රණසිංහ ප්‍රේමදාස සූර වීර ධීර ගුණෙන් හෙබි දේශපාලනඥයෙක් | දිනමිණ


 

රණසිංහ ප්‍රේමදාස සූර වීර ධීර ගුණෙන් හෙබි දේශපාලනඥයෙක්

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා සූර, වීර සහ ධීර යන ගුණ තුනෙන් අගතැන්පත් දේශපාලනඥයකු යැයි එතුමාගේ ජීවන චරිතය අධ්‍යයනය කිරීමේදී පෙනී යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ 94 වැනි ජන්ම දිනය වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනමේ මෙහෙයවීමෙන් කොළඹ සව්සිරිපාය ශ්‍රවණාගාරයේ පසුගියදා (21) පැවැති ජන්ම දින සමරු උත්සවයේ දී ය.

රාගම දඹුව ශ්‍රී ලංකාරාමාධිපති ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘත හා දුරස්ථ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති පට්ටියවිල මහින්ද හිමියෝ මෙහිදී ධර්ම දේශනාවක් පැවැත්වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා අතින් දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දැක්වීම සිදුවූ අතර, රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් විසින් රචිත 'රස කවි සිතුවිලි' කාව්‍ය සංග්‍රහයේ පිටපතක් ඇමැතිවරයා වෙත පිළිගැන්වීම ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී කාරියවසම් මහතා අතින් සිදුවිය.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා,

ආර්. ප්‍රේමදාස මහතා මෙලොව පහන් එළිය දුටුවේ 1924 ජූනි 23 වැනිදා යි. ඔහු උපන්නේ හිතාගන්න බැරි පරිසරයක. පිටකොටුවේ සාන්තබස්තියම නාගරික මෙන්ම අදටත් වඩා වෙනස් පරිසරයක් තිබුණේ. දාමරිකයෝ සහ විවිධ මට්ටමේ අය සිටියා. ඔවුන් අතරේ මඩේ පිපුණු නෙළුමක් වගේ මඩ තවරා නොගෙන ප්‍රේමදාස දරුවා පිබිදී තිබෙනවා.

අපේ සංස්කෘතියේ තිබෙනවා සූර,වීර සහ ධීර කියලා වච කිහිපයක්. සූර කියන්නේ හුරුබුහුටිකම. වීර කියන්නේ නිර්භය බව. ධීර කියන්නේ ප්‍රඥාවන්තකමයි. එතුමාට ඒ දයා ගුණය තිබුණා. දන් දුන්නා. හිසට සෙවණක් නැති අයට නිවාස ඉදිකර දී හිතට නිවනක් ලබා දුන්නා.

එතුමා තම ජීවිතයේ පියවරෙන් පියවර නගර සභාවටත්, පාර්ලිමේන්තුවටත්, අගමැති ධුරයටත්පත් වෙනවා. ඉතාම අභියෝග මධ්‍යයේ තමයි එතුමාට අගමැති තනතුරු පවා ලැබුණේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා,

ප්‍රේමදාස මහතා අපේ හිතට හුඟක් ළං වුණේ ගම් උදාව නිසයි. ලංකාවේ අමාරුම කාලයක රට භාර ගත් නායකයා ප්‍රේමදාස මහතායි. හැම පැත්තකින් ම යුද්ධ. කුඩා පවුලක උපත ලැබූ එතුමා ඉතා ශක්ති සම්පන්නව රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් රටේ සියලු පුරවැසියන්ටත්, සමස්ත ආසියාකරයේ ජනතාවටත් බලාපොරොත්තුවක් ලබා දීමට හැකි වුණා.‍ ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ දේශපාලනයේදී බලාපොරොත්තු වූයේ ජනතාවට සේවය කිරීමයි. අපටත් එය හොඳ ආදර්ශයක්. එතුමා කලාවටත් සම්බන්ධව තිබෙනවා. දේශපාලනය කරනවා වගේම කලාවටත් සම්බන්ධකමක් තිබෙනවා නම් ඔහුට පරිපූර්ණ නායකයකු වීමේ හැකියාව තිබෙනවා.

මම ජේ.ආර්.ජයවර්ධන මහතාගෙන් ඉවසීමත්, ගාමිණී දිසානායක මහතාගෙන් තරහා හිතේ තබා නොගැනීමත් ඉගෙන ගත්තා. ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉගෙන ගත් හොඳම දේ කෙලෙහිගුණයයි.

කාන්තාවන් දසදහසකට වැඩි ප්‍රමාණයක් දැන් පුහුණු කිරීම මම කරගෙන යනවා. ශිල්ප සේනා වැඩසහන ජූලි මාසයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කරනවා. මම ඒ පාඩම ඉගෙන ගත්තේ ප්‍රේමදාස මැතිතුමාගෙන්. ශිල්ප සේනා වැඩසහනෙන් බලාපොරොත්තු වෙනවා ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදන පැකේජ 1000ක් සම්බන්ධයෙන් යන්ත්‍රෝපකරණ හඳුන්වාදී පුහුණුව ලබා දෙන්න. කොළඹින් ආරම්භ කරන මේ වැඩපිළිවෙළ මාසයකට වරක් බැගින් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර සිතාරා සේනානි,
ඡායාරූපය- සුලෝචන ගමගේ 

නව අදහස දක්වන්න