කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක් | දිනමිණ

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් - ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද

පසුගිය 2018 වසරේ කුරුඳු අපනයනයෙන් ශ්‍රී ලංකාවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි අපනයන කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා පවසයි. දශක ගණනාවක් තිස්සේ පැවති පසුගාමී වෙළෙඳපොළ තත්ත්වයන් බිඳ හෙලමින් කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය 2018 වර්ෂයේ දී රුපියල් මිලියන 35,000ක විදේශ විනිමයක් උපයාගෙන තිබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කුරුඳු රසයෙන්, සුවඳින් හා ගුණයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා අතර වර්ෂ 2016 සිට කුරුඳු අපනයනය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළ බව ද 2018 වසර වන විට එය මෙට්‍රික් ටොන් 17,500ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද හීන්කෙන්ද මහතා සඳහන් කළේය. එය 2017 වසරට සාපේක්ෂව 5.5%ක වර්ධනයකි. ඉතිහාසය තුළ වාර්තා වන ඉහළම කුරුඳු අපනයන පරිමාව මෙය වන අතර කුරුඳු අපනයන ආදායම 2017 වර්ෂයට සාපේක්ෂව 13%කින් ඉහළ ගොස් තිබේ. මේ සඳහා දිවයින පුරා පැතිරුණු කුරුඳු වගා අක්කර 80,000ක් පමණ දායකත්වය ලබාදී ඇත. මෙම කර්මාන්තය මත යැපෙන වගාකරුවන් ප්‍රමාණය 100,000ක් පමණ වන අතර වර්තමානයේ දේශිය වෙළෙඳපොලේ කුරුඳු කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 2,000ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයනයෙන් වැඩිම ප්‍රමාණයක් මිල දී ගනු ලබන්නේ මෙක්සිකෝව විසිනි. එය 2018 වසරේ මුළු කුරුඳු අපනයනයෙන් 55%කි.

පසුගිය වසරේ දී අපනයන කෘෂිකර්ම අංශයේ ආදායමෙන් 54%ක් මෙරටට ලැබී ඇත්තේ කුරුඳු අපනයනයෙන් විම ද විශේෂත්වයකි. කුරුඳු මිල ලෝක වෙළෙඳපොළේ ස්ථාවරව පැවතීම හා කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළයාම, ශ්‍රී ලාංකේය කුරුඳුවල ඇති ඖෂධිය වටිනාකම් පිලිබඳ ලෝක ප්‍රජාවගේ ඇති කැමැත්ත ආදී සාධක මේ සඳහා බලපා තිබේ.

පසුගිය කාලවකවානුව තුළ කුරුඳු වගාබිම් ප්‍රමාණය වැඩි වුවත් තැලුම්කරුවන්ගේ විශාල හිඟයක් පැවතිණ. නමුත් ප්‍රථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව විශේෂ කුරුඳු ප්‍රවර්ධන ජාතික වැඩසටහන් ගණනාවක්ම දියත් කරන ලදී. ඒ අතර මාතර තිහගොඩ පිහිටි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යාස්ථානය ආශ්‍රිතව කුරුඳු තැලුම්කරුවන් පුහුණු කිරීමේ පාඨමාලාවන් ඔස්සේ වෘත්තීය මට්ටමේ කුරුඳු තාක්ෂණ ශිල්පින් වැඩි ප්‍රමාණයක් බිහිකර තිබේ. එමෙන්ම කුරුඳු වගාව සඳහා සහතික කළ පැළ සහන මිලට ලබාදීම, වගාව ආශ්‍රිතව පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා යෝග්‍ය තාක්ෂණය සහිත ක්ෂේත්‍ර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කුරුඳු කර්මාන්තය හා එහි වෙළෙඳපොල ආවරණය වන පරිදි ජාතික මට්ටමේ ප්‍රදර්ශන පැවැත්වීම ආදිය ද මේ සඳහා බලපෑ සෙසු සාධක වන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාලවරයා වැඩිදුරටත් පැවසිය.

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු

නව අදහස දක්වන්න