ලංගම වර්ජනයෙන් ටිකට් ජාවාරම එළියට | දිනමිණ


 

ලංගම වර්ජනයෙන් ටිකට් ජාවාරම එළියට

හොර මැෂිමෙන් ලක්ෂ ගාණක් ගහලා

ගාල්ල ලංගම ඩිපෝවෙන් ටිකට් මැෂිමක් සොරකම් කර මඟීන්ට හොර ටිකට්පත් නිකුත් කොට රුපියල් ලක්ෂ ගණනක් වංචා කරන ලද බස් කොන්දොස්තරවරයකු පෙරේදා (22) අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ලේ සිට වඳුරඹ හරහා තලාව දක්වා ධාවනය වන බස් රථයේ සේවය කරන ලද ගාලු ඩිපෝවේ කොන්දොස්තරවරයෙකි. පසුගිය වසරේ ජුනි මාසයේ මෙම ට්කට් මැෂිම සොරකම් කර ඇති බවත් එදා සිට අද දක්වා කාලය ඇතුළත කොන්දොස්තරවරන් කිහිප දෙනෙකු අතරේ මෙම ටිකට් මැෂිම හුවමාරු කරගනිමින් නියම ටිකට්පත් අතරට ව්‍යාජ ටිකට් පත් ද නිකුත් කොට වංචාව සිදුකර ඇති බවත් වැඩි පුරාම ව්‍යාජ ටිකට් පත් නිකුත්කර ඇත්තේ දුර ගමන් සේවා මඟීන්ට බවත් පොලිසිය පවසයි. වංචාව හෙළිකර ගැනිමට හැකිවි ඇත්තේ පසුගිය 12 වන දින ලංගම සේවකයන් පිරිසක් විසින් පවත්වන ලද වැඩ වර්ජන අවස්ථාවේදීය.

සියලුම මැෂින් එකම දිනයක ඩිපෝවට එකතුවන්නේ නැති නමුත් වැඩ වර්ජනයට සහභාගිවු කොන්දොස්තරවරුන් සියලු දෙනා එදින ටිකට් මැෂින් ඩිපෝවට බාරදි ඇත. එහෙත් මෙම මැෂිම බාරදි නැතිව බව පරිගණක ක්‍රියාකරු විසින් අනාවරණ කරගෙන තිබේ. ඒ අනුව ඩිපෝවේ නිලධාරින් කණ්ඩායමක්ද සමඟ ගිය පොලිසිය බස් රථයේ දී ම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. එම බස් රථයේ මඟීන්ට ද ව්‍යාජ ටිකට් පත් නිකුත් කර තිබු බව පැවසේ. සැකකාර කොන්දොස්තරවරයා ඊයේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

ගාල්ල දිසා විශේෂ/ අහංගම සමූහ

නව අදහස දක්වන්න