ඒත් අන්තවාදය මේත් අන්තවාදය | දිනමිණ

ඒත් අන්තවාදය මේත් අන්තවාදය

අසේල කුරුළුවංශ

මෙරට සියලු දේශපාලන පක්ෂ කරමින් සිටින්නේ ඉදිරි ජනපතිවරණය ඉලක්ක කර සැලසුම් සකස් කිරීමය. අන්තවාදය පෝෂණය කිරීම එහි එක් ප්‍රමුඛ කාර්යයකි. මහින්ද ප්‍රමුඛ පොහොට්ටු පක්ෂයේ පිරිස් වර්ගවාදයේ කොඩිය රැගෙන ගොස් ඉදිරි මැතිවරණය ජයගත හැකියැයි විශ්වාස කරති. අඩුම වශයෙන් ඊළඟ ජනපතිවරණය තෙක් හෝ වාර්ගික ආතතිය පවත්වාගෙන යෑම ඔවුන්ගේ අවශ්‍යතාව වී තිබේ.

සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමඟ ලිබරල් මිනිහෙක් නොඑසේ නම් තනි තනිව හිතන මිනිසුන්ගේ ලෝකයක් බිහිව තිබෙන බවට ලෝකය තුළ විශ්වාසයක් ඇති විය. විශ්වයේ අවසාන මිනිසා මිහිමතට දැන් පැමිණ සිටින්නේය කියන සංකල්පය පදනම් කර ගනිමින් මෙම ලිබරල් මිනිසා තමන්ගේ යහපත කුමක්ද කියා තමන්ම තීරණය කරන පුද්ගලයකු ලෙස කටයුතු කළේය. මෙය එක්තරා අන්දමකට තමන්ට ඕන ආකාරයට තමන් ජීවත්වීම යනුවෙන්ද විග්‍රහ කළ හැකිය. මෙම ක්‍රමය තුළ විෂය මූලික දේශපාලන කාරණා වන පන්තිය, විරැකියාව, දුප්පත්කම, මන්දපෝෂණය වැනි කරුණු වෙනුවට මනෝ මූලික කාරණා මත මිනිසා ක්‍රියා කරන ස්වරූපයක් දක්නට ලැබිණි. දේශපාලනයද මෙම කරුණු පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඒ තුළ මෙම තත්ත්වය පැහැදිලිව ඉස්මතුව පෙනෙන්නට විය. අපි සහ අපේ පන්තියේ අය කවුද, අපේ පන්තියට තිබෙන ප්‍රශ්න මොනවාද යන්න වෙනුවට මම විශ්වාස කරන ධර්මය, මම අදහන ආගම, මම අනුගමනය කරන සදාචාරාත්මක ප්‍රමිති මොනවාද යන්න සමාජ කතාබහට ලක්විය. ඒවා අනුගමනය කරන හා නොකරන අයවලුන් ලෙස වර්ග කර තමන් විශ්වාස නොකරන ආගමක් අදහන පුද්ගලයා තමන්ගේ සතුරකු බවට පත්කර ගන්නා ක්‍රමයක් මේ ඔස්සේ බිහි විණි. මම විශ්වාස කරන සදාචාර ධර්මයන් පිළි නොපදින කෙනා මගේ හතුරකු ලෙස සලකන සමාජයක් බිහි වීමට මෙය හේතු වූයේය. මෙවැනි හැඟීම් උද්දීපනය වීම තුළ තමන්ගේ ආගමේ, තමන්ගේ ජාතියේ නොවන කෙනාගේ පැවැත්මට අභියෝග කිරීමේ මානසිකත්වය ඇති පිරිසක් බිහි වීම වැළැක්විය නොහැකිය.

ශ්‍රී ලාංකීය සමාජය තුළ දැන් දක්නට ලැබෙන්නේ මෙම තත්ත්වයේ ප්‍රතිබිම්භයකි. සකල ලෝකවාසී නිර්ධනයනි එක්වව් යැයි මාක්ස් එදා කළ ප්‍රකාශය වර්තමානයේදී සකල ලෝකවාසී සිංහලයිනි එක්වව් ලෙස වෙනස්ව තිබේ. එය සිංහලුන්ට පමණක් නොව මුස්ලිම් හා දෙමළ ජනතාවටද පොදුය. ලෝකයේ සටන් පාඨ වෙනස් වී තිබේ. තමන් කේන්ද්‍ර කර ගනිමින් සිතන පතන මිනිසුන් බිහිවීම ඔස්සේ මනුෂ්‍යයාගේ මූලික මානව හරය ඉවත් වී එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කරන පුද්ගලයින්ගෙන් පිරි වටපිටාවක් නිර්මාණය වී ඇත. තමන්ගේ උත්සාහයන් අසාර්ථක වන සෑම අවස්ථාවකදීම අනෙකා පිට වරද පටවා ඔවුන්ට වෛර කිරීම මෙහිදී දක්නට ලැබෙන තත්ත්වයකි. අපි දුගී බවට පත්ව තිබෙන්නේ මුස්ලිම් අය නිසා යැයි තීරණය කර ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වර්ජනය කරන වැඩපිළිවෙළකට ගොනුවීම වැනි දේ මේ නිසා සිදුවෙයි. අද මෙරට එම තත්ත්වය පැහැදිලිව දක්නට ලැබෙයි.

කාල්මාක්ස් අමතකවීම

මූලධර්මවාදී කොටස්වල ඉස්මතු වීම ලෝකයේ සෑම ආගමක දකින්නට ලැබෙන ප්‍රවණතාවකි. සහරාන් වැනි කණ්ඩායම් වෙතින් ඉස්ලාම් අන්තවාදී මූලධර්මවාදය මතු වූවා සේම ගලගොඩඅත්තේ ඥානසාර හා අතුරලියේ රතන වැනි භික්ෂූන් වෙතින් මතු වන්නේ සිංහල බෞද්ධ අන්තවාදයයි. මෙය සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේගේ ධර්මයට පටහැනි වූවකි. මෙරට නායක හිමිවරු බුදුන් වහන්සේ වදාළ ධර්ම විනය ප්‍රතිපත්ති අනුගමනය කරන්නේද යන්න අවබෝධයෙන් කටයුතු කරන ලාංකීය බෞද්ධ ජනතාව අසනු ලබන ප්‍රශ්නයකි. බිෂොප්තුමන්ගේ භූමිකාව තවමත් කවුරුන් හෝ නිවැරදි ලෙස ප්‍රශ්න කිරීමකට ලක් කරනු ලැබුවේ නැත. කතෝලිකයන්ගේ ආගමික නායකයා යන්න අභිබවා යමින් උන්වහන්සේ අද මෙරට බෞද්ධ ජනතාවගේ ද ආකර්ෂණීය නායකයා බවට පත්ව සිටිති. කතෝලික ආගමද ඉස්ලාම් ආගම මෙන්ම අතීතයේ විශාල ලෙස මනුෂ්‍ය ඝාතනවලට තුඩුදුන් ආගමකි. විශේෂයෙන්ම මේවා ඒක දේවවාදී ආගම්ය. එවැනි ආගම් අදහන අය එක දෙවියකු කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම තුළ අනෙක් දෙවිවරුන් හෝ ආගම්වලට එරෙහිව කටයුතු කිරීමට පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. කුරුස යුද්ධය සම්බන්ධව අධ්‍යයනය කිරීමේදී ආගමේ නාමයෙන් මිනිස් ඝාතන සිදුව තිබෙන අයුරු තේරුම් ගැනීමට පුළුවන. එක ආගමකට පුද්ගලයකු අන්ධ ලෙස ආසක්ත වුවහොත් සිදු වන්නේ ස්වාභාවිකව මිනිසා සතුව තිබෙන මනුෂ්‍ය ශාරය ඔහු වෙතින් වියැකී යාමට පටන් ගැනීමය.

මිනිස් විශේෂතා

මනුෂ්‍යයකුට විශේෂතා රැසක් තිබේ. එකක් නම් අනෙකාගේ දුක තේරුම් ගැනීමට පුළුවන් වීමය. අනෙකාගේ වේදනාව තේරුම් ගැනීමට හැකියාව තිබීමය. බුදුන් වහන්සේ වටිනා සත් ගුණවත් ධර්මය මගින් කරුණාව ඔස්සේ පැහැදිලි කරන්නේ මෙම ධර්මතාවයි. අනුන්ගේ දුක දැක යම් කෙනකුගේ හදවත කම්පා වන්නේ නම් එය කරුණාව ලෙස බුදුන් වහන්සේ වදාරා තිබේ. මෙය මනුෂ්‍යයෙක් වීම නිසාම මිනිසාට උරුම වන්නාවූ දෙයකි. කරුණාව, දයාව, මෛත්‍රිය, සානුභූතිකත්වය වැනි දේ මිනිසත් බවක් ලැබීම නිසාම මනුෂයකුට ලැබෙන දේවල්ය. ආගම්වලට මිනිස්සු ආකර්ෂණය වීමෙන් පසු මෙම මනුෂ්‍ය ශාරය ක්‍රමානුකූලව වියැකී ගියේය. සහරාන්ලා, අතුරලියේ රතන හිමි සහ ඥානසාර හිමි අද කරමින් සිටින්නේ මේ මනුෂ්‍ය ශාරය ආගමේ නාමයෙන් මිනිසා වෙතින් ඉවත් කිරීමය. තම මතය ගරු නොකරන අනෙකා මරා දැමිය හැකි මිනිසෙකු නිර්මාණය කිරීම මේ ඔස්සේ සිදු වෙයි.මගේ ධර්මය අදහන්නේ නැති මිනිසා මගේ සතුරෙකි යන්න විශ්වාස කරමින් ඔවුන් මරා දැමිය හැකි ආකාරයේ පුද්ගලයකු නිර්මාණය කිරීම මේ තුළින් සිදු වෙයි. සහරාන් විසින් සිදු කළේ ද මෙයයි.

අපේ ආගම අදහන්නේ නැති අය අපේ සතුරන්ය යන මතවාදය ප්‍රවර්ධනය කළ ඔහු තමන්ගේ ආගම නොඅදහන පිරිස් ඝාතනය කළේය. ඒ තුළින් තමන්ගේ විමුක්තිය උදාවන්නේ යැයි සිතන තැනට මිනිසා දක්කා ගෙන යෑම මෙහි දක්නට ලැබෙන ප්‍රවණතාවයි. සකල විධ ආගමික උන්මත්තකභාවයන්ගෙන් ගොඩඑන්නේ කෙසේද යන්න පිළිබඳව මේ මොහොතේ ශ්‍රී ලාංකීය සමාජය කල්පනා කර බැලිය යුතු වන්නේ එහෙයිනි. එහිදී ආගමික නායකයින් ප්‍රශ්න කළ යුතුව තිබේ. මඩකළපුවේ දේවස්ථානවලට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් මියගිය අය ගැන සොයා බැලීමට හෝ ඔවුන් පිළිබඳ කතා කරන්නට කාදිනල්තුමන් පියවර නොගත්තේ ඇයිද යන්න සම්බන්ධව උන්වහන්සේගෙන් ප්‍රශ්න කළ යුතුය. එය සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් සිදු කරන්නා වූ ප්‍රශ්න කිරීමකි.

ආගමික නායකයින් දේශපාලනයට ඇඟිලි නොගසා ආගමික වැඩ කළ යුුතුය. අද ආගමික නායකයින් ආගමික කටයුතු පසෙකට දමා කරමින් සිටින්නේ දේශපාලන වැඩය. පාලකයින්ට හිට්ලර් කෙනකු වන ලෙස බණ දේශනා කරන භික්ෂූන් වහන්සේලා සිටින බව අප තේරුම් ගත යුතුය. ලෝක දේශපාලනික තත්ත්වය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති උන්මත්තක වර්ගවාදීන්ගෙන් අනුශාසනා ගැනීමෙන් කිසිදු යහපත් පලයක් ලැබෙන්නේ නැත. මිනිසුන් අතර වර්ගවාදය වැපිරීමෙන් බුදුන් වහන්සේගේ ධර්ම විනය දෙකට බරපතළ හානියක් සිදුවේ. වර්තමානයේදී ආගම්වලින් සිදු කරමින් සිටින්නේ මිනිස්සුන්ට තිබෙන්නා වූ යහපත් ශාරය විනාශ කිරීමය. මේ නිසා ඇතැම් ආගමික නායකයින්ගේ අනුශාසනාවලට කන් නොදී සිටීම වඩා හොඳය. ආගම හා දේශපාලනය දෙක වෙන් කර තැබෙන ක්‍රමයක් වෙත අප යායුතුව තිබේ. අපේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ දරුවන්ට උගන්වනු ලබන්නේ බෙදුණු ඉතිහාසයකි. බෙදී වෙන්ව මරා ගත්තේ කෙසේද කියන ඉතිහාසය මිස අපි එකට ජීවත් වුයේ කෙසේද කියන ඉතිහාසය කතා කරන්නේ නැත. විෂය නිර්දේශවල පවතින මෙම අඩුපාඩු ඉවත් කිරීමට බරපතළ සංශෝධන අවශ්‍යය.

ජනපතිවරණය

ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සිදුකළ ප්‍රහාරයට පසු සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් සමස්ත මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර බලපෑම් කරන්නට යෑම හේතුවෙන් සිදුවූයේ සියලු මුස්ලිම් ඇමැතිවරු ආණ්ඩුකරණයෙන් ඉවත් වීමය. එක සුළු වාර්ගික කණ්ඩායමකට විරුද්ධව දැවැන්ත ප්‍රහාරයක් බහුවාර්ගික කණ්ඩායමෙන් එල්ල වන විට ලෝකයේ ඕනෑම තැනක සුළු ජන කොටස් අතර ඒකාබද්ධවීමක් දැකිය හැකිය. එය නොවැළැක්විය හැකි තත්ත්වයකි. සහරාන්ගේ ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ජන සමාජය වෙත මුදාහළ ප්‍රචණ්ඩත්වය මුස්ලිම් සමාජයට බරපතළ ලෙස දැනුණි.එහි ප්‍රතිඵලයක් ලෙස සියලු බේද අමතක කර මුස්ලිම් ජනතාව එක්සත් වූහ. මෙය යහපත් සංඥාවක් නොවේ. මෙතෙක් කල් මුස්ලිම් ජන නායකයෝ සිංහල නායකයින් සමඟ එක්ව පාලන තන්ත්‍රයට සම්බන්ධව කටයුතු කළහ. නිදහස් ශ්‍රී ලංකාවේ මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ප්‍රථම වතාවටය.

මෙරට සියලු දේශපාලන පක්ෂ කරමින් සිටින්නේ ඉදිරි ජනපතිවරණය ඉලක්ක කර සැලසුම් සකස් කිරීමය. අන්තවාදය පෝෂණය කිරීම එහි එක් ප්‍රමුඛ කාර්යයකි. මහින්ද ප්‍රමුඛ පොහොට්ටු පක්ෂයේ පිරිස් වර්ගවාදයේ කොඩිය රැගෙන ගොස් ඉදිරි මැතිවරණය ජයගත හැකියැයි විශ්වාස කරති. අඩුම වශයෙන් ඊළඟ ජනපතිවරණය තෙක් හෝ වාර්ගික ආතතිය පවත්වාගෙන යෑම ඔවුන්ගේ අවශ්‍යතාව වී තිබේ. වාර්ගික ආතතිය පාවිච්චි කර සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් මැතිවරණය ජය ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බව පැහැදිලිය. විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමේ සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරු සමාජය තුළ මෙම වාර්ගික ආතතිය ගෙන යෑම පිණිස සක්‍රීය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිති. මෙම ජනවාර්ගික ආතතිය ඉදිරි ජනපතිවරණයේදී තීරණාත්මක සාධකයක් වන බව ජනපති මෛත්‍රී ද විශ්වාස කරන බවක් පෙනෙන්නට ඇත.

දේශපාලන නාටක

අද රට තුළ රඟ දැක්වෙන්නේ දේශපාලන නාටකයකි. නාටකවල විවිධ ජවනිකා තිබේ. එක් අවස්ථාවක සතුරා වන පුද්ගලයා තවත් අවස්ථාවක මිතුරා බවට පත්වෙයි. රතන හිමි බලන්නට ගලබොඩ හිමි මහ මළුවට යෑම එවැනි එක් ජවනිකාවකි. පසු දින රතන හිමි විවේචනය කරමින් උන්වහන්සේ කළ ප්‍රකාශය තවත් ජවනිකාවකි. රතන හිමිගේ උපවාසයට මුස්ලිම් ඇමැතිවරු දක්වන ලද ප්‍රතිචාර හේතුවෙන් එවැනි ප්‍රකාශයක් කරන්නට ඥානසාර හිමිට සිදුවිය. අද ඇතැම් විහාරස්ථාන දේශපාලන පිටි බවට පත්ව තිබේ. වර්ගවාදී දේශපාලනඥයින්ට මේවා තුළ නවාතැන් සැපයීමට සමහරක් භික්ෂූන් වහන්සේ පියවර ගෙන තිබේ. පක්ෂ නායකයකු ලෙස මේ මොහොතේ දුර දක්නා නුවණකින් යුතුව කටයුතු කරමින් වාර්ගික ප්‍රශ්නය යම් සුබවාදී ආකාරයකට කළමනාකරණය කර ගැනීමට අවංක උත්සාහයක නිරත වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පමණි. මංගල සමරවීර කියන්නේ ඇත්තය. එහෙත් ඇත්ත කතා කරන ඔහු මේ සමාජයට ද්‍රෝහියකු වී තිබේ. එය සිදු කරනු ලබන්නේ වර්ගවාදී අදහස් දරන මහ සංඝරත්නය නියෝජනය කරන පිරිසක් විසින් වීම අවාසනාවකි. සැබෑ ද්‍රෝහීන් වන්නේ මංගලට චෝදනා කරන අයයි. වාර්ගික දේශපාලනය පවතින සමාජයක සත්‍යය කතා කරන පුද්ගලයා දෝෂදර්ශනයට ලක්වීම සාමාන්‍ය තත්ත්වයකි. පාලකයෝ තමන්ගේ වාසිය සඳහා ආගම පාවිච්චි කළ අයුරු ඉතිහාසය පුරා දැකිය හැකිය.

ඉදිරි ජනපතිවරණය තෙක්ම මහින්ද වර්ගවාදයේ පිහිය මුවහත් කරනු නියතය. රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය ඊට වෙනස්ය. ඔහුට ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇත්තේ සාමකාමී සමාජයක් තුළය. සුළු ජන වර්ගවල ඡන්ද ලබාගත හැකි වන්නේ එවැනි පරිසරයක් තුළය. ශිෂ්ට මිනිස්සු අනුමත කරන්නේ මේ මොහොතේ රනිල්ගේ භූමිකාව බවට තර්කයක් නැත. අපට තිබෙන්නේ සේවා ආර්ථිකයකි. එවැනි ආර්ථියක් සාර්ථකව පවත්වා ගෙන යාමට විදේශ සංචාරකයින් මේ රටට ගෙන්වා ගත යුතුය. ඊට රටේ සාමය ස්ථාපිත විය යුතුව තිබේ. එය කළ හැක්කේ සියලු ආකාරයේ වර්ගෝත්තමවාදී දේශපාලනයට තිත තැබීමෙනි. සිංහල, මුස්ලිම් හා දෙමළ ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය මත යන දේශපාලනය නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට රජය මැදිහත් විය යුතුව ඇත.

මෙම පසුබිම තුළ සැබෑ වමක අවශ්‍යතාව අන් කවරදාටත් වඩා තදින් දැනෙන තත්ත්වයක් මතුව තිබේ.ජනතා විමුක්ති පෙරමුණ තුළ කිසිදා සැබෑ වමේ භූමිකාව දක්නට ලැබුණේ නැත. ඔවුන් කතා කරන්නේ නව ලිබරල්වාදීන් කළ යුතු බව කියන ප්‍රතිසංස්කරණ පිළිබඳවය. සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ මහින්දගේ වාර්ගවාදී දේශපාලන මඩගොහොරුවේ ගිලී ඇත. මහින්දගේ ඔඩොක්කුවේ සිට ඔවුන්ට කිසිදා සැබෑ වමේ දේශපාලන භූමිකාවට පණ දිය නොහැකිය. විකල්ප වමක් ලෙස ක්‍රියා කළ ජයම්පති වික්‍රමරත්නලා වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නව ලිබරල්වාදී ඇජන්ඩාවට අනුවය.සැබෑ වමක් සදහා සමාජ දේහය තුළ විවරයක් තිබේ.ප්‍රධාන පක්ෂ පිණුම් ගසන දේශපාලන මඩ ගොහොරුවේ ළඟින ව්‍යාජ වාමාංශිකයින්ට මෙම අඩුව කිසිසේත් පිරවිය නොහැකිය.


නව අදහස දක්වන්න