මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණයට ආරක්ෂක අංශ ඉටුකරන විශිෂ්ට සේවාව ජනපති පැසසුමට | දිනමිණ


 

මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණයට ආරක්ෂක අංශ ඉටුකරන විශිෂ්ට සේවාව ජනපති පැසසුමට

ජාතික ව්‍යසනයක්ව පවතින නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉටුකරන විශිෂ්ට සේවාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගැයීමට ලක් වෙයි.

ත්‍රිකුණාමල නාවික හා සාගරික විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) පස්වරුවේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා විසින් මෙසේ ඇගයීමට ලක්කළේය.

රටේ ආර්ථික සංවර්ධනය සේම යහපත් විනයගරුක සමාජයක් ගොඩනැගීමට සහ සෞඛ්‍යසම්පන්න ජනතාවක් බිහිකිරීමේ දී ත්‍රිවිධ හමුදාව ලබාදෙන පුළුල් දායකත්වය ද මෙහිදී ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් කෙරිණි.පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ඉටුකළ අනුපමේය මෙහෙවර ද ජනාධිපතිතුමාගේ සුවිශේෂී සැපයුමට ලක් විය.

අනභිභවනීය ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශිෂ්ට ගමන්මඟ ද මෙහිදී අභිමානයෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා, එම ගමන් මගේ දී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ සියලු විරුවන් කෘතවේදීව සිහිපත් කළේය.

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 32 (තාක්ෂණික) සහ 33 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය සහ 59 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම්වලට අයත් මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය අධිකාරියට පත් කර ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු ඔවුන් විසිර ගිය අතර, පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ට දක්ෂතා දැක්වූ නිලධාරීන්ට විශේෂ සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය අවුරුදු කිහිපය පුරාවට ඉතා කැපවීමෙන් අවසන් කළ දුෂ්කර වූ පුහුණුව තුළින් ලබාගත් ශාරීරික හා මානසික ධෛර්යය මාතෘ භූමියේ උන්නතිය සහ නාවික හමුදාවේ අභිවෘද්ධිය උදෙසා ලබාදීමට විසිර යන සියලු නිලධාරීන් කටයුතු කරනු ඇති බවයි. තම දරුවන් මාතෘභූමිය රැකගැනීම වෙනුවෙන් නාවික හමුදාව වෙත දායාද කර දුන් මාපියන්ට ද තම ස්තූතිය පුද කළ ජනාධිපතිතුමා විසිර ගිය තරුණ නිලධාරීන්ට සිය ශුභාශිංසන පළ කළේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නැගෙනහිර නාවික ප්‍රදේශ භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද විසිර ගිය නිලධාරීන්ගේ මාපියන් ඇතුළු පිරිසක් මෙම උළෙලට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න