තියුණු සටනකින් කොදෙව්වන් පරදවා නවසීලන්තය යළිත් පෙරමුණට | දිනමිණ


 

තියුණු සටනකින් කොදෙව්වන් පරදවා නවසීලන්තය යළිත් පෙරමුණට

කාලෝස් බ්‍රැත්වේට්ගේ සටන්කාමී ඉනිම අපතේ යමින් නවසීලන්තය සමග පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් ලකුණු 5ක පරාජයක් විද ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිලට සිදුවිය.

මේ ජය සමගින් යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්වූයේ තරග 6කින් 5ක් ජය ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙසිනි. ඔවුන්ට අමතරව තවමත් අපරාජිතයන් ලෙස සිටින්නේ ඉන්දියාව පමණි. නවසීලන්තයේ එක් තරගයක් වර්ෂාවට සේදී ගොස් තිබිණි.

ලකුණු 291ක ඉලක්කය හඹා ගිය කොදෙව් ඉනිමේ ලකුණු 20ක් තුළ මුල් කඩුලු 2 බිඳ වැටුණු අතර අනතුරුව ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් සමග එක්වූ ෂිම්රොන් හෙට්මේර් තෙවැනි කඩුල්ලට ලකුණු 122ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 142ක දක්වා ඉදිරියට ගෙන ගියේය. හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් පන්දු 45කින් ලකුණු 54ක් ලබාසිටි හෙට්මේර් තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ක්‍රිස් ගේල් ගේ ඉනිම ලකුණු 87කට සීමා විය. හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් එක්වූ ඉනිමට පන්දු 84ක් වැයවී තිබිණි. ලකුණු 164කට කඩුලු 7ක් අහිමිව තිබියදී සටන අත්නොහැරි කාලෝස් බ්‍රැත්වේට් අවසන් පිතිකරුවන් තිදෙනා සමගින් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 286 දක්වා ඉදිරියට ගෙන ගියේය. ඉනිම නිමාවීමට ඕවරයක් තිබියදී බ්‍රැත්වේට් දැවී යෑමෙන් කොදෙව්වන්ට ජය අහිමිවී ගියේය. පන්දු 82කට මුහුණදුන් ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 101ක් රැස් කළේය.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලකුණු නොලබා දැවී යෑමෙන් පසුව පිටියේ එක්වූ නායක කේන් විලියම්සන් සහ රොස් ටේලර් ලකුණු 160ක සබඳතාවක් ගොඩනගමින් ඉනිම ස්ථාවර මට්ටමකට රැගෙන ගියහ. හතරේ පහර 7ක් සමගින් පන්දු 95කින් ලකුණු 69ක් ලබාසිටි ටේලර් දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණි. මෙවර තරගාවලියේ පිට පිට දෙවැනි ශතකය වාර්තා කළ විලියම්සන් 5 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු 148ක් රැස්කර තිබිණි. පන්දු 154ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. එය ඔහුගේ 13 වැනි එක්දින ශතකයයි. නවසීලන්තයේ ඊළඟ තරගය 26 වැනිදා පාකිස්තානය සමගින් පැවැත්වෙයි.

 

නව අදහස දක්වන්න