සයිබර් පනතින් තොරතුරු අයිතිය රැකෙනවා | දිනමිණ

සයිබර් පනතින් තොරතුරු අයිතිය රැකෙනවා

සයිබර් ආරක්ෂණ නීති හඳුන්වාදීමේ මූලික අරමුණු සයිබර් අවකාශයේ හුවමාරු වන දත්ත හා තොරතුරුවල සුපිරිසිදු බව හා රහස්‍යභාවය ආරක්ෂා කිරීම බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

මෙම නීති මගින් අනවසර ඇතුළත්වීම වළක්වාලීම, පද්ධතිවලට හානි කිරීම වළක්වාලීම, විකෘති කිරීම්, වෙනස් කිරීම්වලට අවශ්‍ය දඬුවම් ලබාදීමට හැකිබවද පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා (එජනිස) - තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවාද? ඉංග්‍රිසි භාෂාව දන්නා කීදෙනෙක් මේ රටේ සිටිනවාද? සාධාරණ හේතුවක් නොමැතිව පසුගිය කාලය තුළ වත්මන් ආණ්ඩුව කීවතාවක් සමාජ ජාලා තහනම් කළාද? පනත් කෙටුම්පත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සකස් කර තිබෙනවා. ඉංග්‍රිසි නොදන්නා අය මේ පනත් කෙටුම්පත් ගැන දැනගන්නේ කෙසේද? මේ දේවල් සමාජ මාධ්‍ය මඟින් හෙළි කරනවා. ඒවා නැවැත්වීමට තමයි සමාජ ජාලා තහනම් කිරීමට රජය කටයුතු කරන්නේ. රටේ තාරුණ්‍යය රජයට අවශ්‍ය පරිදි නොමඟ යවන්නට බැහැ. ලක්ෂ 14, 15ක් පමණ තරුණයින් ඉදිරි මැතිවරණය සඳහා ලියාපදිංචිව සිටිනවා. ඒ අය බුද්ධිමත්, දේශපාලකයන්ට අවශ්‍ය පරිදි ඔවුන්ව හැසිරවීමට නොහැකියි. ඒ අයව රැවටීමට දේශපාලකයින්ට නොහැකියි. යෝජිත පනත් කෙටුම්පත නිසියාකාරව අපට පෙන්වන්න.

යෝජනාව ස්ථිර කරමින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප) - තොරතුරු පනතට මමත් අත ඉස්සුවා. විවිධ අඩුපාඩුකම් යටතේ තමයි මේ දේවල් සිදුවන්නේ.

කැබිනට් නොවන ඇමැති අජිත් පෙරේරා මහතා- තොරතුරු දැනගැනීමේ පනත අප රජය මඟින් ඉදිරිපත් කර සම්මතකර ගනු ලැබු මහජනතාවට ලබාදුන් ජයග්‍රහණයකි. එම අයිතිවාසිකමට හානි කිරීමට අපි කිසිසේත් අදහස් කරන්නේ නැහැ.

ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති රුවන් විජේවර්ධන මහතා - අපිට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහනම් කරන්න කිසිම වුවමනාවක් නැහැ. එහෙම කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. සමාජජාල තහනම් කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. අපිට අවශ්‍ය තොරතුරුවල සුරක්ෂිතතාව ඇති කරන්න පමණයි. එ සඳහා ගෙනෙන සංශෝධනවලට සහාය දක්වනවා.

නව අදහස දක්වන්න