බර්මින්හැම්හී එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව පරදවා කඩුලු 4ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය කණ්ඩායම ඊයේ සමත් විය.
මේ ජය සමගින් නවසීලන්තය අපරාජිතවම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පිවිසි අතර තරග 6කට සහභාගිවූ දකුණු අප්‍රිකාවට හිමිවූ සිවුවැනි පරාජය මෙය විය.
ආරම්භය ප්‍රමාද වීම හේතුවෙන් ඕවර 49කට සීමාවූ තරගයේ නවසීලන්තයේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 241ක් රැස් කළේය. එම ඉලක්කය හඹාගිය නවසීලන්තය පන්දු 3ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 6ක් දැවී තිබියදීය.
නායකත්වයේ ඉනිමක් දියත් කරමින් හුදෙකලා සටනක නිරතවූ කේන් විලියම්සන් සමගින් 6 වැනි කඩුල්ලට එක්වූ කොලින් ඩි ග්‍රැන්ඩෝම් පන්දු 90කින් ලකුණු 91ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්තය ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පන්දු 138කට මුහුණදුන් විලියම්සන් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමගින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 106කි. ඔහු ඊයේ වාර්තා කළේ 12වැනි එක්දින ශතකයයි.
වේගවත් ඉනිමක් දියත් කළ ග්‍රැන්ඩෝම් සිය 9 වැනි එක්දින අර්ධ ශතකය සමගින් ලකුණු 60ක් රැස් කළේ පන්දු 47කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය.
මාටින් ගප්ටිල් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 60ක් එක්කළ විලියම්සන් අනතුරුව, 5 වැනි කඩුල්ලට ජෙම්ස් නීෂම් සමගින් ලකුණු 57ක් එක්කර තිබිණි. පන්දු 34කින් ලකුණු 23ක් ලබාසිටි නීෂම් ද ක්‍රිස් මොරිස් හමුවේ දැවී ගියේය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 137ක් විය.
හතරේ පහර 5ක් සමගින් පන්දු 59කට මුහුණදී සිටියදී සිය පාදය කඩුල්ලේ වැදීමෙන් ගප්ටිල්ගේ ඉනිම නිමාවූයේ ලකුණු 35කටය. ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය ඔහු සමගින් තවත් කඩුලු 2ක් ලකුණු 8ක් තුළ බිඳ දැමීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූයේ තරගයේ වාසිය තමන් දෙසට හරවා ගනිමිනි.
ලකුණක් බැගින් රැස්කර සිටි රොස් ටේලර් සහ ටොම් ලැතම්, ක්වින්ටන් ඩි කොක් උඩ පන්දු රැක ගැනීමෙන් දැවී ගියේ ක්‍රිස් මොරිස්ගේ පන්දු හමුවේය.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස කොලින් මුන්රෝ (9) දැවී ගියේ පන්දු යැවූ කගීසෝ රබාඩා උඩ පන්දුවක් රැක ගැනීමෙනි.
හසීම් අම්ලා සමගින් එක්ව දකුණු අප්‍රිකානු ඉනිම ඇරැඹූ ක්වින්ටන් ඩි කොක්ට සාර්ථක ආරම්භයක් ලබා දීමට නොහැකි වුවත් අර්ධ ශතක ද්විත්වයක සබඳතා පවත්වමින් මුළු ලකුණු සංඛ්‍යාව 111 දක්වා ඉදිරියට ගෙන යෑමට අම්ලා සමත් විය.
නායක ෆෆ් ඩු ප්ලෙසි සමගින් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 50ක සබඳතාව ලකුණු 23ක් ලබාසිටි ඩු ප්ලේසි දැවී යෑමෙන් බිඳ වැටුණු අතර තෙවැනි කඩුල්ල ලෙස අම්ලා දැවී ගියේ ඒඩ්න් මාක්රම් සමගින් ලකුණු 52ක් එක් කිරීමෙන් අනතුරුවය. පන්දු 83කට මුහුණදුන් අම්ලා හතරේ පහර 4ක් සමගින් තිස්අටවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 55ක් රැස් කළේය.
අම්ලා දැවී යෑමෙන් පසු පිටියට පිවිසි රෙසී වැන් ඩර් ඩුසෙන් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදෙමින් නොදැවී ලකුණු 67 රැස් කළේය. හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිමට පන්දු 64ක් වැය විය. ඩුසේන් ඊයේ වාර්තා කළේ 6 වැනි එක්දින අර්ධ ශතකයයි. ඔහු, ඩේවිඩ් මිලර් සමග එක්ව පස්වැනි කඩුල්ලට ඉනිමේ ඉහළම සබඳතාව ලෙස පන්දු 74කින් ලකුණු 72ක් එක් කළේය. ඊට පෙර ඒඩ්න් මාක්රම් ලකුණු 38කට පිටියෙන් ඉවත් කිරීමට කොලින් ඩි ග්‍රැන්ඩෝම් සමත් විය.
හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් පන්දු 37කින් ලකුණු 36ක් ලබාසිටි මිලර්, ලොකී ෆර්ගියුසන්ගේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඇන්ඩිලි පෙලුක්වායෝ ද ලකුණු ලබාගැනීමට පෙර යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ෆර්ගියුසන්ට හැකිවිය.
පිටියේ හතරේ සීමාවෙන් එපිට පැවැති තෙත බරිත ස්වාභාවය හේතුවෙන් ඊයේ තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර එම හේතුවෙන් ඉනිමක් ඕවර 49කට සීමා කෙරිණි.
නව අදහස දක්වන්න