සහරාන් ප්‍රමුඛ අන්තවාදීන් සියල්ල මර්දනය කර අවසන් | දිනමිණ


 

සහරාන් ප්‍රමුඛ අන්තවාදීන් සියල්ල මර්දනය කර අවසන්

හිනිදුම සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදී අගමැති කියයි

සහරාන් ප්‍රමුඛ අන්තවාදීන් සියල්ල මේ වනවිට සම්පූර්ණයෙන්ම මර්දනය කර ඇති බවට සහතිකයක් ජනතාවට ලබාදෙන බවත් සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය කොන් නොකර සංහිඳියාවෙන් ජීවත්වීම මඟින් නැවත අන්තවාදී කණ්ඩායම් බිහි නොනව බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (21) හිනිදුම මල්ලිකා නවෝද්‍යා විදුහල් ක්‍රීඩා පිටියේ පැවති සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය අමතමිනි.

උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව හිනිදුම ආසනයේ සංවර්ධන ව්‍යාපෘතින් කීපයක් ජනසතු කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ තවලම විද්‍යාරාජ ජාතික පාසලේ ඉදිකළ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සහ හිනිදුම මල්ලිකා නවෝද්‍යා විදුහලේ තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමද අගමැතිවරයාගේ සුරතින් සිදුවිය.

රුපියල් මිලියන 595 ක වියදමින් තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ල ජනසතු කිරීමද අගමැතිවරයාගේ සුරතින් සිදුවිය.එමඟින් ග්‍රාමසේවා වසම් 35ක ජනතාවගේ සේවාවන් කාර්යක්ෂම වේ.

හිනිදුම ප්‍රදේශයට වසරක් පාසා ඇතිවන ගං වතුර අවදානමෙන් මිදීම සඳහා එහි අවට සිටින ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ශාසනෝදයාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකළ සුරක්ෂා මධස්ථානය විවෘත කිරීම අගමැතිවරයාගේ සුරතින් සුදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ජනතාව කිසිවිටකත් බියට පත්විය නෑ. බෝම්බ ප්‍රහාරයෙන් මාස දෙකක් තුළ අන්තවාදීන් සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට හැකිවුණා. ආණ්ඩුව මොනවද කෙළේ කියා අසන පිරිසට කදිම පිළිතුරක් බවයි.

ගාල්ල, හිනිදුම, මල්ලිකා නවෝද්‍යා විද්‍යාලයට තවත් නව ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙස විදුහල්පති බටුවන්වල විජිත හිමියන් ඉල්ලා සිටියා. ඒ ඉල්ලීම ඉටු කරන ලෙස මම අධ්‍යාපන ඇමැතිතුමාට උපදෙස් දෙන බව පළමුවෙන්ම පවසනවා. මම පළමුවෙන්ම 1977, 1978 වසරවල එම්.එස්. අමරසිරි මැතිතුමාගේ කාලයේ තවලම ප්‍රදේශයට පැමිණෙන විට මෙය ඉතා දුෂ්කර ආසනයක්. නමුත් අද මෙය දුෂ්කර ආසනයක් නොවෙයි. පසුගිය වසර 4 ක 5 ක කාලය තුළ හිනිදුම ඉතා විශාල ලෙස සංවර්ධනය වී තිබෙනවා. හිනිදුම ඇතුළු මේ ප්‍රදේශ දියුණු කිරීමට අපි විශාල මුදලක් වෙන් කර තිබෙනවා.

1977, 1978 කාලයේ මම ලංකා ගම ගම්මානයට ගියේ ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේයි. ටික දුරක් ජීප් රථයේ ගොස් මාර්ගයේ ඉතිරි කොටස ගමන් කිරීමට සිදු වුණේ ට්‍රැක්ටරයකයි. එදා මේ ප්‍රදේශ එතරම්ම නොදියුණු තත්ත්වයක පැවැතුණා. නමුත් අද එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. අද මාර්ග, විදුහල් ආදිය ලබාදෙමින් හිනිදුම දියුණු ප්‍රදේශයක් බවට පත් කර තිබෙනවා. මේ ආකාරයට සමස්ත ගාල්ල දිස්ත්‍රික්කයම දියුණු කිරීමට අවශ්‍ය මුදල් අපි වෙන් කර තිබෙනවා.

මගේ මූලික අරමුණ වුණේ කොළඹ තිබෙන පහසුකම් රටේ අනෙකුත් ප්‍රදේශ දක්වාත් ව්‍යාප්ත කිරීමයි. අද වන විට එම කාර්යයන් ක්‍රමයෙන් සිදු වෙමින් තිබෙනවා. ඒ වගේම වසර 26 කට පසු සමෘද්ධි ලාභීන් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට අපට හැකි වී තිබෙනවා. අපේ ආණ්ඩුවට කොතරම් චෝදනා කළත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ලෙස අසරණ ජනතාවට සමෘද්ධිය ලබාදීමේ විශාල වගකීම ඉටු කිරීමට අපට හැකිවීම පිළිබඳ මගේ සතුට ප්‍රකාශ කරනවා.

අද තවලම ප්‍රදේශයේ දී විද්‍යාරාජ විද්‍යාලයේ ගොඩනැගිල්ල, හිනිදුම මල්ලිකා නවෝද්‍යා විද්‍යාලයේ ගොඩනැගිල්ල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල සහ නිල නිවෙස, ශ්‍රී ශාසනෝදයාරාම පුරාණ විහාරස්ථානයේ සුරක්‍ෂා මධ්‍යස්ථානය යන ගොඩනැගිලි විවෘත කරමින් මේ ප්‍රදේශයේ විශාල දියුණුවක ආරම්භයක් ඇති කිරීමට මට හැකි වුණා. අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා ගන්නා මුදල් සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලබා ගන්නා මුදල් යටතේ මෙම ව්‍යාපෘති ඉදිකර තිබෙනවා.

මේ ප්‍රදේශය නියෝජනය කරමින් දක්‍ෂ ඇමැතිවරු දෙදෙනෙක් සිටීම ඔබේ වාසනාවක්. වජිර අබේවර්ධන , ගයන්ත කරුණාතිලක , ජේ.සී. අලවතුවල යන ඇමැතිවරු විශාල කාර්ය භාරයක් කරනවා. එතුමන්ලා පක්‍ෂයේ වැඩත්, පාර්ලිමේන්තුවේ වැඩත් ඉතා හොදින් ඉටු කරනවා.

හිනිදුම සංවිධායක සුනිල් සේනානායක මහතා අැමැතිවරයෙක් නොවුණත් මේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් නිරන්තරව අපට කරදර කරමින් විශාල වැඩකොටසක් ඉටු කරනවා. පක්‍ෂ භේදයකින් තොරව සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් අපට සහයෝගය ලබාදෙන ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට මම ස්තූතිවන්ත වෙනවා. හිනිදුම වැනි ප්‍රදේශ කවුරුන් හෝ දියුණු කරන විට ඊට සහයෝගය ලබාදිය යුතුයි. පියසේන ගමගේ මැතිතුමා මේ ප්‍රදේශය වෙනුවෙන් ඉටුකරන සේවයට මම ප්‍රශංසා කරනවා.

මෙම විද්‍යාලය ඓතිහාසික විද්‍යාලයක්. මෙය අනගාරික ධර්මපාල මැතිතුමාගේ මව වන මල්ලිකා හේමචන්ද්‍ර මැතිනියගේ ගම් පළාතයි. එතුමාගේ පියා වන දොන් කරෝලිස් හේවාවිතාරණ මැතිතුමා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක් වන අතර, මෑණියන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෙම ප්‍රධාන බෞද්ධ පවුල මෙම ප්‍රදේශයේ සිට කොළඹට ගොස් එහිදී දියුණුවට පත්ව විද්‍යෝදය පිරිවෙන වැනි අධ්‍යාපන ආයතනවලට ආධාර උපකාර කළා.

මේ පාසලේ ගොඩනැගිලි දෙකම ලබාදී තිබෙන්නේ පියසේන ගමගේ මැතිතුමා විසින්. මේ ප්‍රදේශයේ පොදු සේවාවන් ගණනාවක් ලබාදෙමින්, ඒවාට අවශ්‍ය මුදල් ලබාදෙමින් කටයුතු කරනවා. ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් එතුමා දක්වන උනන්දුව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මනුෂ නානායක්කාර මැතිතුමාත් හිනිදුම ප්‍රදේශය ඇතුළුව ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල දියුණුව වෙනුවෙන් විශාල වැඩකොටසක් කරනවා.

ඔක්තෝම්බර් 26 වැනිදා දේශපාලන කුමන්ත්‍රණය සිදු වන අවස්ථාවේදී වජිර අබේවර්ධන, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ යන අප සියලූ දෙනා සිටියේ එකම වේදිකාවකයි. එදා සිට අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල සටනක් ගෙන ගියා. විජේපාල හෙට්ටිආරච්චි, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මැතිතුමන්ලාත් එම සටනට සහයෝගය ලබාදුන්නා. ඔවුන් තම ප්‍රදේශවලට අැමැතිවරුන්ටත් වඩා විශාල සේවාවක් සිදු කරමින් සිටින බව පැවසිය යුතුයි.

මේ තරම් වැඩකොටසක් රට වෙනුවෙන් ඉටු කළ මේ තරම් මුදලක් වෙන් කළ තවත් ආණ්ඩුවක් 1977, 1978 කාලයෙන් පසු මම දැක නැහැ. දකුණු අධිවේගී මාර්ගයත් මේ ප්‍රදේශය හරහා වැටී තිබෙන බැවින් ඉදිරියේදී විශාල සංවර්ධනයක් ඇති වෙනවා. පසුගිය කාලයේ රට මුහුණ දුන් ගැටලු නිසා මේ ප්‍රදේශවල සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඉතා කෙටිකාලයක් ප්‍රමාද කිරීමට සිදුවෙන බව පැවැසිය යුතුයි.

රටේ ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව මා මෙහිදී විශේෂයෙන් ප්‍රකාශ කළ යුතුයි. රටේ මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිසිය හමුදාව සිදු කරන්නේ කුමක්ද? ඔවුන් තම වගකීම නිසි ලෙස ඉටු කරනවා ද? යනුවෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ඒ වෙනුවෙන් මා පිළිතුරක් ලබාදිය යුතුයි.

මේ වනවිට පොලිසියේ සහ බුද්ධි අංශවල වර්තා මම ලබාගෙන තිබෙනවා. එම වාර්තාවලට අනුව සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලියේ සියලුම දෙනා අත්අඩංගුවට පත්වී හෝ රැඳවුම් නියෝග මත රඳවාගෙන තබාගනිමින් අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් සිටින බව මම ඔබට පවසනවා. එම කණ්ඩායමේ සියලුම දෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිසා රටේ ජනතාවගේ ආරක්‍ෂාව 100% කින් තහවුරු වී තිබෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වගේම ජනාධිපති කොමිෂම හරහාත් ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කරුණු විමර්ශනය කරමින් සිටිනවා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේ මුල භාගයේ සිට ලැබුණු තොරතුරුවලට අනුව ක්‍රියා නොකිරීම සහ ඊට හේතු වූ කරුණු පිළිබඳව පරීක්‍ෂණ සිදු කරනවා. අදාළ වගකීම් භාරගනිමින් මෙම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලීමට ඒ ඒ කණ්ඩායම් පත් කර තිබෙනවා.

ඒ අතපසුවීම් නිසා ජනතාව තුළ තිබූ විශ්වාසය බිඳවැටී තිබෙනවා. රටේ ආණ්ඩුවට ජනතාව ආරක්‍ෂා කිරීමට හැකි ද යන ප්‍රශ්නය ජනතාව තුළ ඇති වී තිබෙනවා. අපි ඒ පිළිබඳ සොයා බැලීමට කමිටු කණ්ඩායම් පත් කර තිබෙන්නේ එම නිසයි.

බෝම්බ පිපිරීමෙන් පසුව එදිනම දවල් 12.00 වන විට අපේ අැමැතිවරුන් කණ්ඩායමක් සමඟ මම ආරක්‍ෂක අමාත්‍යංශය වෙත ගියා. ඒ වගේම ජනාධිපතිතුමාත් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළා. ඉන්පසුව හමුදාපතිවරුන් ඇතුළු සියලූම ආරක්‍ෂක අංශ ප්‍රධානීන් වෙත මම උපදෙස් දුන්නේ කිසිදු සමාවකින් තොරව මෙම ප්‍රහාරයට සම්බන්ධ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සියලූම දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසයි. දවල් 12.00 ට මම ආරක්‍ෂක ප්‍රධානීන්ට උපදෙස් දීමෙන් පසුව රාත්‍රී 9.00 වන විට බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පළමු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. අවාසනාවකට එම මෙහෙයුමේදී ආරක්‍ෂක නිලධාරීන් තිදෙනකුගේ ජීවිත අහිමි වුණා.

ඉන්පසුව කල්මුණේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙක් ලබාදුන් ඔත්තුවකට අනුව සයින්දමරුදු, සමන්තුරේ, කල්මුණේ ප්‍රදේශවල ත්‍රස්තවාදීන් සැඟව සිටි නිවාස හඳුනා ගැනීමට හැකි වුණා. එම මෙහෙයුම්වලදී ත්‍රස්තවාදීන් කිහිප දෙනෙක් මිය ගිය අතර, මරණයට පත් නොවී ඉතිරි වූ ත්‍රස්තවාදීන් සහ ඔවුන් ළඟ තබාගෙන සිටි පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එතැන් සිට පරීක්‍ෂණ කටයුතු ආරම්භ වුණා.

එම පරීක්‍ෂණ කටයුතුවලට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, අමෙරිකාව වැනි රටවල් සහයෝගය ලබා දුන්නා. ඒ අනුව වර්තමානය වන විට එම කල්ලියේ සියලුම දෙනා අපේ අත්අඩංගුවේ සිටින බවත්, නීතිපති දෙපාර්තමේන්තුව යටතේ ඉරියට නීතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළ යුතුයි. කාන්තන්කුඩියේ සහරාන් පැවැත් වූ දේශනවලට සහභාගිවූ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් ඇතැම් අය කුඩා ශිෂ්‍යයන් වුවත්, ඒ සියලූ දෙනාම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතුයි. මේ සියලූ කටයුතු පොලිසිය, හමුදාව සහ බුද්ධි අංශ සිදු කරනවා.

මේ කල්ලියේ සාමාජිකයින් සමඟ තේ කෝප්පයක් බිව් අය පවා ප්‍රවේසම් විය යුතුයි. ඔවුන් පිළිබඳවත් පරීක්‍ෂණ සිදු කරනවා. පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලූ දෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබුණත් ත්‍රස්තවාදී චින්තනයෙන් යුතුව සිටින රටේ අනෙක් පුද්ගලයන් පවා අත්අඩංගුවට ගැනීමට අපි කටයුතු කරනවා.

අද බොහෝ දෙනෙක් විමසන්නේ රටේ ආරක්‍ෂක අංශ කුමක් ද කෙළේ යනුවෙනුයි. නමුත් මෙවැනි ත්‍රස්තවාදී කල්ලියක් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමේ දී තොරතුරුවල රහස්‍ය භාවය ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත්. රහසිගතව වැඩ කිරීම යම් අවස්ථාවල ආරක්‍ෂක අංශවලට විශාල අවාසියක් ගෙන දෙනවා. ඔවුන් කරන්නේ කුමක් දැයි ජනතාව දැනුම්වත් වන්නේ නැහැ. එවිට ඔවුන් කරන්නේ කුමක් දැයි ජනතාවට අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වෙනවා.

ආරක්‍ෂක අංශවලින් කිසිදු සේවයක් සිදු වෙන්නේ නැති බවට සුළු පිරිසක් චෝදනා කළත් මෙම සිදුවීමේදී ඔවුන්ගෙන් කොතරම් සේවයක් ඉටුවෙනවා ද යන්න පිළිබඳව මා හොදින් දන්නවා. ඔවුන් සමඟ සාකච්ඡා කරමින් පරීක්‍ෂණ කටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන තිබෙන නිසා මට ඒ පිළිබඳව විශ්වාසයෙන් පැවැසිය හැකියි. බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පිරිස් පමණක් නොව ත්‍රස්තවාදී අදහස් දරණ, එම අදහස් හුවමාරු කරගත් පුද්ගලයන් පිළිබඳව පවා දැන් පරීක්‍ෂණ පවත්වනවා.

මෙතරම් වැඩකටයුතු ප්‍රමාණයක් අප ඉටු කෙළේ මාස දෙකක් ගත වනවිටයි. ඒ පිළිබඳව විදෙස් රටවල් අපිට ප්‍රශංසා කරනවා. ඔවුන් පවසන්නේ මෙවැනි ප්‍රහාරයකින් පසුව පළමු කණ්ඩායම හසු කර ගැනීමට පවා මාස දෙකක් පමණ ගත වන බවයි. නමුත් මාස දෙකක් ගතවීමට පෙර ත්‍රස්තවාදී කණ්ඩායම් හඳුනාගෙන මේ තර්ජනය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව මම ඉතා සතුටින් ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳ පරීක්‍ෂණ කිරීමේදී විවිධ චෝදනා යටතේ බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස ප්‍රමාණයෙන් 2000 ඉක්මවනවා. අරාබි භාෂාවෙන් පොතක් ළඟ තිබුණත්, පිහියක් ළඟ තිබුණත් වෙනත් සුළු සුළු හේතු වෙනුවෙන් හෝ අත්අඩංගුවට පත් පිරිසක් සිටිනවා. එම නිසා අපි පොලිසියට උපදෙස් ලබා දී තිබෙන්නේ ත්‍රස්තවාදයට සම්බන්ධ නැති පිරිස හඳුනාගෙන ඔවුන්ට අදාළ පරීක්‍ෂණ කඩිනමින් පවත්වා නිදහස් කළ හැකි අය නිදහස් කරන ලෙසයි. වරදකරුවන් වන අයට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අපි පොලිසියට පැවසුවා.

ත්‍රස්තවාදයට සම්බන්ධයක් නොමැති අයට අසහනයක් ලබානොදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් ගත යුතුයි. මම සාමාන්‍යයෙන් ආරක්‍ෂාව පිළිබඳ ගැඹුරු තොරතුරු ජනතාව ඉදිරියේ පවසන්නේ නැහැ. නමුත් පොලිසිය කෙළේ කුමක්ද? හමුදාව කෙළේ කුමක්ද? ආදී ලෙස සුළු පිරිසක් විවිධ චෝදනා එල්ල කළ නිසා මා මේ තොරතුරු ඔබට පැවසුවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනතාව බියෙන් පසුවන බව මා දන්නවා. තවත් මෙවැනි ත්‍රස්තවාදීන් සිටිනවා ද යන්න පිළිබඳව ජනතාව සැකෙන් සිටිනවා. එම නිසා මම පොලිසිය සහ බුද්ධි අංශය ඇතුළු සියලූම ආරක්‍ෂක අංශ සමඟ සාකච්ඡා කළා. අද මෙම තොරතුරු ඔබට පැවසුවේ ඉන් අනතුරුවයි.

රටේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන් සිදු කර තිබෙන සේවය පිළිබඳ රටට හෙළි කළ යුතුයි. ඔවුන් පිළිබඳ ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි. මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් නැවත ඇති නොවීමට අපි පියවර ගත යුතුයි. ත්‍රස්තවාදය වළක්වනවා යැයි පවසමින් ජනතාව අන්තවාදය කරා යැවීමෙන් වැළැකිය යුතුයි. එම නිසා සාර්ථකව ත්‍රස්තවාදය මැඩලමින් සිටින අවස්ථාවක රටේ මුස්ලිම් ජනතාව අන්තවාදය කරා නොයවන ලෙස මම සඳහන් කරනවා.

අපි රට තුළ මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගෙන යනවා නම්, මුස්ලිම් ජනතාවට හිරිහැර කරන්න යැයි මතයක් ගොඩනඟනවා නම් ඉන් සිදු වන්නේ ත්‍රස්තවාදය නැවතත් ඇති කිරීමට අවශ්‍ය මූලාරම්භය සැකසීමයි. මෙම ත්‍රස්තවාදී කණ්ඩායම එල්.ටී.ටී.ඊ.ය වැනි විශාල කණ්ඩායමක් නොවන බව අප අවබෝධ කර ගත යුතුයි. එහි සියලූම දෙනා දැන් අත්අඩංගුවට ගෙන අවසන්. අන්තවාදී මතයට අලූතින් එක් වන පිරිසක් නැවතත් මෙවැනි විනාශයක් සිදු කළොත් හැරෙන්නට නැවතත් මෙවැනි විනාශයක් ඇති වන්නේ නැහැ. එම නිසා මුස්ලිම් ජනතාව අන්තවාදයට ඇඳ දැමීමට අපි කටයුතු නොකළ යුතුයි. මෙම ප්‍රහාරය සිදු කෙළේ අතළොස්සක් බව සිහි තබා ගත යුතුයි.

මුස්ලිම් ජනතාව විසින්ම එම ත්‍රස්තවාදීන් විනාශ කිරීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් අපි මුස්ලිම් ජනතාවට විරෝධයක් එල්ල කරනවා නම් ඔවුන් අතුරෙන් නැවතත් ත්‍රස්තවාදීන් බිහිවීමට ඉඩ තිබෙනවා. දේශපාලනය පක්‍ෂ ලෙස බෙදී සිදු කරන්නට පුළුවන්. නමුත් ජාතීන් ලෙස බෙදී මුස්ලිම් මිනිසුන් කොන් කරන්නට යනවා නම් සිදු වන්නේ ජීවිත තුනක් පූජා කරමින් ආරක්‍ෂක අංශ සිදු කරගෙන යන විශාල මෙහෙවර පාවාදීමක් බව මම පැවසිය යුතුයි.

ත්‍රස්තවාදය මැඩලමින් ආරක්‍ෂක අංශ සිදු කරගෙන යන සේවයට අපි අන්තවාදී නොවී ශක්තිය දිය යුතුයි. මාස දෙකක් ඇතුළත අප ළඟා කර ගෙන තිබෙන මේ සාර්ථකත්වය පිළිබඳව විදේශ රටවල් පවා පුදුමයට පත් වෙනවා. ඔවුන් මට පැවසුවේ රට තුළ නැවතත් ත්‍රස්තවාදී විෂබීජය පැතිරීමට ඉඩ නොතබන ලෙසයි. ඒ වෙනුවෙන් අප සිදු කළ යුත්තේ රටේ ජාතික සමඟිය ආරක්‍ෂා කිරීමයි.

ත්‍රස්තවාදීන්ට සමාව නොදිය යුතු බව අදත්, එදත් මා දරණ මතයයි. නමුත් ත්‍රස්තවාදය වළක්වනවා යැයි පවසමින් අහිංසක මුස්ලිම් මිනිසුන් අන්තවාදයට තල්ලූ නොකළ යුතුයි. ශ්‍රී ලාංකිකයන් ලෙස එකිනෙකා ආරක්‍ෂා කර ගැනීම සහ ආධාර උපකාර කර ගැනීම අපේ යුතුකමක්. අප නීතිය ආරක්‍ෂා කළ යුතුයි.

උතුරු නැඟෙනහිර යුද්ධය පැවැති කාලයේ නැඟෙනහිර ප්‍රදේශයෙන් තොරතුරු විශාල ලෙස ලැබුණා. ඒ තොරතුරු ලබාදුන්නේ ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජාතිකයන් හරහායි. ත්‍රස්තවාදය පාලනය කිරීමට මුස්ලිම් ජනතාවගෙන් තොරතුරු විශාල ලෙස ලැබුණා. කරුණා අම්මාන්, ප්‍රභාකරන්ගෙන් වෙන් කිරීමටත් මුස්ලිම් ජනතාව ලබාදුන් තොරතුරු උපයෝගී වුණා. එසේ නොවුණා නම් එම කටයුත්ත සාර්ථක වන්නේ නැහැ. ඒ සහයෝගය අපි අමතක නොකළ යුතුයි.

සහරාන්ට සම්බන්ධ අය, ඔහු සමඟ ගනුදෙනු පැවැත්වූ අය, මැදපෙරදිග සමඟ සම්බන්ධතා පැවැත්වූ අය ආදී මේ සියලූදේ පිළිබඳව තොරතුරු ලැබුණේ රටට ආදරය කරන මුස්ලිම් ජනතාව තුළින්ම බව පැවසිය යුතුයි. 21ක් වැනිදා දහවල් 12.00 සිට අද වනතුරු ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ සිදු කළ සේවය මම අගය කරනවා. ඒ වගේම නැවත ත්‍රස්තවාදයක් ඇති නොවීමට නම් රටේ එක් එක් ජන කොට්ඨාශ අවතක්සේරු කිරීම නැවැත්විය යුතුයි. එම නිසා ත්‍රස්තවාදය වැළැක්වීම රටේ සමස්ත ජනතාවගේ ජයග්‍රහණය බව සලකමින් ඉදිරියට වැඩ කරමු යැයි මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

අැමැති වජිර අබේවර්ධන මහතා-

වසර 21කට පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙළේ විශාල පනේ අතේ වැඩක්. ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධිය ලැබිය යුතු අයට සමෘද්ධි ලැබී තිබෙනවා කිසිදු දේශපාලන බේදයකින් තොරව. විපක්ෂයේ අය වසර 21ක් සමෘද්ධි සහනාධාරය දේශපාලනීකරණය කළා.දැන් එය අපි තව තවත් සංවර්ධන කර දේශපාලන බේදයකින් තොරව ජනතාවට ලබාදෙනවා.

මෙම සමෘද්ධි සහනාධාරය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ලේසි වැඩක් නොවෙයි. විවිධ භාදක ආවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ රුපියල් 1500ට තිබූ සමෘද්ධි සහනාධාරය අපි රුපියල් 2500 දක්වා වැඩිකර තිබෙනවා. එදා සමෘද්ධිය දේශපාලනීකරණය කර එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කළා.

අැමැති ගයන්ත කරුණාතිලක මහතා-

අද ගාල්ල දිස්ත්‍රික්කයේ පන්සල්, පාසල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට නව ගොඩනැගිලි ලැබුණා. ඒ පිළිබඳව විශේෂ ස්තූතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පුද කරනවා. අපේ ආණ්ඩුව ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාරය ලබාදෙනවා කියා ඔබට දුන් පොරොන්දුව අද ඉටුකර තිබෙනවා.

සමෘද්ධි ව්‍යාපාරය මඟින් ජනතාව සවිබල ගැන්වීම වෙනුවට දේශපාලන පක්ෂ සවිබලගැන්වීම පසුගිය කාලයේ සිදු වුණේ. එය අපි හොදින් දැක්කා. දේශාපාලුවන්ගේ පිරිස් බලය පෙන්වීම සඳහා ඔවුන් ජන්ද තුරුම්පු කර ගත්තා. දේශපාලන රැස්වීම් වලට නාවොත් සමෘද්ධිය කපනවා කියා ඔවුන්ව බයකළා.අද පක්ෂ බේදයකින් තොරව සමෘද්ධිය ඔබට ලැබී තිබෙනවා.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අැමැති ජේ.සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි, පියසේන ගමගේ, හිනිදුම එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක සුනිල් සේනානායක යන මහත්වරුන් ප්‍රමුඛ මල්ලිකා විද්‍යාලයේ විදුහල්පති බටුවන්ගල විජිත හිමි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

අසේල ලියනගේ සමඟ හිනිදුම විශේෂ
ජායාරූප - හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න