ආලෝක පූජාවෙන් ශිෂ්ටාචාරය වෙත! | දිනමිණ

ආලෝක පූජාවෙන් ශිෂ්ටාචාරය වෙත!

මිහින්තලා පුදබිමෙහි පැවැත්වෙන ‘ලේක්හවුස් ආලෝක පූජාව’ පෙරේදා දිනයේ දී විවෘත කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතියට ලබා දුන් පොරොන්දුව ඓතිහාසික එකක් බව කිව යුතු ය. ඒ අනුව ළඟදී ම දිනෙක මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්වනු ඇත. පොසොන් උත්සවය ද ජාතික උත්සවයක් බවට පරිවර්තනය වනු ඇත. දැනට අප පොසොන් පොහොය සමරනුයේ ආගමික උත්සවයක් හැටියටය. තවද පොසොන් පොහොය නිමිතිකොට පැවැත්වෙන ‘මිහිඳු පෙරහර’ රාජ්‍ය අනුග්‍රහය සහිත ව පැවැත්වීමට ද අගමැතිවරයා තීරණය කර තිබේ. මීට අදාළ රාජ්‍ය කටයුතු දැනට ම සිදුවන බව වාර්තා වෙයි. මේ සිද්ධිය අර්ථවත් කළ හැක්කේ ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය නැවත තහවුරු කිරීමක් හැටියට ය.

ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය, ආර්ථිකය හා සමාජ ක්‍රියාකාරීත්වයේ පදනම බුදුදහම බව කවුරුත් පිළිගනිති. අපේ ශිෂ්ටාචාරය බිහිවූයේ වැවත් - දාගැබත් පදනම් කරගෙන ය. අතීත රජවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය බවට පත්ව තිබුණේ වාරි කර්මාන්ත ඉදිකිරීම හා දාගැබ් ඉදිකිරීම ය. වාරි කර්මාන්තය ඔස්සේ ආර්ථික ස්වයංපෝෂිත බව ද දාගැබ් ඉදිකිරීම ඔස්සේ අධ්‍යාත්මික පාරිශුද්ධත්වය ද අපේක්ෂා කැරිණි. ඒ ඔස්සේ බිහිවූයේ ශිෂ්ටසම්පන්න පරිපූර්ණ ජාතියකි. එලෙස ම සාමකාමී රාජ්‍යයකි. විදේශ ආක්‍රමණ නිසා මේ සම්ප්‍රදාය හා ශිෂ්ටාචාරය පසුබෑමට ලක් විය. නූතන පාලකයන් එය නැවත ගොඩනඟන්නේ නම්; අතීත ශ්‍රී විභූතිය කරා අපට නැවතත් යා හැකි ය.

පොසොන් උත්සවය කරුණු දෙකක් මත අපට වැදගත් වෙයි. පළමු කාරණය වන්නේ බුදු දහම ශ්‍රී ලංකාවට දායාද වීම ය. දෙවන කාරණය වන්නේ මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීම ය. මේ කරුණු දෙක ම සැලැකිය හැක්කේ ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට ය. මහින්දාගමනයට පෙර ද ශ්‍රී ලංකාවේ ජනතාව බුදු දහම පිළිබඳ යම් අවබෝධයකින් සිටි බවට ඓතිහාසික සාධක තිබේ. එහෙත් ආගමක් හා දර්ශනයක් හැටියට බුදු දහම එදා මෙරට ස්ථාපනය වී තිබුණේ නැත. එය සිදුවන්නේ මහින්දාගමනයෙන් පසුව ය. ථෙරවාදී බුදුදහම පවතින ලොව එක ම රාජ්‍යය හැටියට ශ්‍රී ලංකාව ලෝකයේ ගෞරවයට පාත්‍ර වී ඇත. ඊට පදනම වැටෙන්නේ මහින්දාගමනයෙන් පසුව ය.

මහින්දාගමනය නිසා ශ්‍රී ලංකාවේ සමාජය ශිෂ්ට වූ බව ද විධිමත් වූ බව ද පිළිගත් කාරණයෙකි. අපේ ආර්ථිකය, කලා ශිල්ප හා අධ්‍යාපනය විධිමත් ආකාරයකින් සිදුවන්නට පටන් ගත්තේ ද මහින්දාගමනයෙන් පසුව ය. බුදුදහම රට තුළ ස්ථාපිත කිරීම සඳහා එදා ලැබුණු රාජ්‍ය අනුග්‍රහය මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. දේවානම්පියතිස්ස රජු බුදුදහම වැලඳගත් අතර එහි ව්‍යාප්තිය සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළේ ය. එහි ප්‍රතිඵලයක් හැටියට රට පුරා බුදුදහම ප්‍රචලිත විය. දේවානම් පියතිස්ස රජුගේ කාර්යභාරයෙන් පසු ශාසනයේ දියුණුවට කටයුතු කිරීම පාලකයාට අයත් කාර්යභාරයක් බවට පත් විය. දුටුගැමුණු රජු එළාර සමඟ යුද වදින විට ද කියා සිටියේ මාගේ මේ ව්‍යායාමය හුදෙක් ශාසනය බේරාගැනීම සඳහා ය යන්න ය. ශ්‍රී ලංකාවේ පාලකයා හා බුදුදහම අතර සම්බන්ධය එයින් පැහැදිලි වෙයි.

අද වන විට බෞද්ධ දර්ශනයේ හර පද්ධතිය බටහිර ලෝකයේ ද අවධානයට ලක් වී ඇත. මේ අනුව බටහිර උගත්තු හා පර්යේෂකයෝ බුදුදහම හා බුද්ධ චරිතය ගවේෂණය කරති. ඒ සඳහා ඇති හොඳ ම රාජ්‍යය ශ්‍රී ලංකාව බව පිළිගෙන තිබේ. පිරිසුදු ථෙරවාදී බුදුදහම පවතින රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර වී ඇත. බෞද්ධ දර්ශනය හැදෑරීම සඳහා ලොව පවතින ‍හොඳ ම අධ්‍යාපන ආයතන පවතින්නේ ද ශ්‍රී ලංකාවේ යැයි කිව හැකි ය. නොබෙල් ත්‍යාගලාභී හර්මන් හෙස ඔහුගේ අගනා කෘතිය වූ ‘සිද්ධාර්ථ’ රචනා කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කොට බුදුදහම පිළිබඳ කරුණු හැදෑරීමෙන් පසුව ය. හර්මන් හෙස ඔහුගේ මතක සටහන්වල ඒ බව ලියා ඇත.

විවිධ ආක්‍රමණ, අරගල හා වැරැදි මතවාද නිසාද ශාසනයේ ඉදිරි ගමනට බාධා ඇති වූ අවස්ථා ඉතිහාසයේ සටහන් වී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ බෞද්ධ පදනම බිඳ දැමීමට කිසිවකුටත් හැකිවන්නේ නැත. පසුගිය කාලය පුරාවට දැකගන්නට ලැබුණු සිදුවීම්වලින් ද ඒ බව තහවුරු වෙයි. වරෙක ශ්‍රී මහා බෝධිය ආසන්නයේ මිනිස් ඝාතන රැසක් සිදු විය. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ය. තව වරෙක දළදා මාලිගාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එහෙත් ත්‍රස්තයන්ගේ අරමුණු ඉෂ්ට වූයේ නැත. ශ්‍රී ලංකාව හා බුදු දහම අතර සම්බන්ධය නොබිඳිය හැකි දෙයක් බව විවිධ සිදුවීම් නිරීක්ෂණය කරන විට පැහැදිලි වෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බිහිවූ පාලකයන් ශාසනය ආරක්ෂා කර ඇත.

වත්මන් රාජ්‍ය පාලනය යටතේ ශාසනයේ අභිවෘද්ධියට කැපී පෙනෙන අනුග්‍රහයක් ලැබී තිබේ. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමෙන් අනතුරුව එය ලෝක උරුමයක් බවට පත්කිරීමේ කටයුතු ද දැන් සිදුවෙමින් පවතී. එය බුදු දහමේ අනාගත පැවැත්ම උදෙසා සිදු කරන විශිෂ්ටම කාර්යභාරය ලෙස හැඳින්විය හැකි ය. පාස්කු ප්‍රහාරයෙන් පසු එළැඹි පොසොන් උත්සවය ද වෙනදාටත් වඩා උත්කර්ෂවත් ලෙස සැමරීමේ අවස්ථාව ලැබිණි. ඊට හේතුව රජයේ මැදිහත් වීම ය. රජය මැදිහත් වී ආරක්ෂාව සලසමින් හා පහසුකම් සපයමින් ආගමික උත්සවවලට ජනතාව උනන්දු කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වෙසක් හා පොසොන් වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක විය.

අගමැතිවරයා පොසොන් උත්සවය හා මිහින්තලා පුදබිම පිළිබඳ අලුත් ආරංචිය ප්‍රකාශයට පත් කරන්නේ ‘ලේක්හවුස් ආලෝක පූජාව’ විවෘත කරමින් ය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පොසොන් සමයෙහි මිහින්තලා පුදබිම ආලෝකවත් කරන්නේ දීර්ඝ කාලයක සිට ය. මුල් යුගයේ ආලෝක පූජාව සිදු වී ඇත්තේ කොළඹින් ගෙන යන ලද ‘විදුලි ජනක’ යන්ත්‍ර ඔස්සේ ය. මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වන දිනයේ ද, මිහිඳු පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන දිනයේ ද එකතු වන පිනෙන් කොටසක් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට ද හිමිවනු ඇත.

 

නව අදහස දක්වන්න