ආර්ථික ප්‍රතිපත්තිවල සාර්ථකත්වය මත ආණ්ඩුවට විදෙස් සහාය ලැබෙනවා | දිනමිණ

ආර්ථික ප්‍රතිපත්තිවල සාර්ථකත්වය මත ආණ්ඩුවට විදෙස් සහාය ලැබෙනවා

ස්වර්ණා විජේකෝන්
චමීර ඇල්ලදෙණිය
සන්ධ්‍යා කරුණාරත්න

රාජ්‍ය සේවක දීමනා පමණක් නෙමෙයි වැඩිහිටි දීමනාවත් වැඩි කළා 
- රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතා

මූල්‍ය තැන්පත්කරුවන්ට රක්ෂණාවරණයක් ලබාදෙන්න 
- මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා

සහනාධාරලාභීන් වැඩිවීම ගැන රජය ලැජ්ජා වියයුතුය 
- මන්ත්‍රී විජිත හේරත්

වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තර සහයෝගය සහ ආධාර හිමිවන්නේ පුද්ගලික මිත්‍රකම් නිසා නොව වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ තිබෙන පැහැදීම නිසා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

වත්මන් රජය එළිදැක්වූ ‘2025 පොහොසත් රටක්’ දැක්ම පදනම්ව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකරන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන හා කඩිනම් ග්‍රාම සංවර්ධනය කරන ‘ගම්පෙරළිය’ වැඩසටහනත් ජාත්‍යන්තරය තුළ ප්‍රසාදයක් ඇතිවී තිබෙන බවද සමරවීර මහතා පෙන්වා දුන්නේය.

සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (18) පස්වරු 1.00 ට රැස්විය.

වාර්තා, ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරු ඉදිරිපත් කළ පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරිණි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු ඇසූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.

රක්ෂණ කර්මාන්ත විදිමත් කිරීමේ පනත යටතේ නියෝග සහ සුරාබදු ආඥාපනත යටතේ නිවේදන තුනක් විවාදයට ගැණිනි.

නියෝජ්‍ය කාරක සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා - අද සුරාබදු පනවන විට උද්ධමනය මත ගැලවීම ය‍ටතේ තමයි සිදු කරන්නේ. රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීම යටතේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන ගාස්තුව ඉහළ දැමීමක් සිදුකරනවා. රක්ෂණය ගැන කතා කරනවිට රක්ෂණය ලබාගන්නේ ඉහළ ආදායම් තිබෙන අයයි. ලංකාවේ රක්ෂණය ලබාගත් පිරිස ඉතා අඩුයි. දුප්පත් අය රක්ෂණය ලබාගන්නේ නැහැ.

සමෘද්ධිය ලබාදීම සියයට 44 කින් වැඩිකර තිබෙනවා. එයත් එක්තරා රක්ෂණ ක්‍රමයක්. 2015 වනවිට සමෘද්ධිලාභීන්ට කෝටි 150 ක් වැයකර තිබෙනවා. මේ වනවිට සමෘද්ධිය සඳහා රුපියල් කෝටි 390 ක් වෙන්කර තිබෙනවා. ඉහළ පැලැන්තිවලට රක්ෂණය ක්‍රියාත්මක වනවා වගේම සමෘද්ධිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. දැන් ලක්ෂ 19 කට සමෘද්ධිය ලබාදෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස) – සමෘද්ධිය ආරම්භ කරනවිට ලක්ෂ දාහතරකට ලබාදුන්නා. වර්තමාන ඇමැතිවරයා කියනවා සමෘද්ධිය ලක්ෂ 19 ක් දක්වා ඉහළ දමා තිබෙන බව. මෙයින් පෙනෙන්නේ දුප්පත්කම ඉහළ ගොස් ඇති බවයි. මෙය පාක්ෂිකයන්ට‍ දෙන අල්ලසක්. සමෘද්ධිය සඳහා තෝරාගන්නා විට විවිධ අක්‍රමිකතා සිදුවෙලා තිබෙනවා. සහනාධාර ලබාදී ලෝකයේ දුප්පත්කම තුරන් කළ රටක් නැහැ. සහන ලබාදීම තුළින් දුප්පත්කම තුරන් කරන්න බැහැ. මාළුවෙක් වෙනුවට බිලි පිත්තක් ලබාදෙන්න ඕන. එවිටයි ජනතාව නැගී සිටින්නේ. ජනතාව රක්ෂණය කරන එක හොඳයි. මම ධීවර ඇමැතිවරයා ලෙස ඉන්න විට සියලුම ධීවර ප්‍රජාව රක්ෂණය කළා.

සමෘද්ධිය ලබාදීමේදී ප්‍රචාරක වියදම් සඳහා ලක්ෂ 3000 ක් වෙන්කරගෙන තිබෙනවා. සමෘද්ධි බැංකුවලින් වර්ග අඩි 50 ක කටවුට් ගහලා තිබෙනවා. මේ ජනතාවගේ මුදල් කාබාසිනියා කරලා.

පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වූ අයගේ ප්‍රශ්න මේ වනතුරු විසඳගන්න බැරිවෙලා තිබෙනවා. තිස්සමහාරාමේ දරුවෙක් මන්දපෝෂණයෙන් මිය ගියා කියා ප්‍රවෘත්තියක් තිබෙනවා. මේ සමෘද්ධිය වෙනුවෙන් ප්‍රචාරක සඳහා ‍ෙයාදා තිබෙන අත්‍යවශ්‍ය වියදම් මේ ජනතාව වෙනුවෙන් යොදා ගන්න කියා ඉල්ලනවා.

සුරාබදුවලින් තමයි රජයට වැඩිම ආදායමක් ලැබෙන්නේ. ඒ එන ආදායම නිසි ආකාරයෙන් කළමනාකරණය සිදුකරන්නේ නම් නව බදු ගහන්න ඕනෙ නැහැ. නිලධාරින්ට සෑම වයින් ස්ටෝර්ස් එකකින්ම මුදල් යනවා. ඒ ගැන සොයා බලා කටයුතු කරන්න. එසේ කළොත් ඔබතුමා ඉතිහාසගත මුදල් ඇමැතිවරයෙක් වේවි. මේ ආයතනවල අන්ත දූෂිත නිලධාරි කණ්ඩායම් ඉන්නවා. චීන සිගරට් ගැන කතා කරනවා. අපි දුම්පානය අධෛර්ය කරන වැඩසටහන්වලට සහයෝගය ලබාදෙන බව කියන්න කැමැතියි.

21 වැනිදා ප්‍රහාරයෙන් පසු සෑම ව්‍යාපාරයක්ම කඩා වැටුණා. නමුත් සුරාසල්වල හා සිගරට් ආදායම වැඩිවුණා. මුදල් ඇමැතිතුමාගේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඉතා හොඳයි. ඒ සඳහා අප සහයෝගය ලබාදෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මා සහයෝගය ලබාදෙනවා. මොකද ජනාධිපතිවරණ මැතිවරණ සැමදාම හැමවෙලේම තියාගන්න මේ රටට හැකියාවක් නැහැ. මොකද ඒ සඳහා මුදල් වියදම් කිරීමට අපේ රටට බැහැ. ඒ මුදල් මේ ර‍ෙට් සංවර්ධනය සඳහා යොමු කළ යුතුයි. චන්ද්‍රිකා මැතිනිය හා මහින්ද රාජපක්ෂ මහතා විධායකය අහෝසි කරන බව ප්‍රකාශ කළා. ඒ නිසා මේ විධායකය අහෝසි කරන්න මා සහයෝගය ලබාදෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා - විවිධ අභියෝග දුෂ්කරතා පසුබෑම් මැද්දේ අපි රටක් විදියට සාර්ථක දිගුකාලීන සංවර්ධන මාවතකට යොමු වී සිටින බව නැවතත් මා මේ ගරු සභාවට මතක් කරන්න කැමැතියි. ඉච්ඡාභංගත්වයට පත්වුණු සමහර දේශපාලන අනාථයන් ද්වේශයෙන් අපට අවලාද නැගුවත් පහුගිය අවුරුදු කීපයේ රට තුළ ස්ථාවර ආර්ථික පදනමක් ඇතිකර ගැනීමට අපට හැකිවෙලා තියෙනවා.

ඒකට හේතුව තමයි පුද්ගලික ප්‍රතිලාභ, වාසි, න්‍යාය පත්‍ර, අක්‍රමිකතා නැතිව රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් මහජනතාව බලගන්වමින් ගෙනියන සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් අපි සාර්ථකව දියත් කිරීම . අද වෙන කොට විශාල ත්‍රස්තවාදී ප්‍රශ්නයකින් පස්සේ වුවත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය නොසැලී පවත්වා ගනිමින් උද්ධමනය, විරැකියාව පාලනය කරමින් ඒකපුද්ගල ආදායමත්, දළ දේශීය නිෂ්පාදනයත් ඉහළ මට්ටමක තබාගැනීමට අපිට පුළුවන් වෙලා තියෙනවා.

මගේ වචනවලින් කියනවට වැඩිය අපි රටේ සමාජ ආර්ථික සංවර්ධනය සහ ස්ථාවරත්වය ගැන අවධානය යොමු කළොත් ලෝකයේ තිබෙන බලවත් ඒ වගේම විශිෂ්ට වෘත්තීමය ජාත්‍යන්තර ආයතන මේ රට ගැන ධනාත්මක නිගමනවලට එළැඹිලා තියෙනවා. ඒක නිසාම තමයි ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) එක්සත් ජනපද විදේශාධාර සංවිධානය (USAID) වැනි ආයතන අපිට දිගින් දිගටම සංවර්ධන ආධාර ලබාදෙන්නේ.

මං ඒ ගැන යම් සඳහනක් කළොත් පහුගිය මාස කීපය තුළ අපිට ඩොලර් මිලියන 1,200කට වැඩිය ජාත්‍යන්තර ආධාර හිමි වුණා. සති කීපයකට කලින් ලෝක බැංකුව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 70ක ණය ආධාර ලබාදුන්නා. මීට අමතරව ඩොලර් මිලියන 152 ක් සංවර්ධන ව්‍යාපෘති තුනක් සඳහා ලබාදුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැයි මාසයේ ඩොලර් මිලියන 164කුත්, එක්සත් ජනපදය මිලේනියම් චැලේන්ජ් එකවුන්ට් එක යටතේ ඩොලර් මිලියන 480කුත්, මේ පහුගිය සතියේ ආසියානු සංවර්ධන බැංකුව ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය වෙනුවෙන් ඩොලර් මිලියන 50කුත්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) කොළඹ නාගරික පුනර්ජනනීය කටයුතු සහ නායායාම් වැළැක්වීම වෙනුවෙන් ඩොලර් මිලියන 280කුත් අනුමත කළා. මීට අමතරව AIIB ආයතනය සමඟ අපි බලශක්ති හා මහාමාර්ග අංශ සඳහා අතිරේක ඩොලර් මිලියන 1000ට ආසන්න සංවර්ධන ආධාර සඳහා සාකච්ඡා පවත්වමින් සිටිනවා.

මේ සියලු ජාත්‍යන්තර සහයෝගය සහ ආධාර හිමිවෙන්නේ පුද්ගලික මිත්‍රකම් නිසා නෙමෙයි. අපේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති ගැන තියෙන පැහැදීම නිසයි. මොකද මේ වෙනකොට ලෝකයම පිළිඅරන් තියෙනවා හුදු ආර්ථික වර්ධන දත්ත මත විතරක් පදනම් වෙලා රටක සංවර්ධනය අත්කර ගන්න බැරි බව. ව්‍යවසායකයන් බිහිකිරීමත්, ජනතාව බලගැන්වීමත්, අපනයන කර්මාන්ත දිරිගැන්වීමත්, අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි සුබසාධන කටයුතු ශක්තිමත් කරගැනීමත්, යටිතල පහසුකම් දියුණු කිරීමත් වැනි මානව සංවර්ධන මූලධර්ම පදනම් කරගත් සංවර්ධන මාවතක් හරහා තමයි රටවල් දියුණුව අත්කර ගන්නේ.

අපේ රජය යටතේ අපි සැබෑ සංවර්ධනය ගමට ගෙන ගියා. අද වෙනකොට ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් මිලියන 48,000ක සංවර්ධන ව්‍යාපෘති රට පුරා කෙරෙමින් පවතිනවා. රටම වැඩබිමක් වෙලා. ගමේ සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට, ව්‍යාපාරිකයන්ට, ගමේ සමිති සමාගම්වලට තමන්ගේ ප්‍රදේශ සංවර්ධනය කරන ගමන් ආදායමක් උපයා ගැනීමටත්, තමන්ගේ සංවර්ධනය තමන්ටම කරගැනීමටත් අවස්ථාව ලැබිලා තියෙනවා.

මේ අවුරුද්දේ විතරක් ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘති 98,600ක් පමණ මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඒ විතරක් නෙමෙයි ඉතා ඉක්මණින් අපි එක් ආසනයකට ලබා දුන් ගම්පෙරළිය සංවර්ධන ප්‍රතිපාදන මිලියන 300ට අමතරව තවත් අතිරේක ප්‍රතිපාදන මිලියන 100ක් ඊළඟ අදියර සඳහා ලබාදෙනවා. ඒ මුදලින් එක් ආසනයක විහාර ධර්මශාලා 05ක් බැගින් රට පුරා විහාරස්ථාන 800කට රුපියල් මිලියන 8,000/-ක ආධාර ලබාදෙනවා.

විශේෂයෙන්ම රට තුළ බෞද්ධ වේවා, කිතුණු , ඉස්ලාම් හෝ හින්දු ආගමික මූලධර්මවාදී අදහස් පැතිරීම වැළැක්වීමටත් වෛරය, ක්‍රෝධය වපුරන සියලු ආගමික මතවාද තුරන් කිරීමටත්, විහාරස්ථාන ඇතුළු සියලු ආගමික මධ්‍යස්ථාන දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. අපේ තරුණ පරපුර ආගම මත පදනම්වෙලා එකිනෙකා ඇනකොටා නොගන්නා තත්ත්වයට මේ රට පත්කිරීම අපේ අරමුණයි.

මෙයාකාරයෙන් රටේ සියලු සංවර්ධන කටයුතු නොකඩවා සිදු කරන අතරේ අපි කිසිම වෙලාවක රජයේ සේවකයන්ව අමතක කළේ නෑ.

මේ මාසේ අවසානයේ ඉඳලා සියලුම රජයේ සේවකයන්ට දැනට ලැබෙන රුපියල් 7,800/-ක ජීවන වියදම් දීමනාවට අමතර අලුතින් රු. 2,500/-ක අන්තර් දීමනාක් ලබාදෙනවා.

අපි 2015 බලයට එද්දි රාජ්‍ය සේවක වැටුප් තිබුණු තත්ත්වය මං මතක් කළොත් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම අපේ රජය යටතේ 2020 වෙනකොට ඔවුන්ගේ වැටුප් තලයන් වැඩිවීමත් මං කියන්නම්;

රැකියාව 2015 වැටුප රු. 2020 වැටුප රු., කාර්යාල කාර්ය සහායක 11,730/- 24,250/-, හෙද හෙදියන් 15,620/- 32,525/-, උපාධිධාරි ගුරු 16,100/- 33,300/-, අමාත්‍යාංශ ලේකම් 47,515/- 98,650/-

මේ සියලු දෙනාගේ මාසික වැටුප අවුරුදු 5ක් ඇතුළත අපේ රජය දෙගුණයකට වඩා වැඩිකරලා තියෙනවා. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙපමණ රජයේ සේවක වැටුප් වැඩිකිරීමක් කරලා නැහැ.

ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, අපි අවුරුදු ගණන් තමනගේ දුක්ගැනවිලි විඳදරා ගත්ත විශ්‍රාමික ප්‍රජාවගේත් දීමනා වැඩි කළා. 2015 දෙසැම්බර් මාසෙට කලින් විශ්‍රාම ගත්ත රජයේ සේවකයන් ලක්ෂ පහමාරකට වැඩි සංඛ්‍යාවකට මේ මාසෙ අග වෙනකොට සැලකිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමක් ලබාදෙනවා. මා ඒ පිළිබඳව විස්තර කීපයක් ඉදිරිපත් කරන්නම්.

වෘත්තිය විශ්‍රාම වැටුප් වැඩිවීම රුපියල් වලින් මෙසේය. කාර්යාල කාර්ය සහායක රු. 2,800/-, පොලිස් සැරයන් රු.4,200/-, රාජ්‍ය කළමනාකරණ සහකාර රු.5,215/-, හෙද සේවය (1) ශ්‍රේණිය රු.7 ,100/-, ගුරු සේවය (1) ශ්‍රේණිය රු.9,200/-, පරිපාලන සේවය ‍(1) ශ්‍රේණිය රු.16,000/-, අමාත්‍යාංශ ලේකම් රු.20,000/-යි.

2015න් පසු විශ්‍රාම ගත් සියලු දෙනාට දැනට ගෙවන ජීවන වියදම් දීමනාවට අමතරව ගෙවන රුපියල් 3,525/-ක දීමනාවට අමතරව නව අන්තර් දීමනාවක් ලෙස රුපියල් 3,500/-ක් ලබාදෙනවා.

දේශප්‍රේමය ගැන කෑමොර දෙන රණවිරුවන්ගේ කරමතින් දේශපාලනය කරන්න හදන අයට අවුරුදු 20ක් තිස්සේ කරන්න බැරිවුණ දෙයක් අපි දැන් සිදු කළා. ඒ නිලඇඳුම් අඳින වෘත්තීය හමුදා නිලධාරීන්ට නිසි ගෞරවය ලබාදෙමින් 2019 ජනවාරි මාසයේ ඉඳලා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සලාක දීමනාව රු. 23,231/- දක්වාත් සෙසු නිල දීමනාව රු. 19,350/-ක් දක්වාත් වැඩි කළා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ගෙවල් කුලී දීමනාව දෙගුණ කළා.

ත්‍රිවිධ හමුදා කමාන්ඩෝ දීමනාව රු. 1000/- සිට රු. 5000/- දක්වා වැඩි කළා. මේ මාසෙ අග ඉඳලා හමුදාවල යහපත් හැසිරීමේ දීමාන (Good Conduct Allowance) වගේම නිල ඇඳුම් දීමනාත් වැඩි කළා. අපි ත්‍රිවිධ හමුදා නිලධාරීන් වෘත්තීය සේවාවන් ලෙස සලකලා කටයුතු කරනවා. ඔවුන් දේශපාලන වාසි සඳහා බොරු මවාපෑම් කරන්නේ නෑ.

රජයේ ලියාපදිංචි විශේෂ අවශ්‍යතා තියෙන (Differently Abled) පුද්ගලයින් 32,000ක් දැනට ඉන්නවා. ඔවුන් එක් අයෙකුට රජයෙන් මාසෙකට රුපියල් 3,000/-ක මාසික දීමනාවක් ගෙවනවා. අපි මේ මාසෙ අවසානයේ ඉඳන් ඔවුන්ගේ දීමනාව රු. 5000/- දක්වා වැඩි කළා. ඒ වගේම ප්‍රතිලාභ ලැබෙන පිරිස 32,000/- ඉඳලා 72,000ක් දක්වා ඉහළ දැම්මා. මෙතුළින් අතිරේක පුද්ගලයින් 40,000ක් අලුතින් ප්‍රතිලාභ ලැබෙන අය බවට පත්වුණා.

දේශපාලන අතකොළු බවට පත්ව සිටී සමෘද්ධි ප්‍රතිලාභී ජනතාව වෙත අපි ඉතිහාසයේ පළමු වතාවට ඔවුන්ගේ බැංකු අනිවාර්ය ඉතිරි කිරිම්වලින් රු. 15,000/-ක මුදලක් අප්‍රේල් මාසයේ ලබා දුන්නා. ඒ වගේම මේ වෙනකොට දේශපාලනය නිසා කොන් කර තිබූ ලක්ෂ හයක ජනතාවක් වෙත අළුතින් සමෘද්ධි ප්‍රතිලාබ ලබාදීම පටන්ගත්තා.

අපේ රජය නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට ලබාදෙන රු. 5000/-ක මුදල රෝගීන් 21,000 සිට 26,000ක ප්‍රමාණයට වැඩි කරමින් පො‍ෙරාත්තු ලේඛනය අහෝසි කළා.

මා සරලව ඉහතින් දැක්වූයේ රජයක් ලෙස මහජනතාව වෙනුවෙනුත් , රටේ සංවර්ධනය වෙනුවෙනුත් සිදු කළ මහා වැඩපිළිවෙළක සුළු ප්‍රමාණයක් පමණයි. අපි පහුගිය කාලය තුළ ලබාගත් ජයග්‍රහණ ප්‍රමාණාත්මකව පමණක් නෙමෙයි ගුණාත්මක වශයෙන් ඉතා වැඩි බව කියන්න කැමැතියි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මුලසුනට පැමිණියේය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජ.වි.පෙ.) – රාවණා 1 සැටලයිට් එක ඊයේ අභ්‍යාවකාශ ගත කළා. තරිඳු, දුලානි යන අයට අපගේ ප්‍රශංසාව හිමිකර දෙනවා. තරිදු දයාරත්න මහතාගේ නිවස හා ආර්ථිකය ගත්තොත් තවමත් අමාරු මට්ටමක සිටිනවා. අභ්‍යවකාශය තරණය කිරීමට නැනෝ තාක්ෂණ චන්ද්‍රිකාව නිර්මාණය කළ තරිඳුගේ පියා වකුගඩු රෝගයෙන් මරණයට පත්ව තිබෙනවා. වකුගඩු රෝගය තුරන් කිරීමට මේ රජය කුමක්ද කර තිබෙන්නේ. සහනාධාර වැඩිපුර ලබාදෙනවා කියලා රජය කියනවා. සහනාධාර දෙන සංඛ්‍යාව වැඩිවෙනවා නම් රජය ඒ ගැන ලැජ්ජා විය යුතුයි. සහනාධාර වැඩි කරනවා කියන්නේ දුප්පතුන් වැඩිවෙනවා කියන එකයි. දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂය ලෙස පසුගිය වසර නම් කළා. එහෙත් දිළිඳුකම තුරන් වෙලා නැහැ. නීති විරෝධී ලෙස සිගරට් ආනයනය කරනවා රට තුළට මේ වනවිට.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතා - ගමේ ජනතාවගේ අවශ්‍යතා රුපියල් ලක්ෂ 3000 මුදල් යටතේ ගම්පෙරළිය වැඩසටහනට අනුව එක් ආයතනයක වැඩ සිදුවෙමින් පවතිනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ද ඉතා සාර්ථකව ක්‍රියාවට නංවමින් සිටිනවා. අලුතින් ව්‍යවසායකයින්ට සහන ලබාදෙනවා සේම රාජ්‍ය සේවාවේ නිලධාරින්ගේ වැටුප්ද ඉහළ නංවා තිබෙනවා. විශ්‍රාමික දීමනාවත් වැඩි කර තිබෙනවා. සමෘද්ධි දීමනා නොලැබුණු ඒ සඳහා සුදුසුකම් තිබුණු අයට අපි එය ලබාදීමට කටයුතු කළා. වැඩිහිටියන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට වැඩිහිටි දීමනාව වැඩිකර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.) – රටේ පාලනය දැන් දෙකඩ වී තිබෙනවා. මවුපියන්ගේ ආරක්ෂාව ලබාගනිමින් පාසල් පවත්වන තත්ත්වයක් රට තුළ ස්ථාපිතව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු නිසියාකාරව විසඳා තිබේද කියලා බැලිය යුතුයි. දෙමළ ජාතික සන්ධානය චෝදනා කරනවා ආණ්ඩුව ඔවුන්ව රැවැට්ටුවා කියලා. ආණ්ඩුව ඔවුන්ව රවටා නැහැ. ආණ්ඩුව සමඟ සාකච්ඡා කරලා ගැටලු විසඳා ගන්න.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා (එ.ජා.ප.) – කඳුකරයේ ජනතාව අමාරුවෙන් ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවිත ගැටගැසීම අමාරුවෙන් කරනවා. වත්මන් ආණ්ඩුව ඒ තත්ත්වය වෙනස් කරමින් කඳුකරයේ ජනතාවට සංවර්ධනය ලබාදෙමින් තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ සංවර්ධන කටයුතු සිදුකරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එජනිස) – ඇක්සා ගිවිසුම අත්සන් කරමින් මේ රටේ කටයුතු කිරීමට අමෙරිකාවට ඉඩ සලසා තිබෙනවා. මේ රටේ මධ්‍යස්ථ මුස්ලිම් ජනතාවක් සිටිනවා. ඉස්ලාම් අන්තවාදයයි, අමෙරිකානු න්‍යාය පත්‍රයයි එකට වැටෙන්නේ. දෙමළ, මුස්ලිම් හැමෝටම අයිති ත්‍රිකුණාමලයේ අක්කර දහස් ගණනක ඉඩම් පිටරටට දෙන්න හදනවා. මේ ඔබේත් මගේත් රට. ඒ නිසා අපි සියලුදෙනාම සාමකාමීව ජීවත්විය යුතුයි. අපි සියලුදෙනාම එක්ව මේ අන්තවාදය අවසන් කළ යුතුයි.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා (එ.ජා.ප.) – ආගමික ස්ථාන සංවර්ධනයට වැඩිම මුදලක් ලබාදුන් රජයතමයි මේ රජය. පොළොන්නරුව මගේ ප්‍රදේශයේ පමණක් රුපියල් ලක්ෂ 400 ක පමණ මුදල් ලබාදී තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ විශාල සංවර්ධනයක් ගම තුළ සිදුවෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස) – ලියාපදිංචි රක්ෂණ සමාගම් 26 ක් රට තුළ ක්‍රියාත්මකයි. ඒ 26 න් ලැයිස්තුගත වී තිබෙන්නේ නවයයි. රක්ෂණ තැරැව්කරුවන් 63 ක් සිටිනවා. ලක්ෂ 44 පාසල් දරුවන් සිටිනවා. සුරක්ෂා රක්ෂණාවරණය ඔවුන්ට ලබාදී තිබෙනවා. එය හොඳයි. මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කළ අයට ඒ මුදල් නොලැබීම නිසා සියදිවි හානිකර ගැනීමට පවා කටයුතු කරනවා. තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල නොලැබුණොත් ඒ සඳහා රක්ෂණාවරණයක් දෙන ක්‍රමයක් සකස් කළ යුතුයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් මහතා (එජාප) – සුරාව භාවිතය පිළිබඳ කුරානයේ තහනම් කර තිබෙනවා. කුරානය නිවැරැදිව මඟපෙන්වීම යටතේ අපි කටයුතු කරන්නේ. විමල් වීරවංශ මහතා කිසිදු පදනමකින් තොරව තමයි චෝදනා කරන්නේ. බෞද්ධ ජනතාව බොදුබල ‍ෙස්නාවට ලබාදුන්නේ ඡන්ද 5000 යි. එයාලගේ මතය ජනතාව පිළිනොගන්නා බව එයින් පැහැදිලි වෙනවා.

මන්නාරම දිස්ත්‍රික් මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා (එ.ජා.ප.) – විමල් වීරවංශ කියා තිබෙනවා මරාගෙන මැරුණු කාන්තාව මගේ අම්මගේ සහෝදරයගේ දුව කියලා. මගේ අම්මට සහෝදරයෝ නැහැ. මෙවැනි චෝදනා කරන විමල් මන්ත්‍රීතුමාගේ මොළය පරීක්ෂා කරන්න කියා මා ඉල්ලීමක් කරනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා (එජනිස) – අපි ජාතිකවාදීන් ලෙස ලෝකයේ තිබෙන එකම සිංහල බෞද්ධ රට ආරක්ෂා කිරීමට වගකීමක් තිබෙනවා. එම රට තුළ සෑම ආගමිකයකුටම නිදහසේ ජීවත්වීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සිංහල ජාතිය සමූල ඝාතනය කර තිබෙනවා. මේවාට පරීක්ෂණ ඕන.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී කේ. කේ. පියදාස මහතා (එ.ජා.ප.) – පාස්කු ප්‍රහාරය නිසා ව්‍යාපාර කඩා වැටීමට හේතුවුණේ ආගම්වාදී සංකල්පයයි. පොකුරු සංවිධාන සමාගම් පමණක් කඩා වැටුණේ නැහැ. තනි පුද්ගල සමාගම් පහළටම කඩා වැටුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන්ට ආධාර ලබාදීමේදී කිසිදු පාට පක්ෂ බේදයක් බැලුවේ නැහැ. “ගම්පෙරළිය” හරහා අපේ ප්‍රදේශවල සංවර්ධන කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මුලසුනට පැමිණියේය.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස) – රක්ෂණ සමාගම් ලියාපදිංචියේදී තමයි මීට පෙර මුදල් ලබාගත්තේ. රක්ෂණ ක්ෂේත්‍රයේ නියාමන සඳහා මෙතරම් මුදලක් අවශ්‍ය වෙනවාද? මොකද මෙය අවසානයේදී රක්ෂණය කරන පුද්ගලයාට නියම වන මිලක් වන්නට පුළුවන්. ජාත්‍යන්තර රක්ෂණ සමාගම්වලට යම්කිසි සහන ලබාදී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එ.ජා.ප.) – මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබෙන පනත් හතර ඉතාම කාලෝචිතයි. “ගම්පෙරළිය” හරහා ලක්ෂ 3000 ක් මේ වනවිට ගම්වලට ලබාදී තිබෙනවා. තවත් ලක්ෂ 1000 ක් ලබාදෙන බව මුදල් ඇමැතිවරයා අද ප්‍රකාශ කළා. මෙමඟින් ස්ථිර වහළ නොමැති නිවාසවලට ස්ථිර වහළ ලබාදීමට කටයුතු කරමින් යනවා. ඒ වගේම පූජනීය ස්ථාන දියුණු කිරීමට මුදල් වෙන්කර තිබෙනවා. මේ සියලු සංවර්ධන කටයුතු කරන ගමන් ලක්ෂ හයකට සමෘද්ධිය ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. එජාපය නිසාම තමන්ගේ සමෘද්ධි අහිමි වූ පිරිසක් සිටියා. ඔවුන්ට සාධාරණය ඉටුකිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා.

රජය ගෙන යන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහනට බැංකුවලින් යම් යම් අවස්ථාවලදී ක්‍රියාත්මක නොවන බවට කරුණු වාර්තා වෙලා තිබෙනවා. මේ පිළිබඳ සොයා බලා ඉදිරියේදී කටයුතු කරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එ.ජා.ප.) – ජනාධිපතිවරයා එක පැත්තකට අගමැතිවරයා එක පැත්තකට ගොස් තීරණ ගැනීමේදී ජනතාව පීඩාවට පත්වෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එ.ජා.ප.) – අනුරාධපුරයේ පන්සල් 300 ක් ඉදිකිරීමට මම ගම්පෙරළිය හරහා ආධාර ලබාදී තිබෙනවා. ‘ගම්පෙරළිය’ හරහා අපේ දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම කඩිනම් වෙලා. ජාතිවාදය තිබුණොත් රට සංවර්ධනය කරන්න බැරි වෙනවා. ඒ නිසා අප සියලුදෙනා එකමුතුවෙන් රට ගොඩගත යුතුයි.

අපි ජාතිවාදය අවුස්සා මැතිවරණ දිනන්න කටයුතු කරන්න හොඳ නැහැ. විවාද නිමා විය. පනත් සම්මත විය.

පාර්ලිමේන්තුව අද (19) සවස 1.00 යළි රැස්වේ.

නව අදහස දක්වන්න