ශ්‍රී ලංකාව එංගලන්ත පිල ලකුණු 300කට අඩුවෙන් දවා ගැනීමේ සැලසුමක | දිනමිණ

ශ්‍රී ලංකාව එංගලන්ත පිල ලකුණු 300කට අඩුවෙන් දවා ගැනීමේ සැලසුමක

ෆවුස් මොහොමඩ්

සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව අද (21) ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ජය ලැබීමට නම් ප්‍රතිවාදී ඉනිම ලකුණු 300ට අඩු ප්‍රමාණයකට සීමා කළ යුතු බව ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න කීවේය.

එංගලන්ත පිලේ සෑම පිතිකරුවකුම භයානක බව දිමුත්ගේ අදහසය. එහෙත් වෙන් වෙන් වශයෙන් පිතිකරුවන් සඳහා සැලසුම් සහගත ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් එංගලන්ත ඉනිම ලකුණු 300ට අඩු ප්‍රමාණයකට නිමා කිරිම තම අරමුණ බැව් ඊයේ හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් කීවේය.

‘එංගලන්ත පිලේ පිතිකරුවන් මෙල්ල කරගැනීමට අවශ්‍ය හැකියාව අපට තිබුණත් නැතත් තරගය ජයගැනිමට නම් ඔවුන් ලකුණු 300ට අඩුවෙන් තබාගත යුතු වෙනවා. අපට වෙනම සැලසුමක් තිබෙනවා. පසුගිය දින කිහිපයේ අප ඒ පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කළා.’ ඔහු පැවැසීය.

ලෝක කුසලාන තරගමාලාව පුරා මැදපෙළ පිතිකරුවන්ගේ අවාසනාව කරපින්නාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද එංගලන්ත පිලේ අභියෝගයට මුහුණ දෙන්නේ අවසන් පූර්ව වටයට යාමට ඉතිරිව ඇති අවසන් අවස්ථාව උරගා බැලීමේ අරමුණ ඇතිවය.

‘මැදපෙළ පිතිකරුවන්ට විශාල වගකීමක් තිබෙනවා. අප ඒ ගැන සාකච්ඡා කළා. ඔවුන්ගේ හැකියාව ගැන කිසිම ගැටලුවක් නෑ. පසුගිය කාලය තුළ ඔවුන්ගේ දස්කම් අප දුටුවා. නමුත් ඔවුන් මේ වනවිට පත්ව ඇති මානසික තත්ත්වය නැවත නිවැරදි කරගත යුතු වෙනවා. ඔවුන් මානසිකවයි සකස් කළ යුතු වන්නේ. මේ තරගමාලාවේ පසුගිය තරග ගැන කතා කිරිමෙන් වැඩක් නෑ. නමුත් අපි මැදපෙළ පිතිකරුවන් පසුගිය තරගවලදී පෙන්වූ දුර්වලතා නැවත නිරීක්ෂණයකට ලක් කළා. ඒ අනුව සිදුවිය යුතු දේවල් ගැන සාකච්ඡා කළා. මේ තරගයේ දී ඔවුන් නැවතත් සුපුරුදු දස්කම් අතරට එක්වනු ඇතැයි මම විශ්වාස කරනවා.’ දිමුත් කීවේය.

මෙවර තරගමාලාවේ සිය 6 වැනි තරගයට අද එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැවැති තරග 5ක් අතරින් වර්ෂාව නිසා විසඳුමකින් තොරව අත්හැර දමන ලද තරග 2 හැරුණු විට සෙසු තරග 3න් ජයගත්තේ එක් තරගයක් පමණි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ සටන මේ වනවිට ඉතා උණුසුම් වී ඇති හෙයින් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු රඳවා තබාගැනීමට නම් ඉතිරි තරග 4ම ජයගත යුතුව තිබේ. එසේ වුවත් ඉදිරියෙන් පසුවන නවසීලන්තය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඉතා ප්‍රබල තත්ත්වයක පසුවන බැවින් ලකුණු ලබාගැනීමේ දළ වේගය කෙරෙහි අවධානය යොමු කිරීමටත් ශ්‍රී ලංකා පිලට සිදුවනු ඇත.

අද තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල ඊයේ සවස්වරුව වනවිටත් තීරණය කර නොතිබුණු අතර තණතීරුව පරික්ෂා කිරීමෙන් පසුව අවසන් කණ්ඩායම නම් කරන බව ශ්‍රී ලංකා පිලේ නායකයා කීවේය.

‘එංගලන්ත පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙනවා. ඒ නිසා ඒ ගැනත් කල්පනා කරල පන්දු යැවීමේ සංයුතියයි අවසන් කණ්ඩායමයි තෝරාගන්න ඕනා.’ ඔහු පැවැසීය.

සිය නැන්දනියගේ දානමය පින්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව බලා ගිය ලසිත් මාලිංග නැවත කණ්ඩායමට එක්වී සිටින අතර ඔහු පෙරේදා සිට පුහුණුවීම්වල නිරතවිය.

‘මාලිංග දින තුනකට පෙර යළි කණ්ඩායමට එක්වුණා. ඔහුට තවත් දින දෙකක් පමණ ශ්‍රී ලංකාවේ රැඳී සිටිමට හැකිවුණත් ඔහු ඊට පෙර නැවත පැමිණියේ කණ්ඩායමේ අවශ්‍යතාව මතයි. අප එකතුවෙලා තරගය ගැන විශාල වශයෙන් සාකච්ඡා කළා. මැදපෙළ පිතිකරුවන්ගේ ගැටලුව ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මේ තරගය ජයගැනීමට හැකිවුවහොත් අපිට අවසන් පූර්ව වටයට යාමට හොඳ අවස්ථාවක් තිබෙනවා.’ දිමුත් කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී විශාල තර්ජනයක් වීමට හැකි බව ඊයේ මාධ්‍ය හමුවට පැමිණි එංගලන්ත පිලේ තුන්ඉරියව් ක්‍රීඩක මුයින් අලී කියා සිටියේය. ‘ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී ක්‍රීඩා කළ අයුරු අප දුටුවා. ඔවුන් නිසැකවම අපට දැඩි තර්ජනයක් වේවි. ඒ නිසා දැනට ඉදිරියෙන් සිටින කණ්ඩායම් හතරම අවසන් පූර්ව වටයට පැමිණේවි කියා හරියටම කියන්න බෑ. මොකද ශ්‍රී ලංකාව වගේම බංග්ලාදේශයත් හරි භයානක කණ්ඩායමක්.’ ඔහු කීවේය.


නව අදහස දක්වන්න