සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබාදීම එජාපයේ දර්ශනයයි | දිනමිණ

සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබාදීම එජාපයේ දර්ශනයයි

ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර
සන්ධ්‍යා කරුණාරත්න

සිංහල බෞද්ධ ජනතාවට සාධාරණය ඉටුකරන සේම අනෙකුත් සියලු ජාතින්ටද පුරවැසියන් ලෙස සමාන අයිතිවාසිකම් ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, මහනුවර සංවර්ධන, කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.

අතීත රජ දරුවන් පවා සුළු ජාතීන්ට සානුකම්පිත ලෙස සැළකු බවත් මහනුවර දිස්ත්‍රීක්කය තුළ කිසිඳු අන්තවාදයක් නොමැති බවත් සභානායකවරයා සඳහන් කෙළේය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ ඇමැති අබ්දුල් හලීම් මහතා සිදුකරන ලද ප්‍රකාශයට පසුව සිය අඳහස් ඉදිරිපත් කරමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවැසීය. අපේ හිතවත් හලීම් ඇමතිතුමාගේ ප්‍රකාශය ශක්තිමත් කරමින් මම ප්‍රකාශ කරන්න කැමතියි‍. විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු කන්ද උඩරට පළාත්වල සිටින මුස්ලිම් ජනතාවගේ මව්වරු සිංහල. ඔවුන් ලංකාවට එනවිට කාන්තාවන් රැගෙන ආවේ නැහැ. මම හිතන්නේ හලීම් මැතිතුමාටත් තිබෙන්නේ සිංහල වාසගමක් මුහන්දිරම්ලාගේ ගෙදර යනුවෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු අන්තවාදයක් නැහැ. මම කියන්න ඕන කවුද මුස්ලිම් ජනතාව නැගෙනහිර පළාතේ පදිංචි කරවූයේ කියලා. 16වන සියවසේ යුරෝපා ජාතින් අපේ රටට ආවා කුළුබඩු වෙළදාමට. මුස්ලිම් ජනතාව ආවෙත් කුළුබඩු වෙළඳාමට. මේ යුරෝපා ජාතින් මුස්ලිම් ජනතාව බේරුවල, පුත්තලම ආදි පළාත්වලින් එළෙව්වා. ඉන්පසු මුස්ලිම් ජනතාව මහනුවරට ආවා. මහනුවර සෙනරත් රජතුමා තමයි ඔවුන් නැගෙනහිර පළාතේ පදිංචි කරවූයේ. ඒ විතරක් නෙමෙයි යුරෝපීය ජාතින් සමඟ ගිවිසුමක් පවා අත්සන් කළා මුස්ලිම් ජතතාවගේ වෙළඳාම් කිරිමේ අයිතිය ශක්තිමත් කරලා.


නව අදහස දක්වන්න