දුම්රිය ස්ථාන 53කට වයිෆයි කලාප 89ක් | දිනමිණ

දුම්රිය ස්ථාන 53කට වයිෆයි කලාප 89ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, ලංකාකොම්, මොබිටෙල් සහ එටිසලාට් මඟින් දුම්රිය ස්ථාන පනස් තුනක් සඳහා Wi-Fi කලාප අසූ නමයක් ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත.

දුම්රිය ස්ථාන පනස් තුනක් ආවරණය වන පරිදි ලබාදී ඇති Wi-Fi කලාප සම්බන්ධතා පහසුකම්වලින් 55%ක් එනම් Wi-Fi කලාප හතළිස් නමයක් සඳහා අන්තර්ජාල සම්බන්ධතා ඩයලොග් ආයතනය සපයා දී ඇත. අනෙකුත් අන්තර්ජාල සේවා පහසුකම් සපයන ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකාකොම්, මොබිටෙල්, එටිසලාට් යන ආයතන පිළිවෙලින් දුම්රිය ස්ථානයන්හි Wi-Fi කලාප විසිහයකට, පහකට, හතකට සහ දෙකකට අන්තර්ජාල සම්බන්ධතාවන් ලබා දී ඇත. Wi-Fi සම්බන්ධතා ලබාදීමේදී දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි දුම්රිය ස්ථාන සඳහා අන්තර්ජාල පහසුකම් සපයා ඇති අතර එම Wi-Fi කලාප අසූ නමයෙන් හතළිස් හතරක් එනම් සමස්ත දුම්රිය ස්ථාන සඳහා ලබාදී ඇති Wi-Fi පහසුකම් කලාපයන්ගෙන් 49.44%ක ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළත් එයින් කලාප විසිදෙකක් කොළඹ දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති දුම්රිය ස්ථාන දහ හතරක කේන්ද්‍ර ගත කර ඇත.

සබරගමුව පළාත තුළ එක් දුම්රිය ස්ථානයකට පමණක් Wi-Fi ආවරණය ලබාදී ඇති අතර එය කෑගල්ල දිස්ත්‍රික්ක‍යට අයත් රඹුක්කන දුම්රිය ස්ථානය වේ.

මධ්‍යම පළාතට අයත් Wi-Fi පහසුකම් සහිත දුම්රිය ස්ථාන තුන මහනුවර දිස්ත්‍රික්කය තුළත්, වයඹ පළාතට අයත් එම දුම්රිය ස්ථාන පහ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළත්, ඌව පළාතට අයත් Wi-Fi පහසුකම් සහිත දුම්රිය ස්ථාන පහ බදුල්ල දිස්ත්‍රික්කය තුළත් පිහිටා ඇත.

මෙම ව්‍යාපෘතියට අදාළ නියාමන සහ පසුවිපරම් කටයුතු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින් විධිමත්ව පවත්වාගෙන යනු ලැබේ.

 

නව අදහස දක්වන්න