හරි අතට පැදවිය යුතු විදේශ සබඳතා | දිනමිණ

හරි අතට පැදවිය යුතු විදේශ සබඳතා

චීනය, පකිස්ථානය සමඟ සේ ම සාම්ප්‍රදායික වශයෙන් ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ ම අප අරාබි රටවල් සමඟ ද බැඳියාවක් පවත්වන අතර මේ සියලු බැඳීම් තුලනය කරගත යුතු ය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ පෙරටත් වැඩියෙන් අපට ලෝකයා හා ගනුදෙනු කිරීම අත්‍යවශ්‍ය ය. ආයෝජන වැඩි කරගැනීමට, සංචාරක ව්‍යාපාරය වර්ධනය කරගැනීමට, රට තුළ විදේශීය ව්‍යාපෘති ආරම්භ කිරීමට නම් සියලු රටවල්, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යා යුතු ය.

අමෙරිකාව සහ චීනය අතර පවතින බලගැටුම, මේ දිනවල ලෝක දේශපාලනයේ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන මාතෘකාවකි. පසුගිය දිනක ජනපතිවරයාගේ චීන සංචාරය, අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක යෙදීමෙන් අනතුරුව විදේශ ඇමතිවරයා අත්සන් කළ ගිවිසුමේ දිගුවක් ලෙස, අමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම ආදි කරුණු උක්ත බලගැටුම ශ්‍රී ලංකාවට ද බලපාන බව පැහැදිලි ය. ලෝකයේ ස්වාධිපති නිදහස් රාජ්‍යයන් එකසිය අනූහතරක් පමණ වේ. ඒ සියලු රාජ්‍යයන් නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වන අතර ජාත්‍යන්තර සමාජයේ අනෙකුත් රාජ්‍යයන් සමඟ කුමනාකාර හෝ සබැඳියාවක් පවත්වයි. අද ලෝකය ගමන් කරන දිශානතිය තුළ කිසිදු රාජ්‍යයකට තනි රාජ්‍යයක් ලෙස පැවැත්මක් නැත.

රාජ්‍යයන් ජාත්‍යන්තර ප්‍රජාව සමහ සබඳතා පවත්වාගෙන යමින් සිය ජාත්‍යන්තර අරමුණු ඉටු කිරීමට යොදාගන්නා ක්‍රියාදාම නොඑසේ නම් උපාය මාර්ග හැඳින්වෙන්නේ විදේශ ප්‍රතිපත්තිය ලෙසිණි. ඕනම රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය; රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, විදෙස් ආධාර හා ආයෝජන, යුද ආධාර සහ මිලිටරි බලය වශයෙන් කොටස් කිහිපයකි. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ජාලය තුළින් රටක් වශයෙන් ළඟා කරගත හැකි දේ බොහෝ ය. තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස අපේ විදේශ ආධාර, ආයෝජන වැනි අවශ්‍යතා සපුරා ගැනීමට ජාත්‍යන්තරය සහ රාජ්‍යයන්, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සමඟ ගනුදෙනු කළ යුතු ය. ඕනෑම රටක් එම ගනුදෙනුව අඩුවැඩි වශයෙන් සිදු කරයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපට අභ්‍යන්තර ආරක්ෂක ගැටලු ගණනාවක් තිබේ. කලාපයේ බලවතුන් සහ ලෝක බලවතුන් සමඟ සබඳතා පවත්වාගෙන යෑමේ දී අනවශ්‍ය ලෙස එක් අංශයකට ළැදි වුවහොත් අනෙක් පාර්ශ්වලින් එල්ල වන ගැටලු ආරක්ෂක උභතෝකෝටිකයන් වේ. මෙම ආරක්ෂක උභතෝකෝටිකයන්ට සාර්ථකව මුහුණ දිය යුත්තේ කෙසේද යන්න අතිශය වැදගත් ය.

ලෝක බල තුලනය

නිදහස ලැබීමෙන් පසුව අපේ විදෙස් ප්‍රතිපත්තිය විධිමත්ව පවත්වාගෙන ආවෙමු. සෑම ආණ්ඩුවක ම විදේශ ප්‍රතිපත්තියේ යම් යම් වෙනස්කම් පැවතුණු අතර එය තීරණය වීමේ දී එම පක්ෂවල දේශපාලන මතවාදය සේ ම බලපෑම් එල්ල කළ තවත් සාධක ගණනාවකි. එහිදී කලාපයේ භූ දේශපාලනය විශේෂයෙන් සැලකිල්ලට ලක්විය යුතුය. අප රට පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරයේ වැදගත් තැනක ය. කලාපයේ බලවතා ඉන්දියාව අපට ආසන්න රාජ්‍යයකි. එසේ හෙයින් ඉන්දියානු සාගරයේ උපාය මාර්ග සහ ඉන්දියාවේ දේශපාලන අභිලාස සමඟ නොගැටෙන අන්දමින් අපේ විදේශ ප්‍රතිපත්තිය පවත්වාගත යුතු ය. අපේ විදේශ ප්‍රතිපත්තිය තුලනය කිරීමේ දී ඉන්දියානු සාධකය අතිශය වැදගත් ය.

අද පවතින ලෝක දේශපාලන තත්ත්වය තුළ කලාපීය සහ ජාත්‍යන්තර බල තුලනය ඉතාම වැදගත් සාධකයකි. කලාපීය බල තුලනය සැලකීමේ දී සාක් කලාපයේ බලවතා ඉන්දියාවයි. ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාවට අතිරේකව අරාබි රටවල් ඇතුළු රටවල් ගණනාවකි. ඉන්දියානු සාගරයෙන් පිටස්තර ව චීනය, ජපානය වැනි රටවල් ද ඊට එහායින් යුරෝපය සහ අමෙරිකා එක්සත් ජනපදය ද ලෝක බලවතුන් ලෙස නැඟී සිටී.

ලෝකයේ බල කඳවුරු දේශපාලනය, එනම් සමාජවාදී සහ ධනවාදී බලකඳවුරු අතර දේශපාලනය නිමාවට පත් වූයේ 1990 දී පමණ ය. එහිදී සමාජවාදී බලකඳවුර බිඳවැටුණු අතර විජයග්‍රහණය කළේ ධනවාදී බල කඳවුර යි. ජාත්‍යන්තර බල තුලනය තුළ දේශපාලන නායකත්වය සහ ආර්ථික නායකත්වය හිමි වන්නේ ධනවාදී කඳවුරට ය. ධනවාදී කඳවුරෙහි කේන්ද්‍රය අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපයයි. ඒ අතරින් ද සුවිශේෂ බලවතා අමෙරිකා එක්සත් ජනපදයයි. ඉතිහාසඥයන්ට අනුව 20 වන ශතවර්ෂය අමෙරිකා එක්සත් ජනපදයේ ශතවර්ෂය යි. 20 වැනි ශත වර්ෂයේ සුපිරි බලවතා බවට අමෙරිකා එක්සත් ජනපදය පත් වුවද පසු කලෙක අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී කඳවුර මුල් කරගත් ලෝක බලතුලනය වෙනස් මානයකට යොමු විය. 21 වන ශතවර්ෂය වන විට අමෙරිකා එක්සත් ජනපදය අදහන ලිබරල් ධනවාදයට විකල්ප වශයෙන් තවත් බලවතුන් ඊට විරුද්ධව පෙළ ගැසිණි. එහි කේන්ද්‍රය ආසියාතික බල තුලනය යි. ආසියාතික බලතුලනය නැගී එන බලවතුන් ලෙස සලකා "Rising Power" නමින් හැඳින්වේ. ආසියානු කලාපයේ චීනය, රුසියාව, ඉන්දියාව වැනි රටවල් ද අනෙකුත් කලාපවල බ්‍රසීලය, දකුණු අප්‍රිකාව වැනි රටවල් ද එක්ව බටහිර ධනවාදී කඳවුරුවලට අභියෝග කිරීම තුළ ලෝකයේ නව බල තුලන තත්ත්වයක් ඇති වේ. අන්තර්ජාතික දේශපාලනයේ මෙය හැඳින්වෙන්නේ බහු ධ්‍රැව බල තුලන ක්‍රමය (Multi polar) ලෙස ය. අමෙරිකාවේ තනි බලයට අභියෝග කරමින් ඉදිරියට පැමිණි රාජ්‍යයන් අතර නැඟී එන ආර්ථික බලවතුන්ගේ ප්‍රමුඛස්ථානය හිමි වන්නේ චීනයට ය. චීනය ආර්ථික බලවතුන් අතරින් අමෙරිකාවට පසුපසින් සිටිය ද ඇතැම් ආර්ථික දර්ශකවලින් අමෙරිකාව ද අභිබවා සිටී. තවමත් දේශපාලන ක්ෂේත්‍රයේ ද මිලිටරි ක්ෂේත්‍රයේ ද අමෙරිකාවට පසුපසින් සිටින නමුත්, අමෙරිකාවට අභියෝග කරමින් නැඟී එන්නේ චීනයයි.

පසුගිය වකවානුවේ සමස්ත ලෝකය ම මුහුණ පෑ දැවැන්ත ආර්ථික අවපාතය හේතුවෙන් විශේෂයෙන් ම අමෙරිකා, යුරෝපා, ජපාන ආර්ථිකයන්හි වර්ධනය මන්දගාමී විය. එහෙත් ආසියාතික නැගී එන බලවතුන් අතරින් චීනය, ඉන්දියාව වැනි රටවල් එම ආර්ථික අවපාතයේ බලපෑම අඩු කරගනිමින්, ඔවුන්ගේ ආර්ථික වර්ධනය යහපත් මට්ටමක පවත්වාගෙන යෑමට සමත් විය. අද වන විට අමෙරිකාවේ ආධිපත්‍යයට අභියෝග කරමින් චීනය නැඟී එන්නේ, ඉතිහාසයේ මෙන් යුදමය වශයෙන් නොවේ. මේ රාජ්‍යයන් සතුව න්‍යෂ්ටික ආයුධ ඇති නමුත් ඒවා භාවිත කිරීම මානව සංහතියේ අවසානය බව ඔවුහු හොඳින් දනිති. එසේ හෙයින් සියලු අර්බුද පවතින්නේ ඊට පහළ මට්ටමක ය.

මෑත කාලයේ කතාබහට ලක්වන අමෙරිකා චීන වෙළෙඳ යුද්ධය වැනි කාරණා ඔස්සේ මෙම අර්බුදය ක්‍රියාත්මක වේ.

අමෙරිකානු පිළිවෙත

අමෙරිකාව ඉතා ආක්‍රමණකාරී අන්දමින් කටයුතු කරන අතර ඔවුන්ගේ මිලිටරි බලය අභියෝගයට ලක්කිරීමට තවමත් අනෙක් රාජ්‍යයන්ට හැකි වී නැත. සෙමින් සෙමින් වුව ද අමෙරිකානු බලයට අභියෝග කරමින් චීනයේ බලය වර්ධනය වෙමින් පවතී. අද ලෝකයේ ප්‍රධාන බල කේන්ද්‍ර දෙකකි. ජනප්‍රිය ව්‍යවහාරයේ එය හැඳින්වෙන්නේ අමෙරිකානු සහ චීන බලය වශයෙනි. 1990 වසරට පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තරමක් දුරට අමෙරිකාවට ළැදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධාන ආණ්ඩු අනුගමනය කළේ සමාජවාදි නොඑසේ නම් ආසියාතික රටවලට ළැදි විදේශ ප්‍රතිපත්තියකි.

අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය සහ ආර්ථික අර්බුදවලදී අමෙරිකා එක්සත් ජනපදය වැනි බටහිර බලවතුන්ගෙන් ප්‍රමාණවත් ආර්ථික හෝ මිලිටරිමය සහයක් නොලැබුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ යුද්ධයේ දී අපගේ ප්‍රධාන ආර්ථික සහ යුද හවුල්කරුවන් වූයේ ආසියාතික රටවල් ය. විශේෂයෙන් චීනය, පකිස්ථානය වැනි රටවල් ය. රටේ ආර්ථිකයේ ආයෝජන සහ ආධාර ව්‍යාපෘති දෙස බැලූ විට ද චීනය සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කර හා ඉටු කරමින් සිටින බවත් පැහැදිලි ය. පහුගිය වසරේ මෙරට ආයෝජනවලින් 50%කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ ද චීනයෙනි. චීනය සිය විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමේ දී අනුගමනය කරන එක් වැදගත් මූලධර්මයක් වන්නේ අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී සිටීම ය. කෙළින් ම ගැටුමකට යොමු වන්නේ නැත. ජාත්‍යන්තර දේශපාලනයේ දී පැවසෙන්නේ ඔවුන් මෘදු බලය (Soft power) අනුගමනය කරන බවයි. එහෙත් අමෙරිකාව කටයුතු කරනුයේ දැඩි බලය (Hard power), මිලිටරි බලය සහ දේශපාලන බලය පාවිච්චි කරමින් ය. එනිසා ම අමෙරිකාව හා යුද ගැටුමකට යෑමට චීනය දක්වන්නේ නොකමැත්තකි.

මෑත කාලයේ ඉදිරිපත් වූ "එක තීරයක් එක මාවතක්" ප්‍රතිපත්තිය හරහා එක ම මාවතක් හරහා ආර්ථික නවීකරණයක්, ආර්ථික ලිහිල් කරණයක් ඔස්සේ ආයෝජන සහ ව්‍යාපෘති වැඩි දියුණු කිරීම මඟින් ලෝක ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ ක්‍රියාපටිපාටිය අමෙරිකාව ප්‍රතික්ෂේප කරමින් සිටී. අමෙරිකාවේ හවුල්කරුවා ලෙස ඉන්දියාව ද අනුගමනය කරනුයේ එවැනි ම ප්‍රතිපත්තියකි. ඉන්දියාව සහ චීනය අතර දේශසීමා යුද්ධ, බල අරගල වැනි දීර්ඝ කාලීන ගැටුම් පවතී. ඉන්දියානු සාගරයේ සම්ප්‍රදායික බලවතා ලෙස ඉන්දියාව සිටින අතර එයට පිටස්තරව එන චීනය විශේෂයෙන් ම දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව වටා ඇති කුඩා බලවතුන් (කුඩා රටවල්) ඉලක්ක කරගනිමින් ආර්ථික සහ යුදමය සම්බන්ධතා වැඩි දියුණු කරගැනීම වේගවත් කොට ඇත. ලංකාව සම්බන්ධයෙන් ද එම තත්ත්වය විශේෂ ය. මෙතුළින් ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියටත් යම් බලපෑමක් එල්ල වේ. අප මෙම තත්ත්වයන් තුලනය කරගත යුතු ය. විදේශ ප්‍රතිපත්තිය නිවැරදිව පවත්වාගන්නේ කෙසේද යන්න අතිශය වැදගත් ය. විශේෂයෙන් ම භූ දේශපාලන පිහිටීම හේතුවෙන් ම ඉන්දියාව සමඟ අප පවත්වන විශේෂ සබඳතාව පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සේ ම ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ද ඉන්දියාවෙන් අප ලද උපකාර තීරණාත්මක විය.

චීනය, පකිස්ථානය සමඟ සේ ම සාම්ප්‍රදායික වශයෙන් ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ ම අප අරාබි රටවල් සමඟ ද බැඳියාවක් පවත්වන අතර මේ සියලු බැඳීම් තුලනය කරගත යුතු ය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ පෙරටත් වැඩියෙන් අපට ලෝකයා හා ගනුදෙනු කිරීම අත්‍යවශ්‍ය ය. ආයෝජන වැඩි කරගැනීමට, සංචාරක ව්‍යාපාරය වර්ධනය කරගැනීමට, රට තුළ විදේශීය ව්‍යාපෘති ආරම්භ කිරීමට නම් සියලු රටවල්, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යා යුතු ය. ජාත්‍යන්තර ප්‍රජාව ගැටුම් ඇති කරගතහොත් අපේ දේශපාලන, ආර්ථික තත්ත්වයන්ට බලපෑම් එල්ලවිය හැකිය. ගෝලීයකරණයට පිටුපා අපට උඩුගං බලා පිහිනිය නොහැකිය.

බෙදුම්වාදී යුද්ධයේ දී උපකාර කළේ සීමිත රටවල් ප්‍රමාණයකි. යුද්ධයෙන් පසුව ලෝකයා දසඟ නිවැරදි ව ගනුදෙනු කිරීමට ආණ්ඩුව අසමත් වූ බැවින් නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවන්ට, සීමා කිරීම්වලට මෙරට ලක්වූ අතර ආයෝජන අවස්ථා සහ සංචාරක ව්‍යාපාරය වර්ධනය වීමේ ඉඩ ප්‍රස්ථා ද අහිමි විය. එකල අප සබඳතා පැවැත්වූයේ ස්වාසිලන්තය වැනි ලෝකයේ හුදෙකලා රටවල් සමඟ ය. රටවලට තනි ව ගමනක් නැත. ජාත්‍යන්තරය යම් රටක් හුදෙකලා කළහොත් අත්වෙන ඉරණම කියාපෑමට උතුරු කොරියාව ප්‍රමාණවත් නිදසුනකි. උතුරු කොරියාව ඔවුන්ගේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් වර්තමානය වන විට යම් ප්‍රමාණයක ලිහිල් භාවයක් අත් කරගෙන ඇත.

කලාපීය වැදගත්කම

2015 බලයට පැමිණි ආණ්ඩුවේ මූලික අභිප්‍රාය වූයේ එක් කේන්ද්‍රයකට සීමා වූ විදේශ ප්‍රතිපත්තිය, ලෝකයට විවෘත කිරීමයි. දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ප්‍රමුඛ රටවල්, විශේෂයෙන් ම ඉන්දියාව සමඟ ප්‍රතිවිරුද්ධ පාකිස්ථානය, ඉන්දියාව සමඟ ප්‍රතිවිරුද්ධ ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛ බලවතා වෙමින් සිටින චීනය, ඉන්දියානු සාගර කලාපයෙන් පිටස්තර යුරෝපා රටවල්, යුරෝපා සංගමය සහ ලෝක මිලිටරි බලවතා අමෙරිකා එක්සත් ජනපදය වැනි රාජ්‍යයන් සමඟ පවත්නා සම්බන්ධතා එහිදී අතිශය වැදගත් ය. අද ලෝකය ගමන් ගන්නේ බහු ධ්‍රැව බල තුලනයකට ය. අද ලෝකයේ බල මධ්‍යස්ථාන දෙකකට වැඩි සංඛ්‍යාවක් ඇත. අමෙරිකාවත් යුරෝපා බල මධ්‍යස්ථානයත් චීනය, ඉන්දියාව, පකිස්ථානය, රුසියාව වැනි ආසියාතික බල මධ්‍යස්ථානත් ඊට අයත්ය. මේ එක් බල මධ්‍යස්ථානයක් ප්‍රතික්ෂේප කරමින් අනෙක් බල මධ්‍යස්ථානය සමඟ සම්බන්ධතා පවත්වාගෙන යෑමෙන් උද්ගත වන්නේ අහිතකර තත්ත්වයකි. කලක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බටහිර රටවල් සමඟ පවත්වාගෙන ගිය දැඩි සබඳතා හේතුවෙන් ඉන්දියාව අප සමඟ අමනාප විය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සහ දෙමළ විමුක්ති ව්‍යාපාර පෝෂණය වූයේ එවන් පසුබිමක ය. දෙමළ ජනතාව හා ඉන්දියාවට පැවැති බැඳීම ජනවාර්ගික ගැටුමට ද බලපෑවේය. මුස්ලිම් ප්‍රජාව සමඟ අරාබි රටවල්වලට ද එවැනි සම්බන්ධතා ඇති බවට අදහසක් පවතී. ලොව කුඩා බලවතකු වන අපට කිසිදු රටක් සතුරු කරගෙන පැවැත්ම අසීරු ය.

ලෝක දේශපාලනයේ දී අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, චීනය, රුසියාව වැනි රටවල් මහ බලවතුන් ලෙස හැඳින්වෙන අතර ඉන්දියාව ද එම කාණ්ඩයට අයත් ය. කලාපීය බලවතුන් ලෙස දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ බලවතා වන ඉන්දියාව සහ පාකිස්ථානය ද අරාබි කලාපයේ සෞදි අරාබියාව ද නැඟී සිටී. මේ රාජ්‍යවලට සාපේක්ෂව අප ලෝක දේශපාලනයේ කුඩා බලවතෙකි.

මෙරට විදේශ ප්‍රතිපත්තියත් අප ලෝකයා හා පවත්වන සබඳතා ජාලයත් දෙස බැලූ විට පැහැදිලිව පෙනීයන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලයයි. ජනපති සහ අගමැති නියෝජනය කරන පාර්ශ්ව දෙක අතර දේශපාලන තලයේ සේ ම අන්තර්ජාතික තලයේ ද යම් ගැටුමක් පවතී. එම ගැටුම පිටතට නිරාවරණය වීම භයානක අවාසනාවන්ත තත්ත්වයකි. සෑම රාජ්‍යයකම සහය අවශ්‍ය වන බැවින් අප ලෝකය සමඟ ගනුදෙනු කළ යුත්තේ පරිස්සමෙනි. ලෝකයේ වැඩි ම විදේශ ආයෝජන සපයන්නකු ලෙස නැගී එන චීනයේ ආයෝජන සහ ආධාර අපට අතිශයින් වැදගත් ය. එම කර්තව්‍යයේදී අමෙරිකාව සහ යුරෝපය සිටින්නේ යම් පසුබැසීමක ය. ආයෝජන සහ ආධාර ලබාදීමේ හැකියාව ඉන්දියාවට ද පවතින අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ද කලාපීය බලවතා ලෙස ඉන්දියාව ද කලාපයෙන් පිටස්තර බලවතුන් ලෙස චීනය සහ අමෙරිකාව ද ප්‍රබල සහයෝගයක් ලබා දේ.

එසේ හෙයින් බටහිර රටවලට ගැති, චීනයට ගැති, ඉන්දියාවට පක්ෂපාතී ආදී වූ මතවාදවලින් අප වියුක්ත විය යුතු සේ ම මෙරට දේශපාලන පක්ෂ ද නවීකරණය විය යුතු ය. ලෝකයේ දේශපාලන පක්ෂ ක්‍රමවේද සලකා බැලූ වීට පසක් වන්නේ දේශපාලන පක්ෂ, ඇති වන තත්ත්ව අනුව වෙනස්කම් කරමින් නවීකරණය වී ඇති බව ය. මෙරට දේශපාලන පක්ෂවලින් එවැන්නක් දැකගත නොහැකි වීම අභාග්‍යයකි. මෙරට දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ දේශපාලන නායකයන්ගේ භූමිකා දෙස අවධානය යොමු කළ විට ඇතිවන්නේ කනගාටුවකි, බියකි, සැකයකි. කුලල් කා ගැනීම් හා බලගැටුම් මැද මෙරට දේශපාලන නායකයින්ට තවදුරටත් රටේ අනාගතය පිළිබඳ නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැටලුවකි. විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමේ දී මේ සියලු සාධක තුලනය කරමින් කටයුතු නොකළ හොත් අත්විය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳ අත්දැකීම් කොතෙකුත් තිබේ. නිවැරදි විදෙස් ප්‍රතිපත්තියක් නොමැති ව රටක් ලෙස තව දුරටත් ආපස්සට යනවා ද? නො එසේ නම් නවීකරණය වූ තත්ත්වයන් තුළ ලෝකයා හා ඒකාබද්ධ ව කටයුතු කරමින් ඉදිරියට යනවා ද? යන්න පිළිබඳ පැහැදිලි තීරණයක් ගත යුතු ය. රටක් ලෙස අපට ඉදිරි ගමනක් ඇත්තේ, මෙරට ආණ්ඩුකරණයේ යෙදෙන්නන් විදෙස් ප්‍රතිපත්තිය නිවැරදි දිශාවකට හැරවීමට කටයුතු යොදන්නේ නම් පමණි.

සටහන - කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න