සංචාරක කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් ඇති විය හැකි ය. මේ නිල සංචාර දෙකෙන්ම කියැවෙන්නේ ලෝකයේ ඕනෑම නායකයකුට සංචාරය කිරීමට තරම් සුදුසු ආරක්ෂක තත්ත්වයක් ශ්‍රී ලංකාවේ පවතින බව ය.

ඉස්ලාම් අන්තවාදයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ අනතුර ‍ගැන ස්වකීය කනගාටුව පළ කර ඇති රටවල් කිහිපයක් ත්‍රස්තවාදය තුරන් කිරීමට ද, අන්තවාදය පරාජය කිරීමට ද සහයෝගය ලබාදීමට ද එකඟ වී ඇත. ජපානය පවා ඒ අතර සිටී. මේ අතර “ෂැංග්හායි” සමුළුව ද, සිකා සමුළුව ද ආසියාවේ ත්‍රස්තවාදය හා අන්තවාදය ගැන සාකච්ඡා කර ඇත. ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දෙන ආකාරය ගැන ද ඉහත සමුළු දෙක සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකාව තනි වී නැතැ’යි යන හැඟීමක් ඒ ඔස්සේ ඇති කර ගත හැකි ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ නියෝජිත පිරිසක සමඟ ද, ශ්‍රී ලංකාවේ යුරෝපීය තානාපතිවරුන් සමඟ ද සාකච්ඡා වට දෙකක් පැවැත්වූහ. මේ සාකච්ඡා‍වලදී කරුණු දෙකක් හෙළිදරව් වී තිබේ. පළමු කාරණය වන්නේ ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජය කිරීම සඳහා ඉහත රටවල සහයෝගය ලැබෙන බව ය. දෙවන කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ද ඉහත රටවල ආධාරය හා සහයෝගය ලැබෙන බව ය. එය සාධනීය තත්ත්වයකි. ත්‍රස්තවාදයට හා අන්තවාදයට සාර්ථකව මුහුණ දෙන අතර වේගවත් ආර්ථික පිම්මක් පැනීමට ශ්‍රී ලංකාවට ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ. පවතින තත්ත්වය හා සාධක කළමනාකරණය කරගතහොත් අපේක්ෂිත ඉලක්ක කරා පහසුවෙන්ම ගමන් කළ හැකි පසුබිමක් පවතින බව නායකයන් වටහාගත යුතු ය.

අගමැතිවරයාගේ සිංගප්පූරු චාරිකාව මෙන් ම ජනාධිපතිවරයාගේ ‘සිකා’ සමුළු සහභාගිත්වය ද අපට බෙහෙවින් හිතකර හා වාසි සහගත පරිසරයක් නිර්මාණය කර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු යළිත් මුළු ලෝකයේ ම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු වී ඇතැ’යි කීම අසත්‍යයක් නොවේ. මේ අවධානය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ගැළපෙන සේ කළමනාකරණය කරගැනීම ඇත්තේ අපේ නායකයන් අතේ ය. මේ මොහොතේ දේශපාලන කඹ ඇදීම් නවත්වා විපක්ෂය පවා රටේ ඉදිරි ගමනට ඍජු දායකත්වයක් සැපයිය යුතුය. දේශපාලන පක්ෂවල හුදු ජයග්‍රහණවලට වඩා රටේ පොදු ජයග්‍රහණය වැදගත් බව අප කාගේත් පිළිගැනීම ය.

නව අදහස දක්වන්න