ආර්ථිකය කොයි පාරේ! | දිනමිණ


 

ආර්ථිකය කොයි පාරේ!

අනාගතය පුරෝකථනය කරන බොහෝ දෙනකුගේ මතය වන්නේ, සංවර්ධනය පිළිබඳ නව ප්‍රවේශයක් රටට අවශ්‍ය බව ය. අඩු - වැඩි වශයෙන් ඉතිහාසයේ සෑම යුගයකම මේ සංවාදය පැවැති බවට සාක්ෂි තිබේ. එහෙත්, වචනවලින් පමණක් මහපොළොව සාරවත් වන්නේ නැත. වචනවලින් පමණක් මිනිසුන්ගේ පසුම්බියට කාසි වැටෙන ක්‍රමවේද උපදින්නේ ද නැත. ඒ සඳහා ක්‍රියාකාරී වැඩසටහන් තිබිය යුතු ය. ඒවාට රාජ්‍ය අනුග්‍රහය හා නායකයන්ගේ සහයෝගය පැවැතිය යුතු ය. අවම වශයෙන් නායකයන්ට ඒවා ගැන උනන්දුවක් ඇතිවීම පවා වෙනසකට මඟ පාදයි. අපේ රට තුළ ද එබඳු වෙනසක් ඇතිවෙමින් පවතී. එය දැකගත හැක්කේ, සංවර්ධන ක්ෂේත්‍රය නිරීක්ෂණය කරන කෙනකුට ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී කියා සිටියේ, පාරිසරික සංරක්ෂණය සඳහා ගෙන ඇති පියවර කිසි ලෙසකින් හෝ වෙනස් නොකරන බව ය. ජනාධිපතිවරයාගේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ, පරිසර සංරක්ෂණයට ප්‍රමුඛ තැන ලබා දෙමින් ය. වැලි ජාවාරම, පස් ජාවාරම, ගල් ජාවාරම, පාතාලය විසින් මෙහෙයවනු ලබන බව ද; කුමන බාධා එල්ල වුව ද එය මුළුමනින්ම නවත්වන බව ද, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. අලුත් නීතියට අනුව, ගංගාධාරය ගස්වලින් සමන්විත විය යුතු ය. තොටුපළවලට වාහන ගමන් කිරීමට ඉඩ නොලැබේ. අපේ ගංගාධාර වැලි ජාවාරම්කරුවන් විසින් විනාශ කරනු ලැබේ.

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා මෑතකදී අපූරු ප්‍රකාශයක් නිකුත් කළේ ය. එහි සඳහන් වූයේ, චීනය නව තාක්ෂණය ඔස්සේ විශාල ලෙස ඉදිරි පිම්මක් පැන්නේ වුව, ඒ සමඟම චීනයට අහිමි වූ දේ රැසක් ද ඇති බව ය. චීනය ලොව දෙවැනි ශක්තිමත් ආර්ථිකය සහිත රාජ්‍යය වේ. ඉදිරි දශක දෙක තුළ චීනය අමෙරිකාව පරයා ආර්ථිකය අතින් පෙරමුණට එන බව ද පුරෝකථනය වී ඇත. එහෙත්, මේ දියුණුවත් සමඟ චීනයේ පැවැති පාරිසරික සංරක්ෂණය ගිළිහී ගොස් ඇත. ගල් අඟුරු ආකර හේතුවෙන් චීනයේ ජනාවාස කිහිපයක් ගිලා බැස්සේ ය. වායු දූෂණය අධික ලෙස පවතින නගර හා පළාත් ගණනාවක් චීනයේ පවතී. චීන නායකයන් පෙන්වා දෙන්නේ, මේවා වෙනස් නොකළහොත්, ඔවුන් ලබා ගන්නා සංවර්ධනය ඵල රහිත බව ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉහත කාරණයට අදාළ වැදගත් නිදර්ශකයක් පෙන්වා දුන්නේ ය. එනම්; සිදුවන පරිසර විනාශය මේ අයුරින්ම සිදු වුවහොත්, තවත් අවුරුදු විස්සකින් ශ්‍රී ලාංකික මිනිසුන්ට කඩෙන් ඔක්සිජන් මිලට ගැනීමට සිදුවන බව ය. ලෝකයේ නගර කිහිපයක ජීවත් විය යුත්තේ ඔක්සිජන් බෝතල් මිලට ගෙන, ඒවා පාවිච්චි කරමින් ය. ඓතිහාසික සෙංකඩගල නුවර හෙවත් මහනුවර ප්‍රදේශයේ වායු දූෂණය, ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන බව, පසුගියදා වාර්තා විය. මෙහිලා අමතක නොකළ යුතු කාරණය වන්නේ, මීට දශකයකට පෙරත් මහනුවර පැවැතියේ රටේ පිරිසුදු ම හා සුන්දර ම නගරය හැටියට වීම ය.

සංවර්ධනය යනු, වනාන්තර ශුද්ධ කර, හැම බිම් අඟලකම කර්මාන්ත ඉදිකිරීම නොවේ. සංවර්ධනය යනු කුඹුරු ගොඩ කර, ඒවා මත හෝටල් ඉදිකිරීම ද නොවේ. සංවර්ධනය යනු මිනිසාට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය ස්වාභාවික සම්පත් ද ඉතිරිකර ගනිමින් කරන ඉපැයීම් යැයි කිව හැකි ය. ඊ ළඟට සංවර්ධනය ජන සමාජයට දරාගත හැකි එකක් ද විය යුතු ය. මෙයින් අදහස් කැරෙන්නේ අප නැවත ගල් යුගයට යා යුතු බව නොවේ. ඉදිකිරීම් සඳහා වැලි අවශ්‍ය වේ. ඉදිකිරීම් සඳහා ගල් හා පස් ද අවශ්‍ය වේ. ඒවා මේ මහපොළොවෙන් ලබාගත යුතු ය. එය කළ යුත්තේ, කළමනාකරණයක් ඇතිව ය. ගස් කපන තරමට වඩා ගස් වවන්නට වැඩසටහන් තිබිය යුතු ය.

ජනාධිපතිවරයා පරිසරය කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර, අගමැතිවරයා නව වෙළෙඳ පොළ ජය ගැනීම සඳහා තවත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරයි. එයින් දැවැන්තම වැඩසටහන වන්නේ, ආයෝජන කලාප ඉදිකිරීම ය. වැඩසටහනෙහි සමස්ත ඉලක්කය වන්නේ, ආයෝජන කලාප 50ක් රට පුරා ඉදිකිරීම ය. බියගම හා කටුනායක ආයෝජන කලාප නොවන්නට රටේ ජාතික ආර්ථිකය මීට වඩා වෙනස් ස්වරූපයක් ගන්නට ඉඩ තිබිණි. අපේ තරුණ පරම්පරාවේ රැකියා ගැටලුව ජාතික අර්බුදයක් බවට පත්වන්නට ද ඉඩ තිබිණි. ආයෝජන කලාප ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරිගාමී වෙනසකට මුල පිරූ ප්‍රමුඛ වැඩටසහන වෙයි. මේ නිසා, රටේ ආර්ථිකයේ පැවැති උදාසීනතාව මැකී ගොස්, තරුණ පරපුරට රැකියා ලැබෙන්නටත්; ආයෝජකයන්ට නව කාර්මික නිෂ්පාදන අත්හදා බලන්නට අවස්ථාව උදා වන්නටත්, පටන් ගත්තේ ය.

වත්මන් ආණ්ඩුවේ එක් ජනතා පොරොන්දුවක් වූයේ තරුණ පරපුරට රැකියා දසලක්ෂයක් යන්න ය. ඊට අදාළ වැඩසටහන් තිබුණ ද, ඒවා නිසිලෙස ක්‍රියාත්මක වීමට ඉඩක් නොතිබිණි. ස්වාභාවික විපත්, දේශපාලන අර්බුද හා පාස්කු ප්‍රහාරයත් එය අඩාළ කළේ ය. එහෙත්, ආණ්ඩුව යළිත් පීල්ලට වැටී ඇත. නායකයෝ දෙදෙනා වැඩසටහන් නිරීක්ෂණය කරමින් ද, තවත් ඒවා විවෘත කරමින් ද රට වටා යති. එය සාධනීය ලක්ෂණයකි. ගිය සති අන්තයේ ජනාධිපතිවරයා සිටියේ පොළොන්නරුවේ ය. අගමැතිවරයා සිටියේ මොනරාගල ය. මේ දිස්ත්‍රික්ක දෙක ම දුෂ්කර කලාප ලෙස හැඳින්විය හැකි ය. සංවර්ධනය ආරම්භ විය යුත්තේ පුංචි තැන්වලින් යැයි ආර්ථික විශේෂඥ ආචාර්ය ඊ.එෆ්.ෂූ මාකාර් කියා තිබේ. වත්මන් ආණ්ඩුව එය අත්හදා බලන බව පෙනෙන්නට තිබේ.

රට වේගවත් සංවර්ධනයක් වෙත ගෙන යාම සඳහා 6%කට වැඩි වාර්ෂික ආර්ථික වෘද්ධියක් සටහන් කර ගත යුතු ය. ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් හයදහස දක්වා වත් වැඩිකර ගතයුතු ය. මේවා ජය ගැනීම සඳහා නව ආර්ථික උපාය මාර්ග අවශ්‍ය වේ. එලෙසම, විදේශීය ආ‍යෝජකයන්ගේ පැමිණීම ද අවශ්‍ය වේ. විදෙස් ආයෝජනවලින් තොර වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කිරීම අපහසු ය. වත්මන් ආණ්ඩුව මේ සියල්ල මැනවින් වටහාගෙන, ආර්ථිකය හසුරුවන බව පෙනේ. පවතින දේශපාලන කඹ ඇදිලි නවත්වා ගතහොත්, කෙටි කාලයක් තුළ අපේ ආර්ථික ඉලක්ක ජය ගැනීම අපහසු නැත.

නව අදහස දක්වන්න