මොහොමඩ් ෂාමිගෙන් කඩුලු ත්‍රිත්වයක් | දිනමිණ


 

මොහොමඩ් ෂාමිගෙන් කඩුලු ත්‍රිත්වයක්

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කළ මොහොමඩ් ෂාමි ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 11ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

සවුත්හැම්ටන් හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ ලකුණු 224කට සීමා කිරීමට සමත්වූ ඇෆ්ගනිස්තානයට එම ඉලක්කය හමුවේ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 213ක් පමණි.

තරග 5කට සහභාගිවූ ඉන්දියාව අත්කරගත් සිවුවැනි ජය මෙය වන අතර මේ සමගින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඔවුන්ට හැකිවිය. (එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණි.)

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්තානයට අත්වු 6 වැනි පරාජය මෙයයි.

ලකුණු 225ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන ඉනිමේ 6 වැනි පිතිකරු ලෙස පිටියට පිවිස හුදෙකලා සටනක නිරතවූ මොහම්මඩ් නබි 8 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 12ක් පමණි. සිය 14 වැනි එක්දින අර්ධ ශතකය රැස්කළ නබි පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි.

ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුල්ල බිඳ දැමූ මොහොමඩ් ෂාමි, ඉනිමේ අවසන් ඕවරයේ තෙවැනි පන්දුවෙන් ඉනිමේ සාර්ථකම පිතිකරු වූ මොහම්මඩ් නබි (52) දවා ගැනීමට සමත්වූයේ හර්දික් පාන්ඩ්‍යා උඩ පන්දුවක් රැක ගැනීමෙනි. අනතුරුව ක්‍රියාත්මක කළ පන්දු දෙකෙන් අෆ්තාබ් අලාම් සහ මුජීබ් උර් රහ්මාන් ගේ කඩුලු බිද දමමින් ත්‍රිත්ව කඩුලු වාර්තාවකට හිමිකම් කීමට ෂාමිට හැකිවිය.

ෂාමි ඕවර 9.5කදී නිලකුණු ඕවරයක්ද සමග ලකුණු 40කට කඩුලු 4ක් දවාගත් අතර ජස්ප්‍රීට් බුම්රා, යුස්වේන්ද්‍ර චාහල් සහ හර්දික් පාන්ඩ්‍යා කඩුලු 2ක බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියාවු නායක විරාට් කෝලි ලකුණු 67ක් රැස්කළේ හතරේ පහර 5ක් සමගින් පන්දු 63කිනි. කේදාර් ජාදෙව් පන්දු 68කින් ලකුණු 52ක් ඉනිමට එක් කළේය. ඉන්දියාව සහභාගීවන ඊළඟ තරගය මේ 27 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිල සමගින් මැන්චෙස්ටර් හිදී පැවැත්වේ.

නව අදහස දක්වන්න