මං පොත­ටම ඇලුණේ නෑ | දිනමිණ


 

මං පොත­ටම ඇලුණේ නෑ

 

ඉදි කිරීම් අංශයට අදාළ නව නිර්මාණ අගයමින්,ඒ සඳහා පුද්ගලයන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව, Construction of Industry Solutions (COINS) ආයතනය වාර්ෂිකව සංවිධානය කරන තරගය සඳහා,ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උපාධි අපේක්ෂක අංශයෙන් තරග වැදුණු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධි අපේක්ෂිකා චතුරංගි එදුස්සූරිය, එම අංශයේ ප්‍රථම ස්ථානය දින ගත්තා ය. එයට අමතරව, තරගයට ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතරින් හොඳ ම  ආයෝජනයට හිමි සම්මානය දිනා ගත්තේ ද ඇය ය.

 

 

 

 ඔබ පාසල් අධ්‍යාපනය ලැබුවේ?‍

අපි පදිංචි වළල මැණික්හින්න ප්‍රදේශයේයි. මුලින් ම මම ගියේ පාතදුම්බර මහ විදුහලට. ශිෂ්‍යත්ව විභාගය ලකුණු 154 ක් අරගෙන සමත් වෙලා මම මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලට ඇතුළු වුණා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යනතුරු එහි අධ්‍යාපනය ලැබුවා.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල කොහොමද?

සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සමාර්ථ 09 ක් ගත්තා. උසස් පෙළ විභාගයේදී ඒ සමාර්ථ දෙකක් හා බී සමාර්ථයක් ලබාගෙන විශ්වවිද්‍යාලයට තේරුණා.

ඔබ විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ කුමන අංශයෙන්ද?

මම පරිගණක ඉංජිනේරු අංශයේ අවසන් වසරේ දැන් අධ්‍යාපනය ලබන්නේ. පළමු වසර තුළ සියලු අංශ සම්බන්ධව මූලික අධ්‍යාපනයක් අපට ලැබෙනවා. ඉන් පසුව එක් අංශකින් විශේෂ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්.

ඔබේ නිර්මාණය පිළිබඳ යම් සඳහනක් කරනවා නම්?

මෙය, ඉදිකිරීම් අංශයට ඉතා වැදගත් වන නිර්මාණයක්. මේ වනවිට ලෝකයේ සෑම රටක්ම එම රටවල මාර්ග පද්ධති වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. දැන් ඉදිවන බොහෝ මාර්ග අධි වේගි ඒවා. පාරක් හදන කොට, පස් සාම්පල් පරීක්ෂා කිරීම ඉතා වැදගත්. මගේ නිර්මාණය මඟින්, පස් සාම්පල් විද්‍යාගාරයට ගෙනියන්නේ නැතිව, ඒවායේ සංඝටකවල තත්ත්වය හා ස්වභාවය පිළිබඳ අදාළ ස්ථානයේදීම දත්ත විශ්ලේෂණයක් කළ හැකියි. මම කළේ, ඒ සඳහා වන පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කිරීමයි.

මේ සම්බන්ධව වැඩිදුර පැහැදිලි කිරීමක් කරනවා නම්?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපාධි අපේක්ෂක ජනක ප්‍රියන්ත වික්‍රමසූරිය මහතා මහචාර්ය එස්.ඩී.එස් අබේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් භූමිවල ඇති පස් විශ්ලේෂණය කිරීම සම්බන්ධ පරීක්ණයක් කළා. මෙහිදී පසෙහි ප්‍රතිරෝධතාව ඇතුළු කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කෙරෙනවා. පසෙහි ඇති ප්‍රතිරෝධතාව හා තෙතමනය ඇතුළු වෙනත් කාරණා අතර අන්තර් සම්බන්ධතාවක් තිබෙනවා. මම කළේ එම පරීක්ෂණය මූලික කර ගනිමින්, පසෙහි ප්‍රතිරෝධතාව මැන ගැනීම සඳහා වෙනම ඩිවයිස් එකක් නිර්මාණය කිරීමයි.

මේ මඟින් ලැබෙන ප්‍රයෝජනය පිළිබඳ යමක් සඳහන් කරනවා නම්?

අද වනවිට ලෝකය පුරා ඉදිකිරීම් කෙරෙනවා. භූමිය මත කෙරෙන මේ ඉදිකිරීම්වලට පසේ තත්ත්වය ප්‍රබලව බලපානවා. මේ නිසා, ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ කිරීමෙන් පසුව තමයි යම් ඉදි කිරීමක් කරන්නේ. ප්‍රධාන මර්ගයක් ඉදි කිරීමේදී පස් සාම්පල දහස් ගණනක් පරීක්ෂාවට ලක් කරනවා. අදාළ ස්ථානයේ ඇති පස් තලා මාර්ගය ඉදි කරනවාද? නැත්නම් වෙනත් ස්ථානයකින් පස් ගෙනවිත් දමනවාද? යන්න තීරණය කෙරෙන්නේ පස් සාම්පල පරික්ෂා කිරීමෙන් පසුවයි. විද්‍යාගාරයකට ගෙන ගොස් පස් සාම්පල පරීක්ෂා කිරීමට අති විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම, ලොකු කාලයක් ගත වෙනවා. මේ කටයුත්ත පහසුවෙන් කර ගැනීමට හැකි වීම, ඉදිකිරීම් ක්ෂේත්‍රය ලද විශාල ජයග්‍රහණයක්. ඒ නිසා තමයි මට මේ ජාත්‍යන්තර සම්මානය ලැබුණේ. මම නිර්මාණය කළ මෘදුකාංගය මඟින්, පස් විශ්ලේෂණ වාර්තාව අන්තර් ජාලය ඔස්සේ ජංගම දුරකතනයකට වුණත් ගන්න පුළුවන්.

මේ තරගයට ඉල්ලුම් කළේ කොහොමද?

ඉංජිනේරු පීඨයේ පවත්වන නව නිර්මාණය තරගයකදී මේ නිර්මාණයට ප්‍රථම ස්ථානය හිමි වුණා. ඊට පස්සේ මධුෂාන් සහෝදරයා තමයි කිව්වේ ඉදිකිරීම් අංශයේ ප්‍රගමනයට හේතුවන නව නිර්මාණ අගයන ජත්‍යන්තර තරගයක් තියෙනවා, ඒකට අයඳුම් කරන්න කියලා. ඒ තමයි අන්තර්ජාලය ඔස්සේ මගේ නිර්මාණය ඉදිරිපත් කළේ.

මේ නිර්මාණය කරන්න කොපමණ කාලයක් ගියාද?

මූලික සැකැස්ම හදන්න සත දෙකක පමණ කාලයක් ගත වුණා. සොෆ්ට් වෙයාර් හා හාර්ඩ් වෙයාර් වැඩවලදී මගේ විශ්වවිද්‍යාල සහෝදරයන් වන මධුෂාන් සුභාෂ්, කසුන් විතානගේ, නාමිලා බණ්ඩාර, රසික මධුරංග විශාල ලෙස උදවු කළා. ඒ වගේම, පරිගණක දෙපාර්තුමේන්තුවේ හිටපු අංශ ප්‍රධාන ආචාර්ය ධම්මික ඇල්කඩුව හා වත්මන් ප්‍රධානී ආචාර්ය කමලනාත් සමරකෝන් යන ගුරුවරුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල කැපවීම, මේ ජයග්‍රහණය පසුපස තිබෙනවා.

මේ තරගය මොන වගේ එකක්ද?

ලෝක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන විශිෂ්ටතම නිර්මාණය ඉදිරිපත් කරන්නා තමයි මෙහිදී තෝරා ගන්නේ. විවෘත හා උපාධි අපේක්ෂක ලෙස අංශ දෙකක් යටතේ මේ තරගය පැවැත් වෙනවා. කාලය, ශ්‍රමය, ධනය ඉතිරි කර ගනිමින්, ඉහළ ගණයේ ඉදිකිරීමක් කරන්න, අදාළ නිමැයුම ප්‍රයෝජනවත් වේද යන කාරණය මෙහිදී සලකා බැලෙනවා. මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීමේදී, පස් සාම්පල පරීක්ෂාව අද අත්‍යවශ්‍ය කාරණයක්. මේ නිසා, මගේ නිර්මාණයෙහි කාලෝචිත බවත් මෙහිදී සැලකීමට භාජනය වුණා.

මේ සඳහා රටවල් කීයක් පමණ ඉදිරිපත්ව සිටියාද?

විවිධ රටවලින් අයඳුම්කරුවන් දහසක් පමණ තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. මගේ නිර්මාණය අවසන් නිර්මාණ හය අතරට තේරී තිබෙන බව මට ඊ-මේල් ඔස්සේ දැනුම් දී තිබුණා. අමෙරිකාව, චීනය, ඉන්දියාව හා එංගලන්තය නියෝජනය කළ අයගේ නිර්මණ තමයි අවසන් හය අතර තිබුණේ. අවසන් හය අතරට තේරුණු අයට සංවිධායකයන්, ගුවන් ටිකට් පත් සමඟ නේවාසික පහසුකම් ලබා දුන්නා.

ඔබේ නිර්මාණය පිළිබඳ විනිශ්චය මණ්ඩලය හමුවේ ඉදිරිපත් කිරීමක් කරන්න ඕන නේද?

ලොව පිළිගත් මහචාර්යවරුන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයන් 12 දෙනකු අවසන් වටයේදී අප සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවා. ඔවුන් දෙදෙනා බැගින් අවස්ථා හයකදී අපට කතා කරනවා. ඒක, විනිශ්චය මණ්ඩල හයක් කීවොත් නිවැරැදියි. එක් අවස්ථාවකදී විනාඩි හයක කාලයක් ලබා දෙනවා. එම කාලය තුළ ඔවුන්ගේ හරස් ප්‍රශ්නවලටත් පිළිතුරු දෙමින් නිර්මාණය පිළිබඳ පැහැදිලි කළ යුතුයි. මුල් දෙදෙනා සම්මුඛ පරීක්ෂණයට ලක් කළ සැණින්, ඊ ළඟ දෙදෙනා ළඟට යා යුතුයි. ඒක හරියට සංගීත පුටු තරගයක් වගේ. එකිනෙකට වෙනස් පැතිකඩ ඔස්සේ ඔවුන් එක දිගට ප්‍රශ්න කරනවා.

ඔබ ජයග්‍රහණය කර තිබෙන බව දැන ගත්තේ කොහොමද?

මේ වෙනුවෙන් ලොකු උත්සවයක් සංවිධානය කර තිබුණා. අවසානය වෙනතුරු කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා නිර්මාණ ඉදිරිපත් කළ කවුරුවත්ම දැනගෙන හිටියේ නැහැ. උපාධි අපේක්ෂ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ඇති බවට මගේ නම නිවේදනය කරන විට, මට අදහා ගන්න බැරි වුණා. තාමත් මට මේ දේ හීනයක් වගේ. මෙයට අමතරව හොඳ ම ආයෝජනයට හිමි සම්මානය මට ලැබුණා. මේ සම්මානය මෙපමණ කාලයක් ලැබී තිබුණේ විවෘත අංශයෙන් ඉදිරිපත් වූ අයකුටයි. ප්‍රථම වතාවට තමයි උපාධි අපේක්ෂකයකුට මේ සම්මානය ලැබුණේ. මගේ නිර්මාණයෙහි ඇති විශිෂ්ට බව වගේම, කාලෝචිත බවත් මෙහිදී සැලකිල්ලට ගත් බව සංවිධායකයන් ප්‍රකාශ කළා. මේ නිර්මාණය අනාගතයේ ලෝක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල වෙනසකට හේතු විය හැකි නිර්මාණයක් බව ඔවුන් පැවසුවා.

අධ්‍යාපන අංශයට අමතරව, භාහිර ක්‍රියාකාරකම්වලටත් ඔබ යොමුව තිබෙනවාද?

විශ්වවිද්‍යාලයේ රොට්රැක් එකට සම්බන්ධ වෙලා මම සමාජ සේවා කටයුතුවලට දායක වෙනවා. මම එහි ලේකම්. අපි එහිදී විශේෂයෙන් වකුගඩු රෝගීන්ට උපකාර කරන වැඩසටහන් කරනවා.

තරුණ පරපුරට අවවාදයක් විධිහට යමක් කියනවා නම්?

මම පොතේම ඇලිලා හිටියේ නැහැ. සිංදු අහනවා. හොඳ චිත්‍රපට බලනවා. මම මේ තරගය පිළිබඳ දැන ගත්තේ මගේ මිතුරෙකු මගින්. අන්තර්ජාලයට ඔවුන් සියලු විස්තර යොමු කර තිබුණා. අන්තර්ජාලය තුළ අපට ඉදිරියට යන්න, සිතාගත නොහැකි තරම් අවස්ථා තිබෙනවා. අපේ නංගිලා, මල්ලිලා අන්තර් ජාලය පාවිච්චි කරන්නේබොහෝ වෙලාවට අනවශ්‍යය දේට කියන චෝදනාව එල්ල වෙනවා.මම හිතන්නේ ඒ චෝදනාවේ වරදක් නැහැ. අපට පුළුවන් අන්තර්ජාලය යහපත් විධිහට භාවිත කරන්න. අපි බොහෝ වෙලාවට යොමු වෙන්නේ, මෙහි ඇති නරක පැත්තට. හොඳ පැත්තට ගියොත්, දැනුම ඇතුළු බොහෝ දේ ලබාගෙන, දියුණු වන ලෝකය හා බද්ධ වෙන්න ඕනෑම අයකුට පුළුවන්.ෆේස් බුක් එකට එහා ගිය බොහෝ දේ අන්තර් ජාලය තුළ තිබෙනවා. ඒත්, බොහෝ අය දන්නේ ෆේස් බුක් ගැන විතරයි.

අනාගත බලාපොරොත්තු මොනවාද?

වැඩිදුර ඉගෙන ගැනීම තමයි මගේ අපේක්ෂාව. ගෙදරින් ඒ සඳහා උපරිම සහයෝගය ලැබෙනවා. මගේ නිර්මාණය මඟින් මේ රට ප්‍රයෝජන ගන්නවා දකින්න, මම හරි ම කැමැත්තෙන් ඉන්නේ.

ඔබේ පවුලේ විස්තර සඳහන් කරනවා නම්?

මගේ අම්මා, තාත්තා දෙන්නම පාසල් ගුරුවරු. තාත්තා නිහාල් එදුස්සූරිය. දැන් විශ්‍රාමිකයි. අම්මා කල්‍යානි බස්නායක. ඇය තාමත් ගුරු වෘත්තියේ නිරතව සිටිනවා. අක්කා වෘත්තියෙන් ඉංජිනේරුවරියක්. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෙමිකල් ඉංජිනියරින් කරලා දැන් පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා.

 

 

සාකච්ඡා කළේ

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න