පාඩුවට කඩිනම් ප්‍රතිකාර | දිනමිණ


 

පාඩුවට කඩිනම් ප්‍රතිකාර

රාජ්‍ය සන්තක ව්‍යාපාර ආයතන රාශියක් මුල්‍යමය වශයෙන් පීලි පැන තිබේ. මේ ආයතන ගොඩගැනීම සඳහා වාර්ෂිකව මහජන මුදල් විශාල කන්දරාවක් ඒවාට පොම්ප කරනු ලැබේ. එම මුදල ගණනය කළ හැක්කේ ඇතැම්විට රුපියල් මිලියන ගණනින් නොව බිලියන ගණනිනි.

මේ තත්ත්වය නවතාගැනීම සඳහා කලක සිට විවිධ ප්‍රතිකර්ම යොදනු ලැබීය. ආධාර කරන රටවල් සහ ආයතන වරින්වර ශ්‍රී ලංකාවට අවවාද කරමින් කියා සිටියේ රාජ්‍ය සන්තක මහජන ව්‍යාපාර පිළිබඳව ආර්ථික පිරිමැසීමක් අවශ්‍ය බවයි.

චීනය, ඉන්දියාව සහ වියට්නාමය සිය ආර්ථික ප්‍රතිසංස්කරණයන්හිදී මුල් තැන දුන්නේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සුදුසු කඩිනම් ප්‍රතිකාර හඳුන්වා දීමට ය. ඒ අනුව ඇතැම් ව්‍යාපාර වසාදැමූ අතර තවත් ව්‍යාපාර පෞද්ගලික අංශයට විකුණා දමන ලදී. එසේම PPP සංකල්පය ඔස්සේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ලෙසද තවත් ආයතන රෙපෙයාර් කරනු ලැබීය.

රජය විසින් ‍තෝරාගත් රාජ්‍ය සන්තක ව්‍යාපාර 10ක් සමඟ සාමුහික අභිලාෂ ප්‍රකාශ කිරීමේ ගිවිසුම් 10කට අත්සන් තැබීම පසුගිය සතියේ මුදල් අමාත්‍යංශයේදී සිදු විය. රජය සතු ව්‍යාපාරයන්හි කාර්ය සාධනය ඉහළ නැංවීමේ අදහසින් සාමුහික අභිලාෂ සංකල්පය හඳුන්වා දෙන ලද්දේ 2017 දීය. 2017 පෙබරවාරි 07 වන දින මේ පිළිබඳ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන ආයතන පහ 2017 මාර්තු 15 දින සාමුහික අභිලාෂ ප්‍රකාශ ගිවිසුම්ගත වීමෙන් මේ නව වැඩපිළිවෙළ ආරම්භ විය.

රාජ්‍ය සන්තක ව්‍යාපාරයේ උපත ගැන ආර්ථික විද්‍යාඥයන් අතර ප්‍රචලිත මත කීපයකි. පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසු ඇති වූ ආර්ථික කඩාවැටීම් ආශ්‍රිත ආර්ථික අර්බුදයේ කුස තුළ රාජ්‍ය සන්තක ව්‍යාපාරික සංකල්පය පිළිසිඳ ගත් බවත්, දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ඇති වූ ආර්ථික අවපාතය තුළ මේ ජීවියා ඉතා හොඳින් හැදුණු වැඩුණු බවත් එක් මතයකි.

රාජ්‍ය ව්‍යවසාය

එසේම 1917 රුසියානු විප්ලවයෙන් පසු මාක්ස්වාදි ආර්ථික න්‍යායන් අනුගමනය කරන රාජ්‍යයක් රාජ්‍ය සන්තක ව්‍යවසායකත්වයට අනුගතවීමත් දෙවන ලෝක මහා යුද්ධය නිමාවීම සමග රුසියානු ගමන් මගට පිළිපන් තවත් රාජ්‍ය පොකුරක් පහළවීමත් රාජ්‍ය සන්තක ව්‍යාපාර ආර්ථික සංකල්පයේ වර්ධනයට හේතු වූ බවත් තවත් මතයකි.

ලොව කවර අන්දමේ ආර්ථික උපාය මාර්ග ක්‍රියාත්මක වුවත්, රාජ්‍ය සන්තක ව්‍යාපාර විවිධ අයුරින් නොනැසී පවතින බවට තර්ක කරන්නෝද වෙති. ශුද්ධ ධනවාදි ආර්ථිකයක් ලෙස හඳුන්වා දෙනු ලැබුවද, අමෙරිකාව තුළද රාජ්‍ය සන්තක ව්‍යවසායකවාදය ක්‍රියාත්මක ය. මුල්‍ය කටයුතු හා රක්ෂණ කටයුතු කෙරෙහි ආසක්තව සිටින රාජ්‍ය ව්‍යවසායන් එරට තුළ ජනප්‍රියව තිබේ. එසේම මහජන විශ්වාසය ද දිනාගෙන තිබේ.

දකුණු අප්‍රිකාව, චීනය, නවසීලන්තය, බ්‍රසීලය සහ ආර්ජන්ටිනා යන රටවල ද විවිධ ආර්ථික හැඩතල සහිත රාජ්‍ය ව්‍යවසායක මණ්ඩල සහ ආයතන ක්‍රියාත්මක ය.

දකුණු අප්‍රිකාවේ ESCOM POWER සමාගම ලෝකයේ 11 වන විශාලතම සමාගමයි. එසේම චීනයේ JING JIANG HOTELS සමාගමය සතු හෝටල් සංඛ්‍යාව 125 කි. මේවා විවිධ රටවල පිහිටා ඇත. බ්‍රසීලයේ තෙල් කර්මාන්තය රඳා පවතින්නේ රාජ්‍ය සමාගමක් යටතේය. ආර්ජන්ටිනා ටෙලිකොම් සමාගමය ද එවැන්නකි. තැපැල්, ගුවන්සේවා, දුම්රිය, ඛනිජ වැලි අපනයනය වැනි අංශයන්හි නියුතු රාජ්‍ය සමාගම් රාශියකි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බොහෝ චීන සමාගම් රාජ්‍ය සන්තක ආයතනයෝ ය.

සෞදි අරාබියේ ඉන්ධන ක්ෂේත්‍රයේ දැවැන්තම සමාගමයක් වන ARAMCO සමාගම 1988 දී ස්ථාපිත කරන ලද්දේ රාජ්‍ය සමාගමක් ලෙසිනි. එහෙත් දැන් සෞදිය නව ආර්ථික ප්‍රතිසංස්කරණ දෙසට යොමුවෙමින් සිටී. ඒ අනුව ඇරැම්කෝ සමාගමයේ අයිතිය පුළුල් කිරීමට තීරණය කර ඇත. වියට්නාමයේ වටිනා ඛනිජ වර්ග පිළිබඳ ව්‍යාපාරික අයිතිය වියට්නාම රජය සතුය. දැන් වියට්නාම සහ ප්‍රංශ සමාගම් එක්ව ව්‍යාපාරික කටයුතු කරන වානිජ පරිසරයක් ඇති කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල රාශියක් සහ ආයතන මහජන මුදල් ගිල දමන බහිරවයන් බඳුය. ඇතැම් ආයතනවල වාර්ෂික වාර්තා මුද්‍රණය වන්නේ නැත. දේශපාලන ඥාති සංග්‍රහ, දූෂණය, වගවීමෙන් තොරවීම, විනිවිදභාවයෙන් තොර මුල්‍ය කටයුතු සහ අකාර්යක්ෂමතාව නිසා මේ ආයතන සඳහා සුදුසු ප්‍රතිකාර ප්‍රමාදවීමෙන් ආර්ථික දේහයම අබල දුබල වෙයි. මේ ආර්ථික බර රටට ඔරොත්තු නොදෙන තරම්ය.

සාමුහික අභිලාෂ ගිවිසුම්

පසුගිය 2018 වසරේදී රාජ්‍ය ආයතන 54 අතරින් ආයතන 20ක අලාභය රුපියල් දස ලක්ෂ 26,000 ඉක්මවා ඇතැයි මුදල් ඇමැතිවරයාම කියයි. රට තුළ දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායක ආයතන සංඛ්‍යාව 400කි.

රජය සතු ආයතන ස්වාධීන කිරීම සඳහා වන සාමුහික අභිලාෂ ගිවිසුම් සඳහා පසුගිය සතියේදී ඇතුලත් වූ රාජ්‍ය ආයතන 10 මෙසේය.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, සතොස ආයතනය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, රාජ්‍ය දැව සංස්ථාව, කුරුණෑගල වැවිලි සමාගමය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, මිල්කෝ පෞද්ගලික සමාගමය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඒවාය.

රාජ්‍ය අයවැයෙන් ස්වාධීනව හා වානිජමය ශක්‍යතාවයෙන් යුතුව ක්‍රියාකිරීමේ හැකියාව වර්ධනය කිරීම, ආයතනික යහපාලනය ඉහළ නැංවීම, මුල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, මානව සම්පත් කළමනාකරණය කිරීම, මෙහෙයුම් විනිවිදභාවය හා වගවීම ඉහළ නැංවීම, ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවල ශක්‍යතාව හා ඵලදායකත්වය සහතික කිරීම සහ ආයෝජන සඳහා ප්‍රතිලාභ ජනනය කිරීමට ඉහත සඳහන් ආයතන මින්පසු ක්‍රියාකළ යුතුවේ. සාමුහික අභිලාෂ ප්‍රකාශය තුළ එමඅරමුණු අන්තර්ගත ය.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වැඩිකිරීමෙන් ආර්ථික ඉලක්ක සපුරාගැනීම සඳහා උපාය මාර්ගික වැදගත්කමක් ඇති රාජ්‍ය ආයතන වෙත සාධනීය ලෙස දායකවීමට ද සාමුහික අභිලාෂ ප්‍රකාශය මගින් හැකියාව ලැබෙනු ඇත.

සාමුහික අභිලාෂයන්හි ප්‍රගතිය රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරනු ලබන අතර කාලානුරූපිව අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබේ. මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත රජය සතු අනෙකුත් ව්‍යාපාර සඳහා ද මේ පියවර අනුගමනය කිරීම රජයේ අපේක්ෂාවයි.

මහජනතාවගේ අපේක්ෂාව වන්නේ ද කවර ප්‍රතිකර්මයකින් හෝ මේ මහජන මුදල් කාබාසිනියා කරන මකර කටවල් වසා දැමීමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සන්තක ව්‍යාපාර පාඩු ලැබීමේ ඉතිහාසය නිදහස ලැබීමටත් එපිට කාලයක් දක්වා ඈතට විහිදෙන බව රාජ්‍ය සන්තක ව්‍යාපාර පිළිබඳ වැඩමුළුවකදී කියැවිණි. මේ වැඩමුළුව පැවැත්වුණේ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයේ සහ ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් 2018 ජූලි අග සතියේ කොළඹදීය. රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි ප්‍රධානිහු ද එයට සහභාගි වූහ.

එහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ප්‍රකාශ කෙළේ නිදහසින් පෙර ක්‍රියාත්මක වූ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල සහ පරන්තන් රසායන කම්හල යන ආයතන දෙක පාඩු මැද පවත්වාගෙන යෑමට සිදු වූ බවයි. එසේනම් දැන් අප මේ පිළියම් සොයා වෙහෙසෙන්නේ නිදහසටත් පෙර කාලය තෙක් ඔඩුදුවා ඇති ආර්ථික තුවාලයකට ය.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට ලක් වූ අතර පසුව ලැයිස්තු ගත සමාගමක් විය. දහස් සංඛ්‍යාත කොටස් හිමියන්ගේ ආයෝජන ද විනාශ කර දැමීමට සමත් විය. පරන්තන් රසායන නිෂ්පාදනයේද පාලන ව්‍යූහය වෙනස් කර පාඩු මකන වැඩපිළිවෙළකට අනුගත විය.

ඉහත කී සමුළුවේදී වාර්තා වූ අන්දමට රාජ්‍ය සන්තක ව්‍යාපාර 400ක් අතරින් ආයතන 55ක් උපක්‍රමිකව වැදගත් ආයතන ලෙස හඳුනාගෙන තිබේ. 2017 දී මෙයින් ආයතන 45ක් සඳහා රුපියල් බිලියන 41 වියදම් කර ඇත. ආයතන 39 කින් ලැබූ ආදායම රුපියල් බිලියන 136 කි. ආයතන 16 කින් ලද පාඩුව රුපියල් බිලියන 87 කි. ආයතන 264 මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින අතර ආයතන 136ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින බවද එම සමුළුවේදී වාර්තා විය.

2018 තත්ත්වය ගැන කරුණු සඳහන් වන අන්දමට රජය සතු බොහෝ වානිජ ව්‍යවසායයන් වැඩි වශයෙන් බැංකු මූල්‍ය ණය මත රඳාපවතී. 2018 වසර තුළදී රාජ්‍ය සංස්ථාවලට සපයන ලද ණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. 2018 දී ලංකා විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ජල සම්පත් සහ ජලාපවහන මණ්ඩලය මගින් ලබාගත් ණය ප්‍රමාණය පිළිවෙළින් රුපියල් බිලියන 40.2, බිලියන 30.9, බිලියන 16 සහ බිලියන 15.3 කින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු 2018 වාර්තාව කියයි.

ණය මුදල් ගෙවීම්

තත්ත්වය මෙ‍සේ වුවද, ණය මුදල් ආපසු ගෙවූ රාජ්‍ය ව්‍යවසාය ආයතනද වෙති. 2018 මහබැංකු වාර්තාව පවසන අන්දමට කොළඹ පොහොර සමාගම ලංකා පොහොර සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන රාජ්‍ය ව්‍යවසාය තුන අදාළ වර්ෂයේදී බිලියන 13.0 ක පමණ ණය මුදල් ආපසු ගෙවා තිබේ. තවත් ආයතන ප්‍රතිසංස්කරණ මාර්ග අනුගමනය කර යහපත් ප්‍රතිඵල අත්කර දී ඇත.

සාමුහික අභිලාෂ ප්‍රකාශ සංකල්පයට අනුගතවන රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල මගින් අපේක්ෂිත මධ්‍යකාලීන අරමුණු ද සපුරාගත යුතුව තිබේ.

රාජ්‍ය දැව සංස්ථාව 2021 වන විට සිය ආදායම 20% කින් ඉහළ දමා ගත යුතුව තිබේ. එසේම ගෘහ භාණ්ඩ අලෙවි ආදායම සියයට 33කින් වැඩිකර ගත යුතුව තිබේ. එහි සේවක සංඛ්‍යාව 2000කි. ධාරිතාව ඉරන ලද ලී ඝන මීටර 5000 වන අතර නිෂ්පාදනය ඝන මීටර 4000කි.

මිල්කෝ සමාගය 2021 වනවිට සිය නිෂ්පාදනය සියයට 25 - 35 අතර ප්‍රමාණයකින් වැඩිකර ගත යුතුව තිබේ. ඒ සඳහා සිය දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර් ලක්ෂ 4 සිට ලක්ෂ 6 දක්වා වැඩි කරගත යුතුය. එසේම කිරිදෙනුන් සංඛ්‍යාව සියයට 28කින් වැඩි කරගත යුතුව තිබේ.

පශු අංශයේ දියුණුව සඳහා අවශ්‍ය මූලික කටයුතු රාශියක් දැනටම අරඹා තිබේ. ඒ අනුව නුවරඑළියේ පුණ්ඩලුඔය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇළ පශු සම්පත් නව කාර්යාල ඉදි කෙරේ. එසේම කිරි ගව පාලනය පොල් ත්‍රිකෝණයේ දියුණු කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ද ඇරැඹී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විවෘත වෙළෙඳ පොළේ සිය ආදායම සියයට 45කින් වැඩි කර ගැනීමට නියමිත ය. එසේම මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශ‍යද සියයට 10ක ආදායම් වැඩිවීමක් සඳහා කටයුතු කරනු ඇත. මේ අනුව සෙසු ආයතන 6 ද සිය කටයුතු වගවීමෙන් හා විනිවිදභාවයෙන් යුතුව නව ගමන් මඟක් ගොඩනගා ගත යුතුව තිබේ.

කො‍ටස් වෙළෙඳපොළ

ඉකුත් සතියේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ විශේෂත්වයක් වූයේ සිකුරාදා දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.14 දක්වා ඉහළ අගයක් වාර්තා වීමයි.

සඳුදා පිරිවැටුම රුපියල් දසලක්ෂ 75 කි. අඟහරුවාදා රුපියල් දසලක්ෂ 411 කි. බදාදා රුපියල් දසලක්ෂ 254 කි. බ්‍රහස්පතින්දා රුපියල් දස ලක්ෂ 235 කි.

සතියේ ගනුදෙනු අවසන් වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5384 කි. සතියේ ගනුදෙනු ආරම්භ වනවිට එම ඒකකය ස්ථාපිත ව තිබුණේ ඒකක 5300 තුළය. සතිය තුළ එම දර්ශකය ඒකක 84 ක වර්ධනයකි.

සතියේ වැඩිම ආයෝජන විශ්වාසය දිනා ගත්තේ ජේ.කේ.එච්.ලුබ්රිකන්ට් සහ ඇක්සස් සමාගම්ය. ජේ.කේ.එච්.කොටසක් රුපියල් 140 දක්වා ද, ලුබ්රිකන්ට් කොටසක් රුපියල් 61 දක්වාද, මිල වැඩි විය. දේශීය ආයෝජකයන් සක්‍රිය වන ලකුණු දක්නට ලැබුණු බව බරායිටර් වාර්තාව කියයි.

සිකුරාදා විදේශීය ආයෝජකයන් රුපියල් දස ලක්ෂ 61.4 ක කොටස් විකුණන ලදැයි ද රොයිටර් වාර්තාව කියයි.

කොටස් වෙළෙඳ‍පොළ පිළිබඳ අවශ්‍ය දැනුම සිසුනට ලබාදීම කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ ආයතනයන්හි එක් සේවාවකි.

මීගමුව, මහනුවර, යාපනය, කොළඹ, පානදුර, බණ්ඩාරවෙල, මඩකළපුව, කුරුණෑගල, ඇඹිලිපිටිය, අනුරාධපුර සහ ගාල්ලේ මෙවැනි අධ්‍යාපනික වැඩසටහනක් පැවැත් වූ බවත් ඉදිරියේදී තවත් අධ්‍යාපනික සේවා අරඹන බවත්, විනිමය සුරැකුම් පත් කොමිසම පසුගියදා නිකුත් කළ SEC වාර්තා‍වකින් කියයි. එසේම කුඩා හා මධ්‍යම පරිමාණ සමාගම් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කිරීමේ යෝජනාව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම වාර්තාව කියයි.

ගෝලීය සිදුවීම් සමඟ ශ්‍රී ලංකාව ද එක බැඳී සිටී. පසුගිය බ්‍රහස්පතින්දා ඕමාන ගල්ප් මුහුදු කලාපයේදී නෙදර්ලන්ත සහ ජපාන ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල විය.

මේ ප්‍රහාර සම්බන්ධව ඇමෙරිකාව ඉරානයට චෝදනා එල්ල කරයි. ව්‍යාපාරික පුවත් සහ මාධ්‍ය මේ සිදුවීම ගැන විවිධ විවරණ ඉදිරිපත් කරයි. දිනකට තෙල් බැරල් දසලක්ෂ 15 – 19 අතර ප්‍රමාණයක් ප්‍රවාහනය වන මේ මුහුදු ප්‍රදේශයේ ගැටුමක් ඇති වී තෙල් ප්‍රවාහනය අඩාල වුවහොත්, එය ශ්‍රී ලංකාවට ද අහිතකර බලපෑම් ඇති කරනු ඇත. බැංකොක් පෝස්ට් පුවත්පත පවසන අන්දමට මෙය තෙල් මිල ඉහළ යෑමකට තුඩු දෙනු ඇත.

විදේශ මාධ්‍යයන්හි පළ වී ඇති වාර්තාවනට අමතරව ඇ.ඩොලර් දස ලක්ෂ 141 ක් වටිනා ඉන්ධන නොවන භාණ්ඩ ඉරානය විසින් ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලබයි.

ලෝහ භාණ්ඩ, රසායන ද්‍රව්‍ය සහ යූරියා ඒ අතර වෙයි. ශ්‍රී ලංකාව තේ සහ පොල් නිෂ්පාදන ඉරානයට අපනයනය කරයි. ඉරානයට යවනු ලබන භාණ්ඩ සඳහා ගෙවීම් ලබාගැනීම ශ්‍රී ලංකාවට දුෂ්කරව ඇත. හේතුව ඇමරිකානු සම්බාධක තවත් දැඩි කිරීමයි.

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න