දේශීය හස්ත කර්මාන්ත රටේ අන­න්‍ය­තාව රැක­ගෙන යන ශිල්ප­යක් | දිනමිණ


 

දේශීය හස්ත කර්මාන්ත රටේ අන­න්‍ය­තාව රැක­ගෙන යන ශිල්ප­යක්

 
ජාතික මෝස්තර මධ්‍ය­ස්ථා­න­යෙන් පුහු­ණුව හැදෑරූ ශිල්පීන්ට උප­ක­රණ

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ශිල්ප සවිය වැඩසටහන ජාතික ශිල්ප සභාවේ වත්මන් සභාපති හේෂානි සතිෂ් බෝගොල්ලාගම මහත්මියගේ සංකල්පයෙන් යුක්තව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක කෙරේ. සබරගමුව පළාතේ ශිල්ප සංවර්ධන සමිති, ශිල්පීය පුහුණු මධ්‍යස්ථාන හා ගුරු ශිල්පි පුහුණු වැඩසටහන්වලින් පුහුණුව හැදෑරූ කාර්මික ශිල්පීන්ගේ නිර්මාණ මේ අලෙවිසලෙන් දේශීය විදේශීය පාරිභෝගික ජනතාවට ඉතාම සහන මිලකට තත්ත්වයෙන් උසස් ගුණාත්මක අත්කම් නිෂ්පාදන නිෂ්පාදකයාගෙන්ම මිලදී ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

දේශීය හස්ත කර්මාන්තකරුවාගේ තම වෙළෙඳ පොළ සන්නාමයන්, වෙළෙඳ පොළට හදුන්වා දීමටත්, දෙස් විදෙස් වෙළෙඳ පොළට පහසුවෙන් ළඟා කර ගැනීමටත්, ව්‍යවසායකත්ව දැනුම ලබාගෙන යහපත් වූ ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ පලපුරුදු ක්‍රියාශීලී ව්‍යවසායකයකු බිහි කිරීම මේ ශිල්ප සවිය අලෙවිසල් මඟින් බලාපොරොත්තු වේ. ජාතික ශිල්ප සභාව මේ ශිල්ප සවිය අත්කම් අලෙවිසල සඳහා රුපියල් මිලියන 5.2ක් වැය කර ඇත.

‘අප අමාත්‍යාංශය රටේ ජන ජීවිතයට සෘජුවම සම්බන්ධ අමාත්‍යාංශයක්. ආයතන 43ක් අතරින් මා වැඩියෙන්ම සම්බන්ධ වන ආයතනය කුමක්ද කියලා විමසුවොත් එය ජාතික ශිල්ප සභාවයි. ඒකට හේතුව වැඩිපුරම අඩත්තේට්ටම්වලට ලක්වන පාරම්පරික ශිල්පීන් ඉන්නේ මේ ජාතික ශිල්ප සභාව යටතේ වීමයි. විජය කුමාරයා ශ්‍රී ලංකාවට එනකොට අපි කපු ඇදුම් ඇදපු ජාතියක්. ඒකනේ කුවේණිය කපු කටිමින් හිටියේ. අපි සභ්‍යත්වයකින් ශිෂ්ටත්වයකින් පිරිපුන් ජාතියක්. ඒ නිසා දේශීය හස්ත කර්මාන්ත රටේ අනන්‍යතාව රැකගෙන යන ශිල්පයක් බව කර්මාන්ත හා වානිජ කටයුතු ඇමැති (වැඩ බලන) බුද්ධික පතිරණ මහතා පසුගිය දා කෑගල්ල මොලගොඩ මැටි පුහුණු මධ්‍යස්ථානයේ ශිල්ප සවිය අත්කම් අලෙවිසල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

‘අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට තිබෙන විශාලතම ගැටලුව තමයි අලෙවිකරණය. මේ ශිල්ප සවිය වැඩසටහන ජාතික ශිල්ප සභාව හරහා දියත් කළේ මෙයට විසඳුමක් හැටියටයි. ශිල්ප සවිය ව්‍යාපෘතිය දියත් කළේ තමන්ගේ නිර්මාණ අතරමැදියන්ගෙන් තොරව සෘජු ලෙස පාරිභෝගිකයාට විකිණීමෙන් ලැබිය හැකි උපරිම මිල තමන්ගේ අතටම ලබාගත හැකි වන ලෙසටයි. විෂය භාර ඇමැති (වැඩ බලන) බුද්ධික පතිරණ මහතා ජාතික ශිල්ප සභාවට ලබාදෙන නායකත්වය හා සහයෝගයට කෘතඥතාව පළ කිරීමට ද මා මේ අවස්ථවේ අවස්ථාවක් කර ගන්නවා. යනුවෙන් ජාතික ශිල්ප සභාවේ වත්මන් සභාපති හේෂානි සතිෂ් බෝගොල්ලාගම මහත්මිය ප්‍රකාශ කළාය.

මෙදින ජාතික ශිල්ප සභාවෙන් හා ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙන් පුහුණුව හැදෑරූ ශිල්පීන් වෙත තම කර්මාන්ත කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීමක් ද බුද්ධික පතිරණ මහතා අතින් සිදු විය. මේ විවෘත කිරීමේ උත්සව අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමදාස, ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සභික නීතිඥ නලින් හපුගොඩ, කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හා නාගරික මන්ත්‍රීවරුන්, ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂ චන්ද්‍රමාලි ලියනගේ, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, රඹුක්කන ප්‍රාදේශීය ලේකම්, සබරගමුව පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර ලේකම් ප්‍රගීත් ධනන්සූරිය මහතා ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරි මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

මදාරා මුදලිගේ

 

නව අදහස දක්වන්න