වැලි-ගල්-පස් ව්‍යාපාරවල අක්‍රමිකතා මඬින නීති රැසක් හඳුන්වා දුන්නා | දිනමිණ


 

වැලි-ගල්-පස් ව්‍යාපාරවල අක්‍රමිකතා මඬින නීති රැසක් හඳුන්වා දුන්නා

රක්ෂණ ශ්‍රියන්ත

පරිසරය වෙනුවෙන් ගත් තීන්දු ආපසු හරවන්නේ නෑ

‘හරිත වැලි තොටුපොළ‘ හඳුන්වාදීමේ වැඩසටහනේ දී ජනපති කියයි

වැලි, ගල් සහ පස් මේ රටේ අන්ත දූෂිත ව්‍යාපාර වන අතර, ඒවායේ සිදුවන අක්‍රමිකතා මැඬලීම වෙනුවෙන් නීති රීති රැසක් තමන් පසුගිය සිවු වසර තුළ හඳුන්වා දුන් බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කුමන විවේචන එල්ල වුව ද පරිසරය වෙනුවෙන් ගත් තීන්දු තීරණ කිසිසේත් ආපසු නොහරවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ හරිත වැලි තොටුපොළ සංකල්පය හඳුන්වාදීම පිළිබඳව පෙරේදා (22) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවැති වැඩසටහන අමතමිනි.

භූවිද්‍යා පතල් කාර්යාශය, ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගම එක්ව මේ වැඩසටහන පැවැත්විනි.

හරිත වැලි තොටුපොළ සංකල්පය යටතේ ගංඟාවත්, ගං ඉවුර අවට පරිසරයත් සුරක්ෂිත කෙරේ. මේ ක්‍රමය අනුව ගංඟාවේ සිට ගං ඉවුරේ අඩි 10ක පමණ ප්‍රදේශයක් හරිත කලාපය ලෙස නම් කරන අතර, එය වන රෝපණයකින් සමන්විත වේ. ඒ හරහා වැලි තොටුපොළට ගමන් කරන අඩි 3ක පාරක් ඉතිරි වේ. මේ ක්‍රමය නිසා ගංඟාවට ට්‍රැක්ටර් බැස්සවීමට නොහැකි අතර, වැලි ගොඩදැමීම සිදුවන්නේ නිසි ප්‍රමිතීන්ට අනුවයි. එහි දී කූඩ යොදා ගෙන අඩි 10ක සීමාව ඉක්මවන තෙක් වැලි රැගෙන ආ යුතුය. වැලි ගොඩදැමීම සඳහා යොදා ගන්නා බෝට්ටු, එන්ජින් රහිත බෝට්ටු විය යුතුය. මේ වන විට හරිත වැලි සංකල්පය හඳුන්වාදී තිබෙන අතර, ඉදිරියේ දී එය ක්‍රියාත්මක නොකරන පිරිසට වැලි බලපත්‍ර නිකුත් නොකෙරෙන අතර, එසේ නොකරන අයගේ බලපත්‍ර අහෝසි කෙරෙන බව ද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

මනම්පිටිය වැලි ගොඩදමන කම්කරුවන් සඳහා දිනකට ගෙවන රුපියල් 2000/- වැටුප රුපියල් 2500/- දක්වා ඉහළ නැංවීමට ද ජනාධිපතිවරයා මෙහි දී අදාළ තාක්ෂණ සේවා සමාගම වෙත උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම එම සේවකයන් වෙත සඳුන් පැළ සහ වියළි ආහාර මල්ලක් බෙදාදීමක් ද ජනාධිපතිවරයා අතින් සනිටුහන් කෙරිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

අද ඔබ අලුත් මාතෘකාවක් සමාජයට දෙන වැඩසටහනකයි ඉන්නේ. මේ හරිත වැලි තොටුපොළ සංකල්පය අලුතෙන් හඳුන්වා දුන් දෙයක්. මීට පෙර කිසිම රජයකින් කිසිම අවස්ථාවක මේ රටට මෙවැනි අදහසක් මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කරලත් නැහැ. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරලත් නැහැ.

අපේ රටේ වැලි, ගල්, පස් කැණීම රටට ඔරොත්තු දෙන්නේ නැති විදියට ඉතාම බරපතළ ලෙස සිද්ධ වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් වැලි, පස් සහ ගල්වලට විශාල ඉල්ලීමක් තිබෙනවා. අපි කුඩා දූපත් රාජ්‍යයක්. අපේ රටට විශාල භූමියක් නැහැ. පුංචි රටක්. ලස්සන රටක්. ලෝකයේ බොහෝ රටවල තිබෙන කාලගුණය අපේ රටේ ප්‍රදේශ ගණනාවක තිබෙනවා. උතුරු පළාතට ගියොත් එක් විදියේ දේශගුණයක්. යාපනය පැත්තේ. වවුනියාව, මන්නාරම පැත්තේ පුත්තලම ඊට වඩා වෙනස් කාලගුණයක් තිබෙන්නේ. පොළොන්නරුව, අනුරාධපුර ගත්තොත් ඊට වඩා වෙනස්. ඒ වගේම නුවර, බදුල්ල ගත්තොත් ඊට වඩා බොහෝ වෙනස්. නුවරඑළියත් එහෙමයි. ලෝකයේ මේ විදියේ පිහිටීම් තිබෙන රටවල් ඉතාම සුළු ප්‍රමාණයක් තිබෙන්නේ. මෙහි තිබෙන වනාන්තර, කඳු, වැලි, ගල් පස් වැනි ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගත්තේ නැත්නම් මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. හුස්ම ගන්නත් බැරිව යන රටක් බවට පත් වනවා.

පසුගිය දවස්වල ගස් කැපීම් පිළිබඳව නව රීතිරීති හඳුන්වා දුන්නා. නව නීති පැනෙව්වා. මම ගිය සතියේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා ගස් කපන මැෂින් යන්ත්‍ර පිටරටින් ගෙන්වන එක තහනම් කළා. මීට මාස 03කට කලින් පොලිසිවලට නියෝගයක් කරලා රජයේ මාධ්‍යවල දැන්වීම් පළ කරලා අතේ ගෙනියන ගස් කපන මැෂින් ළඟම තිබෙන පොලිසියේ ලියාපදිංචි කරන්න කියලා දැනුම් දුන්නා. මේ පිළිබඳව කිසිම ආණ්ඩුවක් සොයා බලලා තිබුණේ නැහැ. සති 03ක් ඇතුළත දවස් 21ක් ඇතුළත මැෂින් 82,000ක් ලියාපදිංචි කෙරුණා. ඒ ලියාපදිංචි කළ වගේම ලියාපදිංචි නොකළ තවමත් හොරට තබා ගෙන ඉන්න මැෂින් 25,000ක් තිබෙනවා.

ගස් කපන මැෂින් තිබෙනවා ලක්ෂයකට වැඩිය. දවසකට එක මැෂින් එකකින් එක ගසක් කැපුවොත් දවසකට ගස් ලක්ෂයක් කැපෙනවා. වඩු මඩුවල බලපත්‍ර සහිත ලී වගේම හොරට ගේන ලීත් ඕන තරම් තිබෙනවා. ඒක රහසක් නොවෙයි. ලී මෝල්වලත් එහෙමයි. මේවා කියලා මට දිගට හරහට පහර ගහනවා. ඒ තිබෙන මෝඩකම්වලට බෙහෙත් නැහැ. මේ ගස්, ආරක්ෂා කරන්න, වනාන්තරය ආරක්ෂා කරන්න නීති පනවපුවහම සමාජ වෙබ් අඩවි වෙන වෙන මාධ්‍ය තුළින් කරන විවේචන ඉතාමත්ම අමනෝඥයි.

වනාන්තරය විනාශ කෙරුවොත් හුස්ම ගැනීමේ අයිතිය පවා නැතිව යනවා. අයිතිය නැතිව යනවයි කියලා කියන්නේ ඔක්සිජන් නැතිව යනවා. ලෝකයේ රටවල් ගණනාවක වාතය ඔක්සිජන් කඩේ විකුණන්න තිබෙනවා. කඩේට ගිහිල්ලා බීම බෝතලයක් ගන්නවා වගේ සල්ලි දීලා අරගෙන නහයට දාගෙන කරේ එල්ල ගෙන යනවා. මේ ගස් කපන විදියට ගස් කැපුවොත් තව වසර 20ක් 25ක් යන කොට මේ රටේත් ඒ දේ සිදු වෙනවා. ඒ නිසා අමනෝඥකමට හෝ නොදන්නාකමට ඒ ගැන මොන විදියේ විවේචන කළත් කළ යුතු දේ කරනවා. ඒ නිසයි මම පිටරටින් ගේන මැෂින් සියල්ලම තහනම් කළේ. ඒ වගේම අපි පුළුවන් තරම් ගස් කැපීම දුර්වල කරන්න අඩාල කරන්න නීති සෘජුව සහ වක්‍රව ක්‍රියාත්මක කරනවා. මේවා තේරෙන අයට තේරෙනවා. තේරෙන්නේ නැති අයට තේරෙන්නේ නැහැ. නිකන් බොරුවට කෑගහනවා. ඉතා මෝඩ ප්‍රකාශ කරනවා. අපට තිබෙන්නේ අපේ වගකීම ඉටු කරන එක.

මේ වැලි, ගල්, පස් රටේ තිබෙන විශාල ගල් කඳු ටික කඩපුවහම ගල් කඳු ටික නැතිව ගියොත් මේ රටේ කාලගුණය දේශගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. රට කාන්තාරයක් වෙනවා. රටේ පස් සම්පත ආරක්ෂා කර ගත්තේ නැත්නම් කඳු කැපුවොත් විශාල විනාශයක් සිදු වනවා. ඔබ දකිනවා ඇති පාරේ යන කොට කොච්චර කඳු කපනව ද කියලා. නුවර, බදුල්ල, කෑගල්ල ප්‍රදේශවලත් නුවරඑළිය ඇතුළු මධ්‍ය කඳුකරයේත් විශාල පස් කඳු කපනවා සංවර්ධන වැඩවලට පස් අවශ්‍යයි කියලා. නමුත් කඳු කපන්නේ නැතිව පස් ගන්නේ නැතිව ලෝකයේ රටවල නව තාක්ෂණික ක්‍රමවේද මඟින් මූලික සම්පත් සොයා ගෙන ඒ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු කෙරෙනවා. අපේ රටේ තවමත් පාරවල් හදන්නයි ගොඩනැගිලිවලටයි පස් ගැනීම නවත්වලා නැහැ.

ශ්‍රී ලංකාවේ වැලි, ගල්, පස් ආශ්‍රිතව පවතින්නේ අන්ත දූෂිත ව්‍යාපාර. කොළඹ වැලි බිස්නස් එක ඔක්කොම කරන්නේ පාතාලය. ඒක තමයි ඇත්ත තත්ත්වය. වැලි තොටුපොළ බොහොමයක් පාතාලයට සම්බන්ධයි. අපරාධකාරයන්ට සම්බන්ධයි. දැන් පොළොන්නරුවේ මනම්පිටියෙත් අපි මොනවහරි හොඳ දෙයක් කිවුවොත් ඒක ලේසියෙන් ක්‍රියාත්මක කරන්න බැහැ. ටිපර් සංගමය, ටිපර් රථ, ටිපර් රියැදුරෝ සමහර වේලාවට ඉතාම අවිනීත විදියට හැසිරෙනවා. පාර හරස් කරලා කෑගහලා ශ්‍රී ලංකාවේම වැලි ගොඩදැමීම් ඉතාම නුසුදුසු විදියට තමා කරන්නේ. ක්‍රමවත්ව විධිමත්ව නෙවෙයි. නමුත් වැලිත් සංවර්ධනයට අවශ්‍යයි. පසුත් සංවර්ධනයට අවශ්‍යයි. ගලුත් සංවර්ධනයට අවශ්‍යයි. නමුත් අපි කොහොමද ස්වභාවික සම්පත් අවශ්‍ය ප්‍රමාණයට රැකගෙන මේ කළමනාකරණය කරන්නේ කියන එක හිතන්නට ඕන.

එතකොට ඒ අතරේ තමයි මේ හරිත වැලි තොටුපොළ අදහස් සංකල්පය මගේ අමාත්‍යාංශය යටතේ ඇති භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. මේ වැඩසටහන මීට කලින් කිසිම රජයක් ඉදිරිපත් නොකරපු අදහසක්. ඇති නොවුණු වැඩපිළිවෙළක්. හරිත වැලි තොටුපොළවල පිළිබඳව භූවිද්‍යා පතල් කාර්යාංශය දීප ව්‍යාප්ත තරගයක් පවත්වලා තිබෙනවා. ඒ තරගයේ පළමුවැනි දෙවැනි තුන්වැනි ස්ථාන තෝරාගෙන තිබෙනවා. එතකොට හරිත වැලි තොටුපොළ හදන්නේ කොහොමද කියන එක මේ ඉන්න හුඟදෙනෙක් දන්නවා. මං හිතන්නේ අදත් දැනුවත් කරනවා.

ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ තිබෙන ගංගා, ඇළ, ඉවුරු ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්. ගඟේ ඉවුර පරිස්සම් කර ගත්තේ නැත්නම් ගඟ පළල් වෙලා පළල් වෙලා එක් පැත්තකින් වතුර වැඩි කාලෙට ගංවතුර වැඩි කාලෙට වතුර වෙන පැත්තකට ඇරලා ගංගා වෙන පැතිවලට හැරෙනවා. රටේ අවශ්‍ය පශූ සම්පත විනාශ වෙනවා. ජාවාරම්කාරයන්ට ඕවා කිසිදෙයක් ඔළුවට එන්නේ නැහැ. සල්ලි හම්බ කරන්න විතරයි ඕන.

2015 මම ජනාධිපති වෙලා පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ගත්ත පළමුවැනි තීන්දුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමයි. වැලි බලපත්‍ර අදත් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නැහැ. පුද්ගලිකව කාටත් දීලත් නැහැ. දෙන්නෙත් නැහැ. දුන්නෙත් නැහැ. නමුත් මේ මමත් වැලි බිස්නස්කාරයෙක් වැලි ජාවාරම්කාරයෙක් කියලා ඔය සෝෂල් මීඩියාවල යනවා හරියට. මගේ ජීවිත කාලයට මම වැලි ඇටයක වටිනා දෙයක් ඔය වැලි ගොඩදාන අයගෙන් කවදාවත් අරගෙන නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේ කිසි දේකින් මම හම්බ කරලා නැහැ.

ඉතාමත් ලස්සනට වැලි තොටුපොළක් කොහොමද පවත්වාගෙන යන්නේ කියලා මේ පත්‍රිකාවේ පැහැදිලිව පෙන්නුම් කරලා තිබෙනවා. විධිමත් ක්‍රමවේදයක් තුළ ගං ඉවුර ආරක්ෂා කරගෙන, පස ආරක්ෂා කරගෙන, ගඟ ආරක්ෂා කරගෙන, ගඟේ ඉවුරු ආරක්ෂා කරගෙන, කොහොමද වැලි තොටුපොළ පවත්වාගෙන යන්නේ කියන කාරණය ගැන මෙහි උපදෙස් දීලා තියනවා. ඒ විදියට ලස්සන වැටවල් හදලා, ඒ වැටත් එක්ක ගස් හදලා, ගඟ අයිනේ තියෙන ගස් කපන්නේ නැතුව වාහන ගෙනියන කොට වනාන්තරය විනාශ කරන්නේ නැතුව පරිස්සමට පරිසරය ආරක්ෂා කරගෙන ස්වභාවික සම්පත් ආරක්ෂා කරගෙන අපි ඒ කටයුත්ත කළ යුතුයි. වැලි ගෙනි යන ටිපර් සමහර අය හොරට ගඟට දානවා. සමහර විට ඒවා නීති විරෝධී විතරක් නෙවෙයි ඒවා දේශද්‍රෝහී කටයුතු. සල්ලිවලට ආසා කරන ජාවාරම්කාරයෝ හිතනවා සල්ලි තියෙනවානම් අනික් සියලු දේවල් තියෙනවා කියලා. නමුත් පරිසරය විනාශ වුණොත් මේ විදියට සල්ලි කොච්චර තිබුණත් වැඩක් නැහැ. සල්ලි මොනතරම් තිබුණත් කාන්තාරයේ මිනිසකුට කන්න නැහැ. සල්ලි කන්න බෑනේ. ඒක නිසා මේ රට කාන්තාරයක් වෙන එක වළක්වගෙන පරිසරය ආරක්ෂා කරගෙන ගහ-වැල ඇළ-දොළ සතා සිවුපාවා ආරක්ෂා කරගෙන අපි දරුවන්ට ආදරය කරනවා වගේම ගස්වලට, පැළවලට ආදරය කරන්න ඕන. වනාන්තරයට ආදරය කරන්නට ඕන.

සිංගප්පූරුවේ තියෙන හැම ගහකටම ෆයිල් එකක් තියෙනවා. දැන් ෆයිල් එක කිවුවට පාවිච්චි කරන්නේ කඩදාසි නෙමෙයි කොම්පියුටර් එක. කොම්පියුටර් එකේ සිංගප්පූරුවේ තියෙන සෑම ගසක් ගැනම තියෙනවා. ගසක අත්තක් කපන්න අවසර ගන්න ඕන. ඒ කොම්පියුටර් එකේ තියෙනවා ගසේ වයස, ගසේ වර්ගය, කවද්ද හැදුවේ, කොතැනද තියෙන්නේ, වයස කොච්චරද, මේකට බෙහෙත් දානවද, දැම්මද, ගස රැක ගන්න මොනවාද කරන්නේ ගසේ අතු කෑල්ලක් කපනවානම් ඒ වාර්තාවේ ඒක සඳහන් වෙන්න ඕන. ඉංජිනේරුවරයා ඒකට අනුමැතිය දෙන්න ඕන.

මම ජනාධිපති වුණාට පස්සේ පරිසර ඇමැති විදියට නීතියක් සම්මත කළා. චක්‍රලේඛයක් තිබෙනවා. ගස් කපනවානම් ජනාධිපතිගේ අනුමැතිය ගන්න ඕන. මගේ අනුමැතියක් නැතුව ගස් කපන්න බැහැ. පරිසර අමාත්‍යාංශයේ ලේකම් අවශ්‍ය ෆයිල් මං ගාවට අරගෙන එනවා ගස් කැපීමට අවශ්‍ය නම් බලපත්‍ර ගන්න කොට ඒකේ හේතු ඒවා ඔක්කොම කියන්න ඕන.

ඒ නිසා මේ වැඩපිළිවෙළ ඉතාම හොඳ වැඩපිළිවෙළක්. හරිත වැලි තොටුපොළ සංකල්පයට මම සුබ පතනවා ආශිර්වාද කරනවා. අසේල ඉද්දවෙල මහත්තයත් අනෙක් නිලධාරි මහත්වරුත් ඒ කාර්යමණ්ඩල මේ කරන සේවාව මම ඉතාමත් අගය කරනවා. ඒ නිසා මේ සංකල්පය මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්න දෙයක්. සතා සිවුපාවාගේ ජීවිතය ආරක්ෂා කර ගන්න දෙයක්. මහපොළොව නැති වුණොත් මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. හුස්ම ගන්න බැහැ. ගහකොළ නැති වුණොත් මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. මේ තත්ත්වය තේරුම් අරගෙන මේ ඉතාමත් වටිනා වැඩපිළිවෙළක් හැදීම ගැන භූවිද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය, තාක්ෂණ සේවා සමාගම, ටෙක්නිකල් සර්විස් ආයතනය මේ ගෙනියන වැඩපිළිවෙළට එහි ප්‍රධානීන්ට කාර්ය මණ්ඩලවලට මගේ විශේෂ ගෞරවයත් ස්තූතියත් පිරිනමමින් මේ වැඩපිළිවෙළ ඉතාම සාර්ථක වේවා කියලා ඔබ සියලු දෙනාටම සුබ පතමින් ආශිර්වාද කරනවා.

ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි පරාක්‍රම බන්දුල මහතා,

වැලි ක්ෂේත්‍රයේ නියැළි අය සඳහා වැඩි ප්‍රතිලාභ ලබාදීම සඳහා වැලි ක්ෂේත්‍රයේ නියැළෙන්නන් සෘජුවම අප ආයතනය වෙත බඳවා ගන්නා ලදි. අර්ථසාධක ඇතුළු ප්‍රතිලාභත් අපි ලබාදී ඇති බව කියන්න සතුටුයි. මේ නව වැඩපිළිවෙළ නිසා නීති විරෝධී වැලි කැනීම් සියයට සියයක් නවත්වන්න හැකි වූ බව සතුටින් කියන්න කැමැතියි. රුපියල් මිලියන හාරසියයක් වැය කර තිබෙනවා දිවයින පුරා අවිධිමත් වැලි කැනීම් නවත්වන්න. ඒ සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හැකි වුණා. වැලි කැනීම්වල දී ගංඟා ඉවුරු හා අවට පරිසරයට වන හානි අවම කිරීම අපේ පරමාර්ථයයි. හරිත වැලි සංකල්පයේ ඇති අඩු පාඩු හඳුනා ගනිමින් අනාගත පරම්පරාවට පරිසරය විධිමත් ලෙස දායා ද කිරීම අපි සිදු කරනවා. ජනාධිපතිවරයා ගමෙන් බිහි වූ ජනාධිපතිවරයෙක් ලෙස පරිසරයට ආදරය කරමින් කළ සද්කාර්යය ඉතා අගය කළ යුතුයි.

පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල යන මහත්වරුන්, වැලි ක්ෂේත්‍රයේ නැයැළෙන්නන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සුදත් මලවීර සහ ජනාධිපති මාධ්‍ය අංශය

 

නව අදහස දක්වන්න