අසාර්ථක මැද පෙළ පිතිකරුවන්ට අවසන් තරග හතරේ වැඩි වගකීම | දිනමිණ

අසාර්ථක මැද පෙළ පිතිකරුවන්ට අවසන් තරග හතරේ වැඩි වගකීම

ෆවුස් මොහොමඩ්

ආරම්භක පිතිකරුවන් ලෙස නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පැවැති කිහිපයේදී සාර්ථක ආරම්භයක් ලබාගත් අතර මෙතෙක් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලෝක කුසලාන තරගමාලාව තුළ ලකුණු 100 ඉක්මවූ එකම පිතිකරු යුගලය බවට පත්වී සිටිති. ඔවුන් දෙදෙනාම අර්ධ ශතක 2 බැගින් රැස් කර තිබේ.

නමුත් පිතිකරු පෙළගැස්මේ ඔවුන් පසුපසින් සිටින ළහිරු තිරිමාන්න (ඉනිම් 3යි. ලකුණු 45යි), කුසල් මෙන්ඩිස් (ඉනිම් 3යි. ලකුණු 32යි), ඇන්ජෙලෝ මැතිව්ස් (ඉනිම් 3යි. ලකුණු 9යි), ධනංජය ද සිල්වා (ඉනිම් 3යි. ලකුණු 20යි) සහ තිසර පෙරේරා (ඉනිම් 3යි. ලකුණු 36යි) මෙතෙක් සුපුරුදු දස්කම් අතරට එක් නොවීම ශ්‍රී ලංකා පිලේ පසුබෑමකට ප්‍රධානතම සාධකය බවට පත්වී තිබේ.

ලෝක කුසලාන තරගමාලාවේ පෙරේදා වනවිට (එංගලන්ත - ඇෆ්ගනිස්තාන තරගයට පෙර) ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පසුවූයේ හයවැනි තැනය. ඒ වනවිට ශ්‍රී ලංකා පිලට තරග 5ක් නිමාවට පත්වී තිබුණු අතර ඉන් තරග 2ක්ම වර්ෂාව නිසා අතහැර දැමූ ඒවා විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළේ තරග 3ක් පමණි. ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගය ජයගත් ශ්‍රී ලංකා පිල නවසීලන්තයට සහ ඔස්ට්‍රේලියාවට පරාජය විය.

නවසීලන්තය සහ ඉන්දියාව සිය අපරාජිතභාවය රැක ගනිමින් අවසන් කණ්ඩායම් 4ට සේන්දුවීමේ දොරටුව අබියස සිටින අතර පෙරමුණේ පසුවන ඔස්ට්‍රේලියාව ද අවසන් කණ්ඩායම් 4ට එක්වනු නිසැකය. සිවුවැනි තැන පසුවන සත්කාරක එංගලන්තය ද අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ බලාපොරොත්තු ශක්තිමත් කරගත් කණ්ඩායමකි. පස්වැනි තැන පසුවන බංග්ලාදේශය ද අවසන් පූර්ව වටයේ සිහිනය දකිමින් සිටි. කොදෙව් පිල, දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානවල පසුවන අතර අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ දමා ගනිමින් සිටී.

ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ තවත් තරග 4ක් පමණි. මේ මස 21 වැනිදා සත්කාරක එංගලන්තය සමගත්, 28 වැනිදා දකුණු අප්‍රිකාව සමගත්, ජූලි මස 1 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිල සමගත් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා පිල ජූලි මස 6 වැනිදා ඉන්දීය පිල සමග මූලික වටයේ අවසන් තරගයට එක්වනු ඇත. ලබන 21 වැනිදා ලීඩ්ස් හී හෙඩින්ග්ලි ක්‍රිකට් පිටියේ පැවැත්වීමට නියමිත මීළඟ තරගය සඳහා ශ්‍රී ලංකා පිල ලීඩ්ස් හී පුහුණුවීම් ආරම්භ කළ අතර අනිද්දා තරගයේදී එංගලන්තයේ අභියෝගයට සාර්ථකව මුහුණදීමේ බලාපොරොත්තු සහිතව පිතිහරඹය මුවහත් කරමින් සිටී.

ශ්‍රී ලංකා පිලට දරුණු හිසරදයක් බවට පත්වී ඇත්තේ මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයයි. තරගමාලාව ආරම්භයේ සිටම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් කැපී පෙනෙන දස්කම් පෑමට සමත්වූවත් මැදපෙළ පිතිකරුවන්ට ඊට කිසිදු දායකත්වයක් ලබාදීමට නොහැකි විය. ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ තරග 2දීම නියමිත ඕවර 50 වනතුරු කඩුල්ලේ රැඳී සිටීමට හැකියාවක් නොලැබිණ. මෙවර තරගමාලාවේ කණ්ඩායම් වැඩි ප්‍රමාණයක් ඔවුනොවුන්ගේ ඉනිම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියද මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වලතාව නිසා ශ්‍රී ලංකා පිලට එවැනි අවස්ථාවක් නොලැබිණ. එබැවින් තරගමාලාව තුළ තව දුරටත් රැඳී සිටීමට නම් ඉතිරි තරග කිහිපයේදී ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරුවන් හිස එසැවිය යුතුමය.


නව අදහස දක්වන්න