ඔලිම්පික් සැමරුම් උළෙලට මාතර පුරවරය සූදානම් | දිනමිණ


 

ඔලිම්පික් සැමරුම් උළෙලට මාතර පුරවරය සූදානම්

ප්‍රින්ස් ගුණසේකර

දකුණු ලක මාතර පුරවරය මේ 25වැනිදා පැවැත්වෙන ඔලිම්පික් දින සැමරුම් උළෙලට සූදානම් වෙයි. ජාතික ඔලිම්පික් කමිටුව වාර්ෂිකව සංවිධාන කරන මේ සැමරුම් උළෙල පොල්හේන වෙරළ තීරයේ හා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සංවිධාන වී ඇත.

මෙවර ඔලිම්පික් දින සැමරුම් උළෙලේ විශේෂත්වය වන්නේ පරිසර සුරක්ෂතභාවය වෙනුවෙන් වෙනම විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධාන කිරීමය. ඒ අනුව පොල්හේන වෙරළ තීරය පිරිසිදු කිරීම හා විනාශ වෙමින් පවතින කොරල්පර ආරක්ෂාකර ගැනීම උදෙසා ස්ථීර වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම කෙරේ. වසර තුනක් දක්වා කොරල්පර ආරක්ෂාකර ගැනීමට අඛණ්ඩ වැඩ පිළිවෙළක් ආරම්භවන අතර කොරල්පර සංරක්ෂණය හා සමුද්‍ර ජීවය පිළිබඳ තොරතුරු කේන්ද්‍රයක් ආරම්භ කිරීමට ද ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු යොදා ඇත. මේ සඳහා නාවික හමුදාව ඇතුළු සංවිධාන ගණනාවක සහයෝගය ලැබෙනු ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය.

පාසල් සිසුන් දහසකගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන ඔලිම්පික් ධාවනය, කළාපයේ සිසුන් 50ක සහභාගීත්වයෙන් ඔලිම්පික් වටිනාකම් තේමාව මුල්කරගත් චිත්‍ර තරගය ඇතුළු වැඩසටහන් රැසක් මෙදින පැවැත්වේ.

ඔලිම්පික් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා එක්වන අතර ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය දිනාගත් ඔලිම්පික් රිදී පදක්කම ද සමග සහභාගී වේ. මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ජයසිංහ මහත්මිය දිනාගත් ඔලිම්පික් රිදී පදක්කම සියැසින් දැක ගැනීමට අවස්ථා සැලසීම එමගින් අරමුණු කෙරේ.

නව අදහස දක්වන්න