නව ආදර්ශ ගම්මාන 2500ක් ඉදිකළ ‘සැමට සෙවණ’ ජාතික නිවාස වැඩසටහන | දිනමිණ


 

නව ආදර්ශ ගම්මාන 2500ක් ඉදිකළ ‘සැමට සෙවණ’ ජාතික නිවාස වැඩසටහන

නිවාස ඇතුළු යටිතල පහසුකම් සමඟින් මෙවන් නව ආදර්ශ ගම්මාන ‘සැමට සෙවණ’ ජාතික නිවාස වැඩසටහනින් උදාවේ.

2015 වසරින් ආරම්භ වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන සංවර්ධන වැඩසටහනක් ලෙසින් දිගු ගමනක් පැමිණ තිබේ. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා 2015 වසරත් සමඟින් සිය ඇමැති ධුරයේ සේවා කටයුතු අරඹමින් ප්‍රකාශ කරනු ලැබුවේ වත්මන් රජයේ පාලන කාලපරිච්ඡේදය අවසන්වීමට ප්‍රථම සිය අමාත්‍යාංශයේ දායකත්වයෙන් නව ආදර්ශ ගම්මාන 2500ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවයි. මෙතෙක් නිවාස හා ජනාවාස සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳ මෙරට පැවැති අත්දැකීම් දෙස බැලීමේදී එවන් වූ සුවිශේෂී කාර්යයදාමයක් ඉටු වූයේ අසූව දශකයේ උදාගම් ව්‍යාපාරය මුල්කොටයි. නිවාස ලක්ෂයේ වැඩසටහන පවුල් ලක්ෂයකට නිවාස පහසුකම් සැපයීමේ සංවර්ධන ක්‍රියාවලිය නිවාස පහළොස් ලක්ෂය වැනි වැඩසටහන් තුළින් එවන් මාහැඟි ඉලක්කයන් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවේ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ එදා සමත්විය.

2500 ගමේ උදාව

ඉන් අනතුරු කාලපරිච්ඡේදයන්හි බොහෝ දුරට පැවැති රජයන්හි නිවාස හා ජනාවාස සංවර්ධන ක්‍රියාදාමයන් දෙස බැලීමේදී එවන් වූ සුවිසල් ඉලක්කගත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බවක් නොපෙනේ. එසේ හෙයින් වත්මන් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන මෙවන් වූ සුවිසල් ඉක්කයක් නිවාස සංවර්ධනය තුළින් ලබාගැනීම පිළිබඳ සමාජයේ බහුතරයකට ප්‍රශ්නාර්ථයක් විය. 2015 වසරේ ජුනි මාසයේ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ප්‍රථම ආදර්ශ ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර, එම සංවර්ධන කාර්යය නොකඩවා දිවයිනේ සියලු ගම්දනව් ආවරණය වන අයුරින් ක්‍රියාත්මකවී වසර හතර හමාරක් ගත වූ තැන පසුගිය ජුනි 15 දින දී මේ උදාර නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළේ 2500 වන ආදර්ශ ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කැලියපුර ග්‍රාමසේවා වසමේ ‘සිරිසඟබෝගම‘ නමින් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය. ප්‍රදේශයේ නිවාස අපේක්ෂිත දරු පවුල් 30කට නිවාස පහසුකම් සපුරාලමින් උදා වූ සිරිසඟබෝගම සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ ඓතිහාසික මං සලකුණකි.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමය දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණ වන අයුරින් තමන්ගේම නිවහනක හිමිකම නොමැති ජනකණ්ඩායම් හඳුනා ගනිමින් ආරම්භ කරනු ලැබීය.

සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන සමීපව පසුවිපරම් කිරීමේ දී එය දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කෙරුණු අතිශය සාර්ථක සංවර්ධන වැඩසටහනක් බව පෙනීයයි. නිවාසලාභීන්ගේ අවශ්‍යතාවත්, උද්යෝගයත්, සහභාගීත්වයත් අදාළ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් හා සේවා පහසුකම් ලබාගැනීමත් නිවාස හා ජනාවාසකරණය හා බැඳී පවත්නා විවිධ රාජ්‍ය ආයතන හා සංවිධාන දායකත්වයත් මේ ආදර්ශ ගම්මාන ක්‍රියාවලියේ සාර්ථකත්වයට හේතුවී තිබේ.

දිස්ත්‍රික් රැසක ගම්මාන 100කට වැඩි ප්‍රමාණයක්

එනයින් බලන කළ දිවයිනේ දිස්ත්‍රික්ක 10කට මදක් වැඩි ප්‍රමාණයක් සිය දිස්ත්‍රික්ක තුළ මේ සිවු වසරක් තුළ ඉදිකිරීම් ආරම්භ කළ ආදර්ශ ගම්මාන ප්‍රමාණය සියයකට අධික වේ. මේ ආදර්ශ ගම්මාන 2500 තුළින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව ආදර්ශ ගම්මාන 300ක ඉදිකිරීම් කටයුතු සිදුවේ. එමෙන්ම අතීතයේ දී ත්‍රස්තවාදී යුද ගැටුම්වලට මුහුණ දී උන්හිටිතැන් අහිමිව තමන්ගේම නිවහනක් නොමැතිව ජීවත්ව, සියලු දේ රජයෙන්ම ඉටු කළ යුතුය යන අදහසක් පෙරදැරිකොට ජීවත් වූ උතුරු නැඟෙනහිර ප්‍රදේශ තුළ මේ ආදර්ශ ගම්මාන වැඩසටහන ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මකවීම මෙහිලා දැකගත හැකි විශේෂිත ලක්ෂණයයි. ඒ අනුව මේ ආදර්ශ ගම්මාන 2500 ක්‍රියාදාමය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ නව ආදර්ශ ගම්මාන 168ක ඉදිකිරීම් කටයුතු සිදුවිය. එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉදිවන නව ආදර්ශ ගම්මාන ප්‍රමාණය 154කි. උතුරු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කයක් ලෙසින් සැලකෙන වවුනියාව දිස්ත්‍රික්කයේ ඉදිවන්නා වූ ආදර්ශ ගම්මාන ප්‍රමාණය 153කි. උතුරුකරයේ යාපා පටුනට අයිතිවාසිකම් කියන යාපනය දිස්ත්‍රික්කයේ පමණක් නව ආදර්ශ ගම්මාන 141ක් ඉදිවේ. නිවාස හා ජනාවාසකරණය තුළ හැමවිටම අඩු සැලකිලි ලැබු අවම සංවර්ධනයක් සිදු වූ දිස්ත්‍රික්කයක් ලෙසින් සැලකෙන මන්නාරම දිස්ත්‍රික්කය තුළ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ තුළින් නව ආදර්ශ ගම්මාන 129ක ඉදිකිරීම් කාර්යයන් සිදුවේ. එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ මෙවන් වූ ආදර්ශ ගම්මාන 120ක් ඉදිවන අතර, කල්පිටිය වැනි මුහුදුකරයට මායිම්ව පිහිටි පුත්තලම දිස්ත්‍රික්කයේ මෙවන් ආදර්ශ ගම්මාන 120ක ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ. දිවයිනේ වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට හිමිකම් කියන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිවන ආදර්ශ ගම්මාන ප්‍රමාණය 117කි.

උතුරුකරයේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නව ආදර්ශ ගම්මාන 88ක් ද, මුලතිව් දිස්ත්‍රික්කයේ නව ආදර්ශ ගම්මාන 87ක් ද, ඉදිවීම තුළින් උතුරුකරයේ දක්වන්නා වූ සුවිශේෂ සහභාගීත්වය දැක ගත හැකි විය.

නිවාසලාභීන්ගේ කැපවීම හා රාජ්‍ය දායකත්වය

මේ ආකාරයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන අයුරින් මේ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාවට නැංවේ. මේ ක්‍රියාදාමය තුළදී නිවාස සංවර්ධන කාර්යය උදෙසා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ දායකත්වයෙන් සිදුකෙරෙන අතර, සැබෑ ලෙසින්ම නිවාස අවශ්‍යතාව පවත්නා පවුල් හඳුනා ගැනීම ද සිදු කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් ඇතුළු විශේෂිත කමිටුවක් මඟිනි. එසේ තෝරාගනු ලබන නිවාසලාභීන් තමන්ගේ ශ්‍රම දායකත්වයෙන් රජයෙන් ලැබෙන මූල්‍ය අනුග්‍රහයෙන් තමන්ගේ නිවාස ඉදි කර ගැනීමට අවශ්‍ය තාක්ෂණ සහ සැලසුම් සහ මඟපෙන්වීම හා මෙහෙයවීම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.

මේ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමය හුදෙක් නිවාස ඒකක ඉදිකිරීමට පමණක් සීමා නොවේ. නිවාස මුල්කොටගත් නිවෙසේ ජීවත්වන පවුල් සමූහයේ මූලික පහසුකම් සපයා ගැනීම සඳහා අවශ්‍ය ජලය විදුලිය, අභ්‍යන්තර මාර්ග, පහසුකම් එක්කරලීම ද මේ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළේ අනිවාර්යය සාධක වේ. මේ සියල්ල එක්වීම තුළින් සැබෑ ලෙසින්ම අංගසම්පූර්ණ ආදර්ශ ගම්මාන නිර්මාණයවීමෙන් අනතුරුව නිවෙසේ ජීවත්වන පවුලේ පාරිසරික ආර්ථික හා සමාජීය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ද සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන උත්සුකවී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුරෝගාමීත්වයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්යසාධන වැඩපිළිවෙළේ පූර්ණ දායකත්වය මෙයට හිමිවී තිබේ. මේ සියලු ක්‍රියාකාරකම් එක්වීම හේතුවෙන් වසරකට පෙර තමන්ගේම නිවහනක් නොමැතිව ජීවත් වූ අසරණ දරු පවුල් සමුහයක් මේ නව ආදර්ශ ගම්මාන වැඩසටහන තුළින් තමන්ගේම නිවෙසක අයිතිය ලබා දී තිබේ.

2015 වසරේ සිට 2019 වසරේ ජුනි මස 15 දින මේ නව ආදර්ශ ගම්මාන 2500 ඉදිකරලීමට සමගාමීව එකී ආදර්ශ ගම්මාන ආශ්‍රිව ඉදිවී ඇති සමස්ත නිවාස ප්‍රමාණය 62850කට අධිකවේ. මේ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමය ආරම්භක වසරේ සිට ක්‍රමානුකූලව වේගවත් සංවර්ධන වැඩසටහනක් ලෙසින් ක්‍රියාවට නැංවිනි. 2015 වසර තුළ එම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ ආරම්භක වශයෙන් ඉදිකිරීම් ඇරැඹූ ආදර්ශ ගම්මාන ප්‍රමාණය 44කි. 2016 වසරේ ආදර්ශ ගම්මාන 197ක ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට මේ සංවර්ධන වැඩපිළිවෙළ සමත්ව ඇත. මේ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමය තුළින් 2017 වසරේ නව ආදර්ශ ගම්මාන 270ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. 2018 වසර වන විට මේ ආදර්ශ ගම්මාන වැඩසටහන සඳහා විශාල ජන සහභාගීත්වයත්, උනන්දුවක් හා උද්යෝගයක් හිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස එම වසරේ දී පමණක් නව ආදර්ශ ගම්මාන 1060ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබිණි.

මාස 06 කින් ගම්මාන 930ක්

සැමට සෙවණ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමය වඩාත් වේගවත්ව හා සාර්ථකව ක්‍රියාත්මක වූ කාලයක් ලෙස 2019 වසරේ ප්‍රථම අර්ධ වාර්ෂික කාලපරිච්ඡේදය සඳහන් කළ හැකිවේ. ඒ අනුව 2019 ජුනි මස 15 දින වනවිට එම මාස 06ක කාලපරිච්ඡේදය තුළ පමණක් නව ආදර්ශ ගම්මාන 930ක ඉදිකිරීම් තුළින් සමස්ත ආදර්ශ ගම්මාන ක්‍රියාවලියේ 2500 ආදර්ශ ගම්මාන උදාව සනිටුහන් කිරීමට සමත් විය.

දිනකින් දිවයින පුරා ගම්මාන 150ක්

මේ වැඩපිළිවෙළේ ආරම්භක කාලපරිච්ඡේදයේ දී සතියකට මසකට හෝ මාස කිහිපයකට දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ ආදර්ශ ගම්මාන ප්‍රමාණය බෙහෙවින් සීමාවිය. එවන් වූ තත්ත්වයක් තුළ වසර 04ක් ඉක්ම වන අවස්ථාවකදී ආදර්ශ ගම්මාන 2500ක ඉලක්කයට ළඟාවීම අපහසු බව පෙන්නුම් කරදීම තුළින් නිවාස හා ඉදිකිරීම් සංස්කෘතික කටයුතු ඇමැතිවරයාගේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලයත් නිවාස අපේක්ෂිත ජනතාව මේ කාර්ය සඳහා උනන්දුරලීමට කටයුතු කළේය. ඒ හේතුවෙන් පසුගිය වසරේ සෑම මසකම නිශ්චිත දිනයක දී ආදර්ශ ගම්මාන සියයක් හෝ 150ක් එකම දිනයක දී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන අයුරින් නව ආදර්ශ ගම්මාන ඇරැඹීම සිදුවිය.

ගම්මාන 2000ක ඉලක්කයේ ඊළඟ පියවර සැමට සෙවණ ආදර්ශ ගම්මාන 2500ක උදාවේ සමාරම්භක ඉලක්කය සපුරා තිබේ. ශ්‍රී ලාංකික ජන සමාජයේ සෑම පවුලකටම නිවහනක අයිතිය ලබාදීමේ අපේක්ෂාවෙන් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ මේ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමය අවසන් ජාතික ඉලක්කය වනුයේ නව ආදර්ශ ගම්මාන 20,000ක උදාවයි. එකී වැඩසටහනේ දෙවන අධියර යටතේ නව ආදර්ශ ගම්මාන 5,000ක් ඉදිකරලීම තව නොබෝ දිනකින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වේ. එහි දී ප්‍රථම වරට ආදර්ශ ගම්මාන ආශ්‍රිතව ඉඩම් නිසි අයුරින් භාවිත කරමින් දෙමහල් නිවාස ඉදිකරලීම ද දැකගත හැකිවනු ඇත. එනයින් බලන කළ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන දියුණු වන සමාජය හා වෙනස් වෙමින් රටේ පවත්නා නිවාස හා ජනාවාස ගැටලුවට තිරසාර විසඳුම් ගෙන එමින් සාර්ථක සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාත්මක වන බව පෙනී යයි.


ලක්විජය සාගර පලන්සූරිය 

නව අදහස දක්වන්න