ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා | දිනමිණ

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා

කමනි අල්විස්

ගිවිසුමකට අද අස්සන්

මෙරට විදේශ සේවාවේ දැවැන්ත ජයග්‍රාහී පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලාංකිකයන්ට විවිධ ක්ෂේත්‍ර දහහතරක් යටතේ අති විශාල ප්‍රතිලාභ හිමි කැර දෙමින් ජපානයේ රැකියා අවස්ථා උදා කැර දීමේ ඓතිහාසික ගිවිසුමකට එළඹීම අද(19) දින ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර ජපානයේ දී සිදු වන බව විදේශ රැකියා අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සහ ජපානයේ අධිකරණ කම්කරු සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ ශ්‍රී ලංකා‍ වේලාවෙන් අද පස්වරු එකට ජපානයේ දී මෙම ගිවිසුමට එළඹෙන බව මන්ත්‍රී නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.

වසර දහයක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ජපානයේ රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීම සීමාවකින් තොරව සිදු වන බවත් මන්ත්‍රීවරයා පවසයි.

ලෝකයේ රටවල් නමයකට ජපානයේ රැකියා අවස්ථා හිමි කැර දී තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාව එසේ රැකියා අවස්ථා හිමිකරගත් හත්වැනි රට ‍බවත් සැළ කෙළේය. මෙය ලෝකයේ රටවල් රැසක් අභිබවා යාමක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කෙළේය. මෙය ශ්‍රී ලංකා රජය අත්පත් කර ගත් විශාල ජයග්‍රහණයක් ලෙසත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

වැඩිහිටියන් රැක බලා ගැනීම, ගොඩනැඟිලි පවිත්‍රතා, කළමනාකරණ ක්ෂේත්‍රය, යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය, කර්මාන්ත ශාලා යාන්ත්‍රික ක්ෂේත්‍රය, යාන්ත්‍රික කොටස් කර්මාන්තය, විද්යුත් විදුලිය ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් යාන්ත්‍රික ක්ෂේත්‍රය, රථ වාහන නඩත්තු ක්ෂේත්‍රය, ගුවන් සේවා ක්ෂේත්‍රය, හෝටල් කර්මාන්ත ක්ෂේත්‍රය, කෘෂිකර්ම ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය, ආහාරපාන නිෂ්පාදන ක්ෂේත්‍රය, ආහාර සේවා කර්මාන්ත ක්ෂේත්‍රය යන ක්ෂේත්‍ර දහහතර තුළ ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා ලබාදීම සිදු වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කෙළේය.

මෙම ක්‍ෂේත්‍ර උදෙසා අවශ්‍ය පුහුණු පාඨමාලා විදේශ රැකියා කාර්යාංශය සකස් කර තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා අඩු දැනුමකට අඩු පුහුණුවීම් සඳහා මැද පෙරදිග රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථා සැලසීමට වඩා පුහුණු ශ්‍රමිකයින් ලෙස වැඩි වැටුපකට ලෝකයේ රටවල රැකියා අවස්ථා සලසාදීම ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අරමුණ බවත් පැවසීය.

ශ්‍රී ලාංකිකයින්ගේ වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍රය ජපානයේ මට්ටමට උසස්වීමත් මේ තුළින් සිදු වන බව පැහැදිලි කළ මන්ත්‍රීවරයා තාක්ෂණික දියුණුවෙන් ඉදිරියට යාමේ වරම් ශ්‍රී ලාංකිකයින්ට හිමි වන බවත් පෙන්වා දුන්නේය.

මෙය සුවිශේෂී වන්නේ රජයන් දෙකක් අතර ගිවිසුම් ගතවීමක් නිසා බව පළ කළ මන්ත්‍රීවරයා ජපානයේ රැකියා අවස්ථා සොයා දෙන බවට අසත්‍ය පවසන තැරැව්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙසටත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. විදේශ සේවා කාර්යාංශය තුළින් පමණක්ම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට උදා කර දෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (18) විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

නව අදහස දක්වන්න