සංචාරක කර්මාන්තය - සහන පැකේජය පුළුල් වෙයි | දිනමිණ

සංචාරක කර්මාන්තය - සහන පැකේජය පුළුල් වෙයි

(බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි)
 
මෑතකදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලබා දුන් සහන පැකේජය තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
 
මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ සම්බන්ධ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතයට එල්ලවූ තර්ජනය සැලකිල්ලට ගෙන එම ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා සහන පැකේජයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.
 
එයට අමතරව එම සිද්ධිය හේතුවෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අනෙකුත් කේෂ්ත්‍රයන් සඳහා ද සහන ලබා දෙන ලෙස ඉදිරිපත් වූ නියෝජනයන් සලකා බලමින් එම අංශ සඳහා ද පෙර ලබා දුන් සහන තවදුරටත් පුළුල් කිරීම සඳහා ක්‍රියා කර තිබේ.
 
ඒ අනුව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ආයතන හා පුද්ගලයන් සඳහා හඳුන්වා දුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් 2020 මාර්තු 31 දින දක්වා සහන කාලයක් ලබා දීම හා ඒ සඳහා වන ණය සුරැකුම් අරමුදලේ ආවරණය පුළුල් කිරීම, මගී බස්රථ හිමියන් සඳහා 2019 ජූනි 30 දක්වා මාස 2 ක ණය සහන කාලයක් ලබා දීම, සංගීත කණ්ඩායම් සඳහා ද සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ආයතන හා පුද්ගලයින් සඳහා හඳුන්වා දුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම සහ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාර කටයුතුවලදී යෙදී සිටින කුඩා පරිමාණයේ අවිධිමත් අංශවල පුද්ගලයන් හා ආයතනවලට අවශ්‍ය මුල්‍ය සහාය ලබා දීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'සංචාරක පොඩ්ඩෝ' සහන ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීම යනාදී සහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
 
  
 

නව අදහස දක්වන්න