එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමාගම 40වැනි සංවත්සරය සමරයි | දිනමිණ

එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමාගම 40වැනි සංවත්සරය සමරයි

එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටි ඇරව්වල මහතා හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන නිර්මලා ඇරව්වල, චරිතා ඇරව්වල, රවිශාන්ත් මදප්පුලි, සරත් මුණසිංහ හා සම්පත් ඒකනායක යන මහත්ම මහත්මීන්

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සම්මාන උළෙලේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමීන් ලෙස පිට පිටම දෙවැනි වරටත් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරය සිය 40වැනි සංවත්සරය සමරයි. ඒ අභිමානවත් සැමරුම අද (21) වෝටර්ස් ඒජ්හිදී ගාම්භීර ලෙස පැවැත්වීමට එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය සියලු කටයුතු සූදානම් කොට ඇත.

වසර 1979 දී පවුලේ ව්‍යාපාරයක් ලෙස ඇරැඹි එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි පුද්ගලික සමාගම පියවරෙන් පියවර ඉදිරියට ගොස් මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් බවට පත්ව සිටීම දේශීය ව්‍යාපාරික ප්‍රජාවට විශාල ආඩම්බරයක් ලෙස වසර 40ක් සපිරෙන මොහොතේ සටහන් කළ යුතුව ඇත. කුසලතාවෙන් පරිපූර්ණ හා පූර්ණ නිපුණතාවකින් යුතු සේවකයන් 1500ක් පමණ එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරයේ සේවය කරන අතර, සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටි ඇරව්වල මහතා ඉතාම ක්‍රමවත්ව මේ දේශීය ව්‍යාපාරයට නායකත්වය සපයමින් සිටී. එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ නිර්මලා ඇරව්වල, චරිතා ඇරව්වල, රවිශාන්ත් මදප්පුලි, සරත් මුණසිංහ හා සම්පත් ඒකනායක යන මහත්ම මහත්මීන් එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරයේ ගමන් මඟ වර්ණවත් කිරීමට වෙහෙසවී කටයුතු කරති.

ශ්‍රී ලාංකේය ජාතික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරන අධිවේගී මාර්ග ඉදිකිරීම, ගොඩනැගිලි නිර්මාණය, වාරිමාර්ග පද්ධති සංවර්ධනය, ජල සම්පාදන හා ජලාපවහන කටයුතු, රොන්මඩ ඉවත් කිරීම හා ගොඩකිරීම්, කසළ ජලය බැහැර කිරීම සහ ඉඩම් ජලාපවහන විධිමත් කිරීම ඇතුළු නවීන තාක්ෂණයෙන් යුත් ඉදිකිරීම් එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි පුද්ගලික සමාගම විසින් ඉටු කරමින් සිටී. එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය (Ministry of Mega Polish) ජාතික ජල සම්පාදන දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතනවලින් පවරන ලද මහා පරිමාණ ව්‍යාපෘති සාර්ථකව නිම කරමින් ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබාදෙමින් සිටී.

ශ්‍රී ලංකාවෙන් පිටත මාලදිවයිනේ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කොට ඉතා සාර්ථකව ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරය ගොඩ බිම ජය ගෙන දැන් අහස් කුස ජය ගැනීම බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවයක් ආරම්භ කරමින් ‘Seneca’ වර්ගයේ ගුවන් යානයක් ගුවන්ගත කිරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. විශිෂ්ටත්වය තහවුරු කරමින් එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි පුද්ගලික සමාගම නිමා කළ වැල්ලවත්තේ වැසි ජල කළමනාකරණ ව්‍යාපෘතිය (මැරීන් ඩ්‍රයිව්) හා සීදූව කටුනායක උඩුගම්පොල මාර්ග ව්‍යාපෘතිය අති සාර්ථකව නිමා කිරීම අගයනුවස් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ජාතික සම්මානයන්ට පාත්‍රවීම කළ මෙහෙවරට ලැබුණු එක් විශාලතම ඇගයීමකි.

සම්පූර්ණ ඉංජිනේරු තාක්ෂණ විසඳුම් ලබාදීමේදී එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ඉහළම තැන හිමිකරගෙන සිටින අතර ජාත්‍යන්තර තාක්ෂණය හඳුන්වාදීමේ දී පුරෝගාමීන් බවට පත්ව සිටී. නාය යෑම් හා ගල් කඳු කඩාවැටීම වළක්වාලීමට කොත්මලේගම, රම්බොඩ හා පිටවල ප්‍රදේශවලට හඳුන්වා දුන් බැමි කදිම උදාහරණ වේ.

විනයවත් පසුබිමක් තුළ විශාල පරිමාණයේ ඉදිකිරීම්, අදාළ නීති රෙගුලාසි යටතේ නිසි ලෙස කලට වේලාවට නිමකර දැවැන්ත අභියෝගයන් ජය ගැනීමට සමත්වීම හේතුවෙන් එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි පුද්ගලික සමාගම ජාත්‍යන්තර තත්ත්ව සහතික දිනාගත් මෙරට ජාතික තලයේ විශ්වාසවන්ත ඉදිකිරීමේ සමාගමක් බවට ගෙවුණු 40 වසරක ගමන් මඟේ දී ගොඩනැඟුණි.

මහාමාර්ග ඉදිකිරීමේ යටතේ ඉහළම ශ්‍රේණිය වන CIDA-CS2 යටතේ ශ්‍රේණිගතව ඇති එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි පුද්ගලික සමාගම, ISO 9001, ISO 14001 හා OHSAS 18001 වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිති සහතික මේ වසර 40ක ගමන් මඟේදී දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

දශක ගණනාවක, විශාල අත්දැකීම් හා පූර්ණ අවබෝධයක් මෙන්ම මනා දැක්මක් ඇති ව්‍යාපාරිකයකු වන එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටි ඇරව්වල මහතා පවසන්නේ මේ සියලු ජයග්‍රහණ තුළින් තම ආයතනයේ ස්ථාවරත්වය විදහාපාන බවය.

‘වසර 40ක ගමන් මඟ විශාල අභියෝගවලට මුහුණ දුන් අතීතයක්. ඒ සියලු අභියෝග ජය ගත්තේ අවංකත්වය හා කැපවීම මතයි. අපට පැවරෙන රාජකාරිය කලට වේලාවට අකුරටම ඉටු කිරීම ඉලක්කයයි. හැමවිටම කණ්ඩායමක් ලෙස සාමූහිකව අපේ සමාගම කටයුතු කරනවා. අපේ සියලුම නිලධාරීන් හා සේවකයන් සෑම ව්‍යාපෘතියක්ම සාර්ථකව නිමා කිරීමට ගෙවුණ සෑම නිමේෂයකම විශාල කැපවීමක් කරනවා. අප හැමවිටම සැලසුම් කරන්නේ ජාතික වැදගත්කමට මුල් තැනදී රටක් ලෙස ඉදිරියට යෑමට හැකි වන පරිදියි. අපගේ නිලධාරීන් හා සේවක මණ්ඩලය මේ 40 වැනි සංවත්සරයෙන් පසුව ඉදිරියේ දී තව තවත් නිර්මාණශීලීව ජාතික දියුණුව වෙනුවෙන් කැපවන බවට විශ්වාසයයි. සිංහ ධජයට මේ මහ පොළොවේ නිවැරැදි ගාම්භීරත්වයක් ලබාදීමට කැපවන සමාගමක් ලෙස අප කටයුතු කරනවා‘ එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටි ඇරව්වල මහතා පැවැසීය. එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරය තමන් උපයන මුදලින් කොටසක් සෑම වර්ෂයකම සමාජ සත්කාර කටයුතුවලට වැය කරන අතර පසුගිය වසරේ දී රුපියල් මිලියන පහක වියදමින් ‘සැමට සෙවණ‘ නිවාස ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රදානයක් කිරීම ද සමාජ වගකීමකට අතහිත දීමක් ලෙස කාගේත් ප්‍රශංසාවට ලක්ව ඇත. ගත වූ වසර 40ක කාලයේ දී මෙවැනි සමාජ සත්කාරයන් සඳහා මිලියන ගණන් එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි සමූහ ව්‍යාපාරය සමාජ සත්කාර කටයුතුවලට වැය කිරීම ද ප්‍රශංසාවෙන් සටහන් තැබිය යුතු කරුණකි.


නව අදහස දක්වන්න