දකුණු ආසියාවට නව ආකාරයක ත්‍රස්ත තර්ජනයක් – නේපාල ආරක්‍ෂක ඇමති | දිනමිණ

දකුණු ආසියාවට නව ආකාරයක ත්‍රස්ත තර්ජනයක් – නේපාල ආරක්‍ෂක ඇමති

ශ්‍රී ලංකාවේ මෑතක දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවත් සමඟ දකුණු ආසියාව තුළට නව ආකරයක ත්‍රස්තවාදී තර්ජනයක් පැමිණ ඇති බවට ඉඟියක් සපයන බව නේපාලයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්වර් පොක්‍රල් මහතා කියා සිටියි.
 
‘මහජන ආරක්ෂාව පිළිබඳ සංවාද: ත්‍රස්තවාදයට එරෙහි වීම’ නැමැති සම්මන්ත්‍රණයක දේශනයකට කත්මණ්ඩු නුවර දී එක් වෙමින් පසුගියදා ඒ මහතා මේ බව සදහන් කළේය. එම සම්න්ත්‍රණය නේපාල හමුදාව විසින් සංවිධාන කර තිබුණි.
 
“ලෝකයේ බොහෝ ප්‍රදේශවල අහිංසක සිවිල් වැසියන්ට එරෙහි ත්‍රස්ත ප්‍රහාර අපි දැක ඇත්තෙමු. එම ප්‍රහාරවලින් අපි කනගාටු වෙමු. අපේ‍්‍රල් මාසයේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් දකුණු ආසියාව තුළ නව ආකාරයේ ත‍්‍රස්ත තර්ජනයක් පැමිණ ඇති බවට පැහැදිලි හා ප‍්‍රබල පණිවුඩයක් යවා තිබේ.“ යනුවෙන් ද ඔහු කියා සිටියේය.
 
මෙම සම්මන්ත්‍රණය සදහා නේපාලයේ අමාත්‍යවරු, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඉහළ හමුදා නිලධාරීන් පැමිණ තිබුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
 
අපේ‍්‍රල් මාසයේ දී, ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 250කට ආසන්න පිරිසකට දිවි අහිමි විය.
 

නව අදහස දක්වන්න