අද රටට මානව දයාව අවශ්‍යම යුගයක් | දිනමිණ


 

අද රටට මානව දයාව අවශ්‍යම යුගයක්

ජනාධිපති ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න

‘පනහ දශකයේ ශ්‍රී ලංකාවේ ගෙන ගිය සමාජ සංස්කෘතික අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් එදා විද්‍යාලංකාර නමින් බිහිවූ කැලණිය විශ්වවිද්‍යාලයේ හැට වසරක පුනරාවලෝකනයේදී දේශීය සංස්කෘතියේ අනන්‍යතාව රැකගනිමින් දේශයට අවශ්‍ය උගතුන් බිහිකර තිබෙන්නේ යයි ජනාධිපති ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ කැලණිය විශ්වවිද්‍යාලයට 60 වසරේ සපිරීම නිමිත්තෙන් පසුගියදා (17) කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේ පැවැති සමාරම්භක උත්සවයේදීය.

කැලණිය විශ්වවිද්‍යාලය සහ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය එකතුව සංවිධාන කළ මෙම ‘විදුලකර පුනරාවලෝකන‘ උළෙල ආරම්භ කිරීමට ප්‍රථම උපකුලපති නියෝජ්‍ය උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු, කථිකාචාර්යවරු, ආචාර්යවරු පෙරටු කොට ගෙන ආදී විද්‍යාර්ථීන් උපහාර පෙරහැරකින් ගමන් අරඹා ආදි කතෘ රත්මලානේ ධර්මාලෝක මාහිමි ප්‍රතිමාවට මල් දමක් පැලඳවීය.

සභාව පංචශීලයෙහි පිහිටුවීම හා උත්සව මාලාව ආරම්භ වන බව නිල වශයෙන් දැනුම් දීම කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමියන් සිදුකළහ.

මෙම උත්සවයේදී තවදුරටත් කථා කළ ජනාධිපති ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න මහතා,

අද අප රටට සංහිඳියාව සහජීවනය අවශ්‍ය යුගයක්. මානව දයාව, සංවේදිතාව අවශ්‍යම යුගයක්. එහිදී විශ්වවිද්‍යාලයෙන් බිහිවන උගතා රටේ ජාතික අවශ්‍යතාවට ගැළපෙන අයුරින් අලුතෙන් යමක් හිතන යමක් කළහැකි නිර්මාණශීලී උගතකු විය යුතුයි. එපමණක් නොව දේශීය සංස්කෘතික අනන්‍යතාව රැකගනිමින් දේශයේ ඉදිරි ගමනට දායකත්වයක් ලබා දෙන උගතුන් විය යුතුයි.

හැටේ දශකයේ සමාජ සංස්කෘතික අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් බිහිවූ එදා විද්‍යාලංකාර විද්‍යෝදය පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත්කර ගැනීම ප්‍රතිඵලයක් වශයෙන් එක්තරා පිරිසකට පමණක් සීමා වූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගම්බද දරු දැරියන්ටද විවෘත වුණා.

කැලණිය විශ්වවිද්‍යාලයේ හැට වසරක ගමන්මග ආවර්ජනය කරන මොහොතේ එදා මෙම විශ්වවිද්‍යාලය බිහි කළ නිර්මාතෘවරුන්ගේ බලාපොරොත්තු බොහොමයක් සපුරමින් විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය ඔසවා තැබීමට ආදි විද්‍යාර්ථීන් කටයුතු කිරීම ගැන ආදි විද්‍යාර්ථියෙකු වශයෙන් තමාද සතුටු වන්නේ යයි ඒ මහතා මෙහිදී අවසන් වශයෙන් කියා සිටියේය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, පනහ දශකය තුළ පාලනයේත් භාෂා ශාස්ත්‍රයේත් සංස්කෘතියේත් සිදුවූ පරිවර්තන මුල්කරගෙන ප්‍රධාන පිරිවෙන් දෙකක් වූ විද්‍යාලංකාර විද්‍යෝදය විශ්වවිද්‍යාල බවට පත් වීම සමඟ ගම්බද දරුවන්ටද විශ්වවිද්‍යාල දොරටු විවෘත වුණා. එදා ආදි කර්තෘවරු බලාපො‍රොත්තු වූ ලෙස සිය සංස්කෘතික අනන්‍යතාව රැකගෙන ඉදිරියට ගමන් කරමින් දෙස් විදෙස් ගෞරවයට පාත්‍රවූ උගතුන් රැසක් බිහිකර තිබීම සතුටක්.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩී.එම්.සේමසිංහ මහතා,

අරගලයෙන් බිහිවූ කැලණිය විශ්වවිද්‍යාලය හැට වසරකදී රටට අවශ්‍ය උගතුන් හැට දහසක් පමණ බිහිකර තිබෙනවා. ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ආර්ථික අපහසුතා ඇති විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ඉදිරිපත්වීම කෘතගුණ සැලකීමක්. අද වන විට කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරියටම ගමන් කරන ජාතික විශ්වවිද්‍යාලයක්.

සභාව පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම හැටවන සංවත්සර කමිටු සභා‍පති මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා විසින්ද ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කාර්යභාරය හඳුන්වාදීම ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ‍ගෝඨාභය ජයරත්න මහතා සිදුකරන ලදී.

විශේෂ දේශනය, විද්‍යාලංකාර සම්ප්‍රදාය හා කැලණිය විශ්වවිද්‍යාලය යන තේමාව යටතේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිදු කළේය.

ස්තුති කථාව ලේඛකාධිකාරී ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා සිදු කළේය. මෙහිදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති රාජා පේමදාස මහතාද ලේකම් ආචාර්ය නදීෂා ගුණවර්ධන මහත්මියද කථා කළෝය. මෙහිදී ‘විද්‍යා නිධාන’ සංවත්සරික ශාස්ත්‍රීය සංග්‍රහයද එළි දැක්විණි. වෙබ් අඩවියක්ද උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, නියෝජ්‍ය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරු විසින් එළිදැක්විණී. මෙදින පස්වරු 6.00ට සමස්ත රටට සෙත්පතා පහන් පූජාවක් ද පැවැත්විණි.

උඩුගම්පොළ සමූහ

නව අදහස දක්වන්න