වැලිකන්දේ වන්දනාව! | දිනමිණ

වැලිකන්දේ වන්දනාව!

අපේ රියැදුරන් මොන ක්‍රමයකින් වුව හදන්න බැරි ජාතියක් යැයි සඳහන් කරමින් මේ තීරුව ආරම්භ කරන්නට කැමැත්තෙමු. ඔවුන් මාර්ග නීති පිළිපදින්නේ නැත. මාර්ග සංඥා ගණන් ගන්නේ නැත. ඉස්සරහින් එන වාහනයක්, පසුපසින් එන වාහනයක් හෝ කහ ඉරෙන් මාරුවන පදිකයකු හෝ ඔවුන්ගේ සැලැකිල්ලට පාත්‍ර වන්නේ නැත. රියැදුරන්ගේ මේ තියරිය කුමන ලෝකයකින් කඩා පාත් වූ එකක් දැ’යි සිතාගත නො හැකි ය. පුංචි ශ්‍රී ලංකාව තුළ දිනකට මාරාන්තික රිය අනතුරු අටක් පමණ සිදු වේ. අනතුරුවලට ප්‍රධාන හේතුව අපරීක්ෂාකාරී රිය පැදවීම බව ද හෙළිදරව් වී තිබේ. අපට හැ‍ඟෙන පරිදි මේ ව්‍යසනය වළක්වා ගත හැකි එක ම ක්‍රමය, රියැදුරන්ගේ ඔළු ගෙඩි හැදීම පමණි.

පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ දී පෙරේදා සිදු වූ රිය අනතුරකින් පස් දෙනෙක් එක තැන මිය ගියහ. දොළොස් දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. තුවාල ලැබූ අයගෙන් කී දෙනකු මිය පරලොව යත් ද; කී දෙනකු අබ්බගාත තත්ත්වයට පත් වෙත් ද යන්න නිශ්චය කළ නො හැකි ය. කෙනකු සදාකාලික අබ්බගාත තත්ත්වයකට පත් වුවහොත්, එය කෙතරම් අවාසනාවක් ද?මෙයින් අබ්බගාත තත්ත්වයට පත් වූ තැනැත්තා පමණක් නොව; ඔහුගේ පවුලේ උදවිය ද අමාරුවේ වැටෙති. රිය අනතුරක් පසුපස ඇති ඛේදවාචකය ගැන කියන්නට දන්නේ එම අත්දැකීමට මුහුණ දුන් අයකු පමණි. මෙබඳු අයගේ අත්දැකීම් සමාජගත කිරීම වැදගත් ය.

වැලිකන්දේ දී එකිනෙක ගැටී ඇත්තේ අත් ට්‍රැක්ටරයක් හා වෑන් රථයකි. දෙපිරිසම පොසොන් සිරිය නරඹා ආපසු නිවෙස් බලා යමින් සිටි වන්දනා නඩ බව සඳහන් ය. අත් ට්‍රැක්ටරයට ඉස්සර කිරීමට ගිය වෑන් රථය ට්‍රැක්ටරයේ ගැටී, එයත් ඇදගෙන මීටර් ගණනාවක් ඉදිරියට ගොස් ඇති බව ද වාර්තාවල සඳහන් ය. පිටුපසින් ගොස් වාහනයක ගැටීම කොයි අතින් බැලුවද වැරැද්දකි. අපරීක්ෂාකාරී ඉස්සර කිරීමක් නිසා මේ අනතුර සිදුවී ඇති බව ද, ප්‍රතිමුඛ මං තීරුවේ තමන් අභිමුවට තවත් වාහනයක් ධාවනය වෙමින් තිබියදී, වෑන් රථ රියැදුරා අත් ට්‍රැක්ටරයට ඉස්සර කරන්නට ගිය බව ද හෙළිදරව් වී ඇත. මේ හැ‍රෙන්නට අත් ට්‍රැක්ටරය ද ඊට ඔරොත්තු නො දෙන තරම් සෙනඟක් පටවාගෙන ගොස් ඇත.

අත් ට්‍රැක්ටරය ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා වුව, අද එය මගී ප්‍රවාහනයට යොමු කරගෙන ඇත. වන්දනාවේ යෑමට, වී පැටවීමට, එළවළු ප්‍රවාහනයට පමණක් නොව; මනමාලියන් කැඳවාගෙන ඒමට භාවිත කරන මංගල රථයක් හැටියට ද අත් ට්‍රැක්ටරය ප්‍රචලිත ය. අඩු වියදමකින් වැඩි ප්‍රයෝජනයක් ගත හැකි දුප්පතාගේ වාහනයක් ලෙස එය සැලැකිය හැකි ය. එහෙත් මෙහි ගමන අවදානම් සහගත ය. සමහරු අත් ට්‍රැක්ටරයේ ටේලරයට ඔරොත්තු නො දෙන තරම් බරක් ඊට පටවති. මේ අධික බර නිසා ටේලරය ගැලවී යන්නටත් පුළුවන. වැලිකන්දේ අනතුරට පත් වූ අත් ට්‍රැක්ටරයේ විසිතුන් දෙනකු ගමන් කර ඇති බවක් සඳහන් ය. ඒ අතර කුඩා දරුවන් සිටි බව ද වාර්තා වී ඇත. අනතුරෙන් ට්‍රැක්ටරයේ ගමන්ගත් පස් දෙනකු මිය යෑමට හේතුව, අධික සෙනඟ පැටවීම වන්නටත් පුළුවන. අත් ට්‍රැක්ටරයේ ගමන් යන අය පරෙස්සම් විය යුතු බව ඉන් කියැවෙයි.

ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලට ප්‍රධාන හේතුව අපරීක්ෂාකාරී ඉස්සර කිරීම බව සඳහන් වේ. වාහනයක් තවත් වාහනයකට ඉස්සර කිරීමේ දී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පිළිවෙතක් තිබේ. ඉදිරිය අපැහැදිලි නම්, ඉස්සර කිරීමට යන්න එපා යැයි උපදේශනයක් තිබුණ ද රියැදුරන් එය සැලැකිල්ලට ගන්නේ නැත. වංගුවල දී ඉස්සර කරති. කහ ඉරේ දී ඉස්සර කරති. ප්‍රතිමුඛ දිසාවෙන් ළඟ - ළඟම වාහන ඉදිරියට එද්දී ද, පටු මාර්ගවල දී ද ඉස්සර කරති. කානුවක වැටී හෝ අනෙක් රියට ඉස්සර කොට වෙට්ටුවක් දමා වේගයෙන් රිය ධාවනය කිරීමට අපේ රියැදුරෝ පුරුදු වී සිටිති. ජන වහරේ ඇති කියමනකින් හැඳින්වුවහොත් මේ වනා හි ‘මෝඩ චූන්’ එකකි. අපේ රියැදුරන්ගේ තරම - තිරම ඉහත සඳහන් ‘මෝඩ චූන්වලින්’ තක්සේරු කරගත හැකි ය.

අලුත් ම වාර්තාවකින් කියැවෙන්නේ, ගෙවී ගිය වසර දහය තුළ ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් විසිහත් දාහකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ය. මෙයින් සියයට හැත්තෑ තුනක් පිරිමි වෙති. එම පිරිසෙන් ද බහුතරය තරුණ අය වෙති. රිය අනතුරු රටට බලපාන බලවත් විපතක් බව මෙයින් පෙනී යයි. යුද්ධය පැවැති සමයේ ගැටුම්වලින් හා බෝම්බ අනතුරුවලින් මියගිය පිරිසට වැඩි පිරිසක් රිය අනතුරුවලින් මිය ගොස් ඇතැ’යි 2009 දී වාර්තාවක් පළවිය. ඊට පසු මහමඟ ත්‍රස්තවාදය නමින් රිය අනතුරු හඳුන්වන්නට පටන් ගත්තේ ය. තත්ත්වය කුමක් වුව, රිය අනතුරු අඩු වී ඇති බවක් පෙනෙන්නට නැත. ගිය වසරේ රිය අනතුරුවලින් මිය ගිය පිරිස තුන්දහස් එකසිය දහතුනක් ලෙස සටහන් වී ඇත.

රිය අනතුරු අවම කරගත හැක්කේ කෙසේ ද යන්න සංවාදයට ලක්විය යුතු කාරණයකි. වරෙක රථවාහන වැරැදිවලට දෙන දඬුවම් හා දඩ මුදල් වැඩි කළේ ය. තව වරෙක මංතීරු නීතිය ගෙන ආවේ ය. තවත් වරෙක බීමත් රියැදුරන් ඇල්ලුවේය. රථ වාහන වැරැදි ඇල්ලීම සඳහා මාර්ග සෝදිසිය ද නිරන්තරයෙන් ම සිදු වෙයි. එහෙත් මේ එකකින්වත් රිය අනතුරු අඩු වී නැති බව පෙනෙන්නට තිබේ. අපගේ පිළිගැනීමට අනුව නම්; වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ රියැදුරන් විනයගරුක හා නීති ගරුක පුද්ගලයන් බවට පත් කිරීම මීට ඇති එක ම විසැඳුම බව ය. ඒ සඳහා කුමන වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතු ද? යන්න, මේ විෂයයට අදාළ රාජ්‍ය ආයතන විසින් තීරණය කළ යුතුව තිබේ.

පොසොන් සමයේ වන්දනාවේ ගොස් මිනී පෙට්ටියකින් ආපසු ගෙදරට එන්නට සිදු වීම තුළ සටහන් වන්නේ බරපතළ ඛේදවාචකයකි. සිද්ධියෙන් එක ම පවුලේ හතර දෙනෙක් මිය ගොස් සිටිති. අදාළ පවුල ඉහත තත්ත්වය දරා ගන්නේ කෙසේ ද? යන්න ගැටලුවකි. වන්දනාවේ ගිය පිරිසගෙන් වැඩි කොටසක් අත් ට්‍රැක්ටරය තුළ නිදාගෙන සිටි බව ද කියති. එය අනතුරේ හානිය වැඩි කරන්නට හේතු වන්නට ඇත. වාහනයක් පදවන අය පමණක් නොව, වාහනයක ගමන් කරන අය ද සිහි නුවණින් පසුවීම වැදගත් බව මේ සිද්ධිය අපට නිරාවරණය කරයි.


නව අදහස දක්වන්න