ප්‍රතිපත්ති මාලාවකට ක්‍රියාකරන ආණ්ඩුවක් පත්කර ගත යුතුයි | දිනමිණ

ප්‍රතිපත්ති මාලාවකට ක්‍රියාකරන ආණ්ඩුවක් පත්කර ගත යුතුයි

චන්ද්‍රිකා පෙරේරා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට අදහස් දක්වමින් ඡායාරූපය- කැළුම් ලියනගේ

පුද්ගල සාධක පසෙකලා ‘ප්‍රතිපත්ති මාලාවකට අනුව ක්‍රියාකරන ආණ්ඩුවක්‘ ඉදිරි මැතිවරණයේ දී පත් කර ගැනීමට ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ආණ්ඩුවේ තමන්ට අවනත පිරිසක් නොමැතිවීම හේතුවෙන් මෛත්‍රී පාලනයක් ගෙන යාමට ජනාධිපතිවරයාට නොහැකි වූ බව ද හෙතෙම අවධාරණය කෙළේ ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙසත් ඉදිරි මැතිවරණයට මුහුණ දීමට කටයුතු කළ යුතු බව තම විශ්වාසය යැයි ද සඳහන් කෙළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කෙළේ ය.

බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිතව ඇති ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම ( ඉවත් කිරීම) පනතට අප විරෝධය පළකරනවා. එය 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පතක්. 2011 පනතට අනුව පාඩු ලැබූ ආයතන 36ක් රජයට පවරා ගත් අතර ලබන බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමට නියමිත පනත මගින් 2011 ගෙනා පනත අහෝසි වෙනවා. එමෙන්ම එසේ රජයට පවරා ගත් ආයතන නැවත පෞද්ගලික ව්‍යවසායකයන් වෙත ලබා දීමට නව පනත අනුව කටයුතු කෙරෙනවා.

එදා පවරා ගත් ආයතන බොහොමයක් අද ලාබ ලබන තත්ත්වයට පත් වෙලා තිබෙන අතර එමගින් රජයට ආදායම් ලැබෙනවා. උදාහරණ ලෙස එදා එම පනත අනුව පවරා ගත් සෙවණගල හා පැලවත්ත සීනි කම්හල්වල සීනි නිෂ්පාදනය වැඩි වී තිබෙන අතර රජයට වාර්ෂිකව ආදායම් ලැබෙවා. එමෙන්ම එයින් යැපෙන සේවක ජනතාවට විවිධ ආකාරයේ පහසුකම් ලැබෙනවා. විශේෂයෙන් උක් වගාකරුවන් හා කම්කරු ජනතාව මෙය නැවත පෞද්ගලික අංශයට ලබාදීමට අකමැත්ත ප්‍රකාශ කරමින් විවිධ ක්‍රියාකාරකම් වෙත යොමුව තිබෙනවා. ඒ අනුව මේ පනත ගෙන ඒම සුදුසු නැති අතර එයට අප විරෝධය පළ කරනවා.

වර්තමානයේ රටේ පැන නැඟී ඇති ගැටලු අනුව ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් කැඳවීමට ඕනෑම අවස්ථාවක හැකියාව තිබෙන නමුත් එහි ප්‍රතිඵලය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ලැබෙන්නෙ නැහැ.

කෙසේ වුවත් පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බව මුලින්ම විපක්ෂයේ අප පැවසුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර මෙවර සාකච්ඡා නියමිත දිනයේ නොපැවැත්වුණේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන තවදුරටත් පුළුල්ව සාකච්ඡා කිරීමට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කළ යුතු නිසා. ව්‍යුහය හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පක්ෂ නායකත්වය සමඟ නිසි සාකච්ඡාවකින් පසුව නැවත අප පක්ෂ දෙක සාකච්ඡාවට එක් වෙනවා.

අවසන් වරට පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීමෙන් පමණයි ජයග්‍රහණය ලබා ගත හැකි වන්නේ. මේ අනුව මේ පක්ෂ දෙකේ එකඟතාවයෙන් සිදුවන ඉදිරි මැතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති අපේක්ෂක ලෙස අගමැති මහින්ද රජපක්ෂ මහතාත් පත් වීම ගැන මට සැකයක් නැහැ. එය මූලික කරගෙන අප ක්‍රියාත්මක වීම වඩාත් සුදුසු බව මගේ හැඟීම.

කවුරු කෙසේ කීවත් 19 ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ බලය හෝ ආණ්ඩු බලය හෝ ජනාධිපතිවරයාට නැහැ. මෛත්‍රී පාලනයක් සඳහා එක්වූ බලවේගය සමඟ කටයුතු කිරීම තුළ මහ බැංකු කොල්ලය වැනි සිද්ධි නිසා එක්ව කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් මතු වුණා. මේ වන විට එය උග්‍ර ගැටුමක් දක්වා දුර ගොස් තිබෙන බව පෙනෙනවා. යමක් කළ හැකි වන්නේ කැබිනට් මණ්ඩලය හරහායි. ජනාධිපති විරුද්ධ වුවද යම් යම් දේ සිදු කෙරුණු බැවින් ආණ්ඩුව හා විධායකය අතර වර්තමානයේ පරස්පරයක් ඇතිව තිබෙනවා. මේ නිසා ජනාධිපතිවරයාට කොන්ද පණ නැහැ වැනි චෝදනා එල්ල වෙන්නේ මේ ක්‍රියාත්මක වීමට බලය නොමැති වීම නිසයි.

පොදු ජන පෙරමුණ හා ශ්‍රිලනිපයේ කණ්ඩායම් දෙකම ප්‍රගතිශීලී ප්‍රතිපත්ති සහිත වීම නිසා ආණ්ඩුවක් එකට පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙහිදී පුද්ගල සාධකය පසෙකලා, තට්ටුමාරු ක්‍රමය අතහැර, ‘ප්‍රතිපත්ති මාලාවකට අනුව ක්‍රියාකරන ආණ්ඩුවක්‘ පත් කර ගැනීමට ජනතාව කටයුතු කරාවි කියා අප සිතනවා.

උගත් අය, නවකයන්, වෘත්තීයවේදීන් වැනි අය පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගත යුතුයි. ජනතාව දූෂිතයන් තෝරා පත්කර නොගැනීමට වගබලා ගත යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදු ජන පෙරමුණේ කණ්ඩායම් දෙකේම පිරිසගේ අනන්‍යතාව පවත්වාගනිමින් අප ගැටලු විසඳා ගැනීමට එක් විය යුතුයි.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ ද කීය.

දණ්ඩ නීති සංග්‍රහයේ 112 වගන්තිය අනුව නිලධාරියකු තමන්ට ආ තොරතුරක් පිළිබඳ ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් කුමක්ද වෙන්නේ අදාළ දඬුවම කුමක්ද යන්න පැහැදිලිව සඳහන් වෙනවා. ජනාධිපති , අගමැති, කථානායක හා මහින්ද රාජපක්ෂ මහතා වෙන වෙනම සිදු කරන කටයුතු අනුව දැන් රටේ ආණ්ඩු හතරක් තිබෙන බවක් පෙනී යනවා. අමෙරිකාව, ජපානය, ඉන්දියාව රටවල් සමඟ ගිවිසුම්ගතවීම් සම්බන්ධයෙන් මේ වන තෙක් පාර්ලිමේන්තුව කිසිවක් දන්නෙ නැහැ.


නව අදහස දක්වන්න