අරාබි වසන්තයේ පැමිණි මොර්සිගේ අවසානය | දිනමිණ

අරාබි වසන්තයේ පැමිණි මොර්සිගේ අවසානය

ධම්මික සෙනෙවිරත්න

මුබාරක්ගේ පාලනයට එරෙහිව කැරැළි ගැසූ අය මොර්සිගේ පාලනයට එරෙහිවද කැරැළි ගැසුවේ සිය අභිලාෂයන් ඉටුකිරීමට ඔහු අසමත් වූ බව පවසමිනි. ඔහු විප්ලවයේ අපේක්ෂා සුන්කළ බව ඔවුහු කියා සිටියහ.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි ඔහුට එරෙහි නඩු විභාගයකට මුහුණදෙමින් සිටියදී අධිකරණ ශාලාව තුළදීම සිහිසුන්ව ඇද වැටීමෙන් පසු හදිසියේ මරණයට පත්විය. විනාඩි 20ක් පමණ එහිම තබාගෙන පමා වී රෝහල්ගත කිරීම ගැන බලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. ඔවුහු ඒවා ප්‍රතික්ෂේප කරන අතර මොර්සි මියගියේ කයිරෝ රෝහලේදී බව ප්‍රකාශ කරති. මිය යනවිට ඔහු 67 වැනි වියේ පසුවිය. මොර්සි ඊජිප්තුවේ බලයට පත්වන්නේ ද ඊජිප්තුවත් ඇතුළුව අරාබි රටවල් කිහිපයකට අමෙරිකාව හා බටහිර රටවල ආශිර්වාදය ඇතිව හමාගිය අරාබි වසන්තයට ගසාගෙන ආ නායකයකු ලෙසය. අරාබි වසන්තය එරට තුළ හමාගොස් වසරකට පසුව ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් පළමු ජනාධිපති ලෙස ඔහු පත්වන්නේ 2012 ජුනි මස හොස්නි මුබාරක්ගේ තිස් අවුරුදු පාලනය නිමා කරමිනි. අරාබි වසන්ත කැරැළිකරුවෝ හඬ නැඟුවේ තමන් ආඥාදායක පාලන තන්ත්‍ර පෙරළා දමමින් සිටින බවටය. මොර්සි මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රබලයෙකි. සිව් වසරක් සඳහා වරමක් ලැබුවද ඔහුගේ පාලනය වසරකට සීමා විය. මොර්සිට එරෙහිව වීදි අරගල ඇති වූ අතර එවක ආරක්ෂක ප්‍රධානියා වූ වත්මන් ජනාධිපති අබ්දෙල් ෆාටා අල්සිසීගේ නායකත්වය යටතේ දියත් වූ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහ කෙරිණි. ඒ, 2013 ජූලි මාසයේදීය. ඉන්පසු ඔහු පසුවූයේ එක්කෝ නිවාස අඩස්සියේ ය. නැතිනම් බන්ධනාගාරයේ ය. විරෝධතාකරුවන් මරාදැමීමට වරදකරු වීම නිසා මරණ දඬුවමද නියමව සිටි නමුත් පසුව එය ලිහිල් කර තිබිණි. ඔහුට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කිහිපයක්ම සිදුවිය.

මොර්සි අත්අඩංගුවේ සිටියදී මියයාම ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් ප්‍රකාශ කර තිබේ. ඊජිප්තු රජය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත්තේ එය මොර්සිගේ මරණය දේශපාලනීකරණය කිරීමක් ලෙස හඳුන්වමිනි. තුර්කි ජනාධිපති ටයිප් එර්ඩොගාන් ද හිටපු ඊජිප්තු ජනාධිපතිවරයාගේ මරණය පිළිබඳ පරීක්ෂණයක් කළයුතු බව කියා සිටී. රෝහල්ගත කිරීමට පමාවීමෙන් ඔහු මරාදමා ඇති බවක් පෙනෙන්නේ යැයි එර්ඩොගාන් පවසයි.

මාධ්‍යයෙන් අඩු තැනක්

මොර්සිගේ මරණය ගැන ඊජිප්තුවේ වත්මන් ජනාධිපතිවරයා නිල ප්‍රකාශයක් කර නැත. ලෝක ජනමාධ්‍ය ඔහුගේ මරණයට විශාල ප්‍රසිද්ධියක් දෙමින් වාර්තා කළ ද ඊජිප්තුවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඊට ලබා දී ඇත්තේ අවම අවධානයකි. රජයේ ප්‍රධානම නිල පුවත්පත වන අල් අහ්රම් පුවත්පත එය වාර්තා කළේ 4 වැනි පිටුවේ ප්‍රවෘත්තියක් ලෙසය. සෙසු පුවත්පත්වලටද එය මුල් පිටුවේ පුවතක් නොවී ය. එම බොහොමයක් වාර්තා වචන 42 කට සීමා වී තිබූ අතර ඔහුගේ මරණය ගැන සැකසූ නිවේදනයක් ලෙස පෙනිණි. ඒ කිසිවක ඔහු හිටපු ජනාධිපති හෝ බලයෙන් පහකළ ජනාධිපති වශයෙන්වත් හඳුන්වා දී නොතිබිණි. ඇතැම් මාධ්‍ය මේ වනවිට ඊජිප්තුවේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන ‘මුස්ලිම් සහෝදරත්වයට’ ඔහුට තිබූ සම්බන්ධය හුවා දක්වා තිබිණි.

අවමංගල්‍ය කටයුතු ද පවුලේ ඥාතීන්ට සීමාකර තිබූ අතර උදෑසනම සිදුකර ඇත. මාධ්‍යවේදීන්ට එය ආවරණයට අවසර නොලැබුණු අතර ජනතා සහභාගිත්වයක්ද නොවීය. ඉස්ලාම් චාරිත්‍රානුකූලව එම කටයුතු සිදුකළ බව ඔහුගේ පුත්‍රයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබිණි. ඊජිප්තුවේ වත්මන් පාලනය යටතේ ඉකුත් වසරේදී සයිබර් අවකාශයට හා තොරතුරු තාක්ෂණයටද අදාළ වන පරිදි අන්තවාදය හා ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ හඳුන්වාදුන් නව රෙගුලාසි මඟින් මාධ්‍ය වාරණයක් සිදුවන බවට චෝදනා එල්ල වෙමින් පවතී. වෙබ් අඩවි 500ක් පමණ අවහිර කර ඇතැයිද මාධ්‍යවේදීන්, පුරවැසි මාධ්‍යවේදීන් හා බ්ලොග් ලියන්නන් 35ක් පමණ අත්අඩංගුවේ සිටිතැයි ද පැවසේ. ආඥාදායක පාලනයක් නිමාකරමින් බලයට ආ බව පැවසූ මොර්සිගේ එක් අවුරුදු පාලනය යටතේද ඊජිප්තු මාධ්‍යට “නිදහසක්” තිබුණේ නැත.

ගත වූ සය වසරක කාල සීමාව තුළ වැඩි කලක් බන්ධනාගාරගතව සිටි මොර්සිගේ රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර නොලැබුණු බවට විවේචන එල්ල වී තිබිණි. ඔහු හිංසනයට ලක් කර ඇති බවටද චෝදනා එල්ල විය. ඔහුට එරෙහි චෝදනා දේශපාලන අභිලාෂ සහිත වූ ඒවා බවට ඔහුගේ ආධාරකරුවෝ කියා සිටියහ.

මොහොමඩ් මොර්සි උසස් අධ්‍යාපනයක් ලැබූවෙකි. ඉංජිනේරුවකු වන ඔහු ආචාර්ය උපාධිය ලබා ඇත්තේ අමෙරිකාවෙනි. එමෙන්ම ඔහු මේ වනවිට රටවල් ගණනාවක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තහනම් කර ඇති ‘මුස්ලිම් සහෝදරත්වයේ’ ප්‍රබලයෙක්ද විය. එම දර්ශනය දැඩිව පැට වූ බවටද ඔහුගේ පාලනයට එරෙහිව නැඟුණු චෝදනාවකි. ඒ අර්ථයෙන් ඔහු ද දැඩි අධිකාරිවාදී පාලකයකු වූ බවට විවේචන පළ විය. මානව හිමිකම් තොරතුරු පිළිබඳ අරාබියානු ජාලය නම් මානව හිමිකම් සංවිධානය පවසන පරිදි මොර්සි බලයේ සිටි එක් වසරක කාල සීමාවේ සිදු වූ මාධ්‍යට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම් හොස්නි මුබාරක්ගේ තිස් අවුරුදු පාලනයට වඩා සිව් ගුණයකි. එමෙන්ම එය අන්වර් සදාත් ගේ එකොළොස් අවුරුදු පාලනය හා සසඳනවිට විසිහතර ගුණයකි. ඊජිප්තුවේ පළමු වතාවට ෂියා මුස්ලිම්වරුන්ට එරෙහි සංහාරයක් පිළිබඳ වාර්තා වූයේ ද මොර්සිගේ එක් අවුරුදු පාලන සමයේදීය.

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වුවද පාලනය ප්‍රජාතන්ත්‍රවාදී නොවීමේ ප්‍රතිඵලය වූයේ ඉතා ඉක්මනින්ම මොර්සිට එරෙහිව මිලියන සංඛ්‍යාත ජනයා වීදි බැසීමය. එම අරගල මර්දනය කිරීමට යාමත් සමඟ තත්ත්වය තවත් බරපතළ විය. ආරක්ෂක ඇමැතිවරයාගේ නියෝගයකට අනුව ජනාධිපති මොර්සි අත්අඩංගුවට ගන්නා ලද අතර හමුදාව බලය සියතට ගත්තේ ය. නව ජනාධිපති වශයෙන් පත් වූ හමුදා ප්‍රධානී අල්සිසී 2014 දී මැතිවරණයක් ද පැවැත්වීය. ඉන් බලයට පත්වූයේ ද ඔහුමය. දීර්ඝ කාලයක් බලයේ සිටීමට හැකිවන පරිදි ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කරගෙන ඇති බවට ද අල්සිසීට චෝදනා එල්ල වේ.

“මුස්ලිම් සහෝදරත්වය” ඊජිප්තුවේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වූයේ නව රජය බලයට පත්වීමෙන් පසුවය. එහෙත් ඒ වනවිටත් එය සවුදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තහනම් කර තිබිණි. රුසියාව සහ සිරියාව එය තහනම් කර තිබුණේ ඊටත් කලිනි. කෙසේ වුවද අරාබි වසන්තයෙන් පසු පිහිටුවනු ලැබූ මොර්සිගේ දැඩි ඉස්ලාම්වාදී රජයට අමෙරිකා ජනාධිපති ඔබාමාගේ පාලන තන්ත්‍රය ප්‍රබලව සහාය දැක්වීය. ඊජිප්තු ජනයාට එරෙහි අභිලාෂයක් තිබූ රජයකට සහය හා අනුබල දීම ගැන අමෙරිකාව සම්බන්ධයෙන් ඔවුන්ට විවේචනයක් තිබිණි. මොර්සිට එරෙහි වීදි අරගලවලදී එයද කළඑළි බැස්සේ ය. ඊජිප්තුවේ අමෙරිකා තානාපතිනි ඈන් පීටර්සන්ට රටින් පිටවීමට තරම් එම වි‍රෝධතා බලවත් විණි.

බිඳ වැටුණ අපේක්ෂා

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි “මුස්ලිම් සහෝදරත්වය” යනු අමෙරිකාව තමන්ට අභිමත නොවන පාලන තන්ත්‍ර පෙරළා දැමීමට (රෙජීම් චේන්ජ්) භාවිත කළ උපකරණයකි. ඊජිප්තු‍ව, ටියුනීසියාව, ලිබියාව හා සිරියාවේ ගැසූ වසන්ත කැරැළි මෙහෙයවූයේ එය විසින් වන අතර මේ ක්‍රියාදාමය උපායමාර්ගිකව අතිශයින් වැරැදි සහගත මෙන්ම නිවැරදි නොවන විශ්ලේෂණ මත පදනම් වූවක් බව වැඩිකල් නොගිසින්ම සනාථ විය. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් මොර්සිගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට බොහෝ දුරින් තිබීමෙන් පිළිබිඹු වූයේද එයයි. ආර්ථික වශයෙන් ඊජිප්තුව ඔසොවාතැබීමටද ඔහුගේ පාලනය අසමත් විය. මුබාරක්ගේ පාලනයට එරෙහිව කැරැළි ගැසූ අය මොර්සිගේ පාලනයට එරෙහිවද කැරැළි ගැසුවේ සිය අභිලාෂයන් ඉටුකිරීමට ඔහු අසමත් වූ බව පවසමිනි. ඔහු විප්ලවයේ අපේක්ෂා සුන්කළ බව ඔවුහු කියා සිටියහ. මොර්සි බලයට ගෙන ඒමට අනුබල දුන් අමෙරිකාව ඔහු බලයෙන් නෙරපා හැර පිහිටවූ හමුදා රජය ද වර්ණනා කළේ ය. එවක රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටියේ හමුදාව ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කර ඇති බවය.

හොස්නි මුබාරක්ට පෙර බලයේ සිටි ජනාධිපති අන්වර් සදාත් 1981 ඔක්තෝබර් 6 වැනිදා ඝාතනය කෙරුණේ ඊජිප්තු හමුදා සූවස් ඇළ තරණය කිරීමේ විජයග්‍රහණ සමරු පෙළපාලිය නරඹමින් සිටින අතරය. ඛලීඩ් ඉස්ලාම්බුලී නම් හමුදා නිලධාරියා විසින් මෙහෙය වූ “ඊජිප්තු ඉස්ලාම් ජිහාඩ්” නම් කල්ලියක් එම ඝාතනය සිදු කළේ ය. ඉස්ලාම්බුල් ද ඊට එක්ව සිටි අතර එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන පසුව මරා දැමිණි. කෑම්ප් ඩේජඩ් සම්මුතියට එළැඹීම නිමිත්තෙන් 1978 දී නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේද අන්වර් සදාත්ට හා ඊශ්‍රායල් අගමැති මෙනචිම් බෙගම් ට ය. සදාත් ඝාතනයේදී එවක උප ජනාධිපති මෙන්ම සදාත්ගේ අනුප්‍රාප්තිකයා වූ හොස්නි මුබාරක් ද තුවාල ලැබීය. මේජර් ජනරාල් හසන් අලාම්, ඊජිප්තුවේ කියුබානු තානාපතිවරයා ඇතුළු තවත් 10 දෙනකු ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූහ. සදාත් මිහිදන් කෙරුණේ නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකයේ ය. තමා මිය ගිය පසු ගමට ගෙනගොස් මිහිදන් කරන්නැයි මොර්සි ඉල්ලා තිබූ බව පැවසුණද එම ඉල්ලීමට ඉඩ නොලැබිණි. සදාත්ගේ සොහාන් ගැබේ “යුද්ධයේ මෙන්ම සාමයේද වීරයා” යනුවෙන් සඳහන්ව ඇත. මොර්සි ගැන කවර හැඳින්වීමක් කෙරෙනු ඇතිද යන්න තබා ස්මාරකයක් ඉදිවේද යන්න පවා සැක සහිතය. ඔහුගේ අනුගාමිකයන්, සංකේතාත්මක අවමඟුලක් සිදුකළ බව නම් වාර්තා විය.

නව අදහස දක්වන්න