කිරි ගැන අපේ අන්දරය | දිනමිණ


 

කිරි ගැන අපේ අන්දරය


අපි කැප­වෙන්නේ  කිරි ඉතිරෙන  හෙටක් වෙනු­වෙන් 
මිල්කෝ සමා­ගමේ සභා­පති කීර්ති මිහි­රි­පැන්න
 
අප සමාගම යුරෝ මිලියන 62 ක් ආයෝජනයකින් මීගමුව බඩල්ගම නව කර්මාන්ත ශාලාවක් ඉදිකරම්න් තිබෙනවා.එහි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව නිෂ්පාදන වඩාත් ත් පුළුල් කළ හැකියි. නව කර්මාන්තශාලාවේ ආයෝජනය සමඟ අඹේවෙල, දිගන, පොලොන්නරුව හා කොළඹ කර්මාන්ත ශාලා මෙහෙයුම් කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමේ හැකියාවත් පවතිනවා.ඒ අනුව දේශීය පරිභෝජනය සඳහා දිනකට ලීටර් 30,000 ක් පමණ දායක කිරීමේ හැකියාව අප ආයතනය සතුයි.යනුවෙන් මිල්කෝ (පුද්) සමාගම, සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න මහතා පවසයි.

පසුගිය වකවානුවේ බඩල්ගම කර්මාන්තශාලාව ඉදිකිරීමේ කටයුතු නොවැලැක්විය හැකි තත්වයක් නිසාවෙන් ප්‍රමාද වුණා. කෙසේවෙතත්, මේවනවිට වැඩ කටයුතු කඩනමින් ආරම්භ කර තිබෙනවා.

දේශීය කිරි කර්මාන්තය දියුණු කර නැවුම් ගුණාත්මක කිරි නිෂ්පාදනයක් ලක්වාසීන් වෙත ලබාදීම රජයේ අරමුණයි. ඒ අරමුණ ජයගැනීමට ඇති ප්‍රධානම බාධකය පරිභෝජන අවශ්‍යතාවේ තරමට කිරි නිෂ්පාදනය නොමැති කමයි.අපගේ කර්මාන්ත ශාලාවලින් වැඩි නිෂ්පාදන කිරීමට නම් ඒ සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වන නැවුම් කිරි ලබාගැනීම අත්‍යාවශ්‍ය කරුණක්.

මේ නිසා පශු සම්පත් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වැඩි කිරි ඇස්වැන්නක් ලබා දීමට වැඩකටයුතු රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව වැඩි අස්වැන්නක් දෙන කිරි දෙනුන් මෙරටට ආනයනය කිරීමේ වැඩසටහන් ආදිය ක්‍රියාත්මක වුණා. එවැනි වැඩ සටහන් තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බව මගේ අදහසයි. කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛ අංශයක් වන කිරි කර්මාන්තය ව්‍යාප්ත කර දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දැමිය හැකිනම් වාර්ෂිකව කිරි ආනයනය සඳහා වැය කරන රුපියල් බිලියන 4 ක මුදලක් ඉතිරිකර ගැනීමට හැකියි. එමෙන්ම කිරි සඳහා ඉහළ මිලක් ලැබෙන නිසා වෘත්තීය වශයෙන් මෙය හොඳ ආදායමක් ඉපයිය හැකි ව්‍යාපාරයක් ලෙසත් හැඳින්විය හැකියි.

කිරිවලින් රට ස්වංපෝෂණය කිරීම සඳහා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සහ දේශීය කිරි නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීමට සමාගම උනන්දු වෙනවා. කිරි ශීතකිරීමේ මධ්‍යස්ථාන 100 ක් සඳහා කිරිපිටි සපයන කිරි ගොවීන් 60,000 කට අධික ප්‍රමාණයක් අප සමඟ කටයුතු කරනවා. ඒ සඳහා කිරි ගොවි සමිති 2,300 ක් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරනවා.අපි තමයි රටේ විශාලතම කිරි එකතු කරන්නා . දේශීය කිරි කර්මාන්තයෙන් ලැබෙන කිරි සෑහෙන්නේ පරිභෝජනයෙන් සියයට 42ක් සඳහා පමණයි.

දියර කිරි වෙළෙඳාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා, ආනයනික කිරිපිටි නැවුම් කිරි ලෙස නැවත සදස්කර වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන්නේදැයි සාධාරණ සැකයක් පවතින බවත් දේශීය කිරි නිෂ්පාදනයට සාපේක්ෂව මෙපමණ දියර කිරි වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාවක් පවතීදැයි විමසා බැලිය යුතු බවටත් අවධාරණය කළහ.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

-------------------------

දේශීය කිරිපිටි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව කතාබහ කරන විට හයිලන්ඩ් නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන ජනතා විශ්වාසය තහවුරු කරගත් වෙළෙඳ නාමයකි. රාජ්‍ය අංශයේ මැදිහත්වීම සහ සහයෝගය මත ක්‍රියාත්මක මිල්කෝ සමාගම වර්තමානය වන විට රටෙහි කිරිපිටි අවශ්‍යතාවයෙන් සියයට 20ක දායකත්වය දක්වමින් සිටී. පසිගිය දිනෙක මිල්කෝ කර්මාන්ත ශාලාවේ අපි සංචාරයක නිරත වූයේ නිෂ්පාදන ක්‍රියාවලිය සියැසින් දැකබලා ගැනීම සඳහායි. කිරිපිටි බටර් ගී ඇතුළු නිෂ්පාදන සිදුකරන අඹේවෙල හයිලන්ඩ් කර්මාන්තශාලාවෙහි කලමනාකාර ඩී.එම්.එම්. දිසානායක මහතා අදහස් දක්වමින්,

“අඹේවෙල මිල්කෝ කර්මාන්තශාලාව ආරම්භවන්නේ 1972 වර්ෂයේදී. අක්කර 13 ක ප්‍රමාණයක් පුරා පවතින මෙම භූමිය තුළ කර්මාන්ත ශාලා පරිශ්‍රය 100 ඉක්මවන කාර්යමණ්ඩලයක් සමග ක්‍රියාකාරීව කිරි නිෂ්පාදනය සමග සම්බන්ධ වී සිටිනවා. 1974 වර්ෂයේ දී මුලින්ම කර්මාන්ත ශාලාව ආරම්භ කරන විට දිනකට කිරි ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් කිරි පිටි බවට පත්කරන්නට අවකාෂය තිබුණා. එවකට ලැබුණු කිරි ප්‍රමාණය මත නිෂ්පාදන ධාරිතාවය ඒ මට්ටමේ තබා ගන්නට හැකි වුවත් 2005 වර්ෂය පමණ වන විට අපට කිරි ලැබෙන ප්‍රමාණය වැඩි වුණා. ඇතැම් අවස්ථාවල කිරි අපතේ හරින්නට පවා සිදු වූ නිසා ඉන්පසුව නවීන තාක්ෂණික පහසුකම් සහිතව කර්මාන්ත ශාලාව නවීකරණය කළ අතර එම ව්‍යාපෘතිය 2015 වර්ෂයේදී ආරම්භ කර 2017 වන විට සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි නිෂ්පාදන ආයතනයක් බවට පත් කරන්නට අපට හැකියාව ලැබුණා.

දැනට අඹේවෙල හයිලන්ඩ් කර්මාන්තශාලාව තුළ කිරිපිටි නිෂ්පාදනයට අමතරව බටර් නිෂ්පාදනය කරනවා. තුන්වන නිෂ්පාදනයක් ලෙස එළඟි තෙල් නිෂ්පාදනය කරන අතර ඉදිරියේදී නිෂ්පාදනය තවත් පුළුල් කරමින් u s t plant එකක් ලෙස සකස් කරන්නට අදහස් කරමින් සිටිනවා.

1974 වර්ෂයේ දී කිරි ලීටර් ලක්ෂයකින් ආරම්භ කළ හයිලන්ඩ් කර්මාන්තශාලාව වෙත මේ වන විට කිරි ලීටර් දෙලක්ෂ විසිපන් දහසකට අධික ප්‍රමාණයක් දිනකට ලැබෙමින් පවතිනවා. කාර්යමණ්ඩලය 235 ක පමණ ප්‍රමාණයක් වර්තමානයෙහි මෙහි සේවය කරන අතර කිරි මිලදී ගැනීමේ සිට එහි තත්ත්වය පරික්ෂා කරමින් කිරි පිටි සකස් කිරීම දක්වා ක්‍රියාවලිය මෙම කර්මාන්ත ශාලාව තුළ සිදුවෙනවා. අපි වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්නේ ග්‍රෑම් 400 හයිලන්ඩ් කිරි පැකට්ටුව. කිරි පිටි කිලෝවක් නිෂ්පාදනය කරන්නට කිරි ලීටර් 85ක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නිෂ්පාදන වියදම සමග සංසන්දනය කරන විට කිරිපිටි නිෂ්පාදනය ලාභදායී නැහැ. නවීකරණය කරන ලද නව කර්මාන්ත ශාලාව ඉතාම අධි සංවේදී නිසා හදිසි විදුලි විසන්දි වීමකදී එයට හානි සිදුවීමට ඉඩ තිබෙනවා. විදුලි විසන්දි වීමකින් තප්පර හතක් තුළ නැවත විදුලිය නොපැමිණියහොත් යන්ත්‍ර ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්කර ගැනීම ඉතා අසීරු කාර්යයක්. එම නිසා අප දැනට එම කොටස ක්‍රියාත්මක කරන්නේ ජෙනරේටර් මගින් එයට වැයවන අධික පිරිවැය තවදුරටත් පාඩුව වැඩි කරනවා. ජෙනරේටර් භාවිතයකින් තොරව සාමාන්‍ය විදුලියෙන් කර්මාන්ත ශාලාවෙහි අධි සංවේදී උපකරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ ඔස්සේ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීමට හැකි වුවහොත් එයින් වැඩි මුදල් ඉතිරියක් සිදු කරගැනීමට හැකියාව ලැබෙනවා.”

දේශීය කිරි පිටි කෙරෙහි ජනතාවගේ නැඹුරුව වැඩි වීමත් සමඟ හයිලන්ඞ් කිරිපිටි සඳහා වන ඉල්ලුම වැඩිවී තිබේ. කර්මාන්තශාලාව ආරම්භයේ දී කිරිපිටි නිශ්පාදනය එතරම් ඉහළ මට්ටමක නොතිබූ නිසා කිරිපිටි නිෂ්පාදනය සඳහා භාවිතා කරන අප ජලය බැහැර කිරීම ගැටලුවක්ව නොතිබුණත් මේ වන විට එවැනි ගැටලුවක් කර්මාන්තශාලාවට බලපා ඇති බව කළමනාකාරතුමා ගේ කතාවෙහි සඳහන් විය. හයිලන්ඩ් රජය අනුබද්ධ කර්මාන්තශාලාවක් බැවින් වර්තමානය වන විට හයිලන්ඩ් කිරිපිටි කෙරෙහි ජනතා ආකර්ෂණය වැඩි වී ඇති බැවින් එය සංවර්ධනය කිරීම රජය සතු යුතුකමකි.

තවදුරටත් අදහස් දැක්වූ කළමනාකාරතුමා,

“ඇතැම් ආයතන කිරිපිටි භාවිතා කර නැවත කිරි පැකට් මෙරට නිෂ්පාදනය කළත් අප එසේ සිදුකරන්නේ නැහැ. පාරිභෝගිකයන්ට ගුණාත්මක නිෂ්පාදන සැපයීම අපේ වගකීම. එමනිසා අපට ලැබෙන කිරි සඳහා හොඳ මිලක් ගෙවන අතර එම කිරිවල ප්‍රමිතිය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක්කරනවා. 2000 ඉක්මවූ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ලංකාව පුරා විහිදී අප වෙත තත්ත්වයෙන් උසස් නැවුම් කිරි සපයනවා. එසේම අ‍ප අපේ කිරි ගොවියන් දිරිමත් කිරීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

කිරි ගොවියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා සුවිශේෂී අවස්ථාවන් ආවරණය කරමින් (උපත/ විශේෂ විභාග/ රෝගී තත්ත්වයන්/ විවාහ මංගල්‍ය/ උසස් අධ්‍යාපනය ආදී) ඔවුන් වෙත රක්ෂණ ක්‍රමයක් මඟින් ප්‍රතිලාභ ලබා දෙනවා.”

කිරිපිටි සහ බටර් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් වීම දක්වා නැවුම් බව සුරකිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම හයිලන්ඩ් කර්මාන්තශාලාව තුළදී සිදුවේ. කිරි ගොවියාගේ සිට කර්මාන්ත ශාලාව දක්වා එනතුරු කිරිවල තත්ත්ව පාලනය සම්බන්ධ නිවැරදි දැනුවත් කිරීමකින් යුක්ත නිසා කිරිවල නැවුම් බව පිළිබඳ ‍ගැටලුවක් ඇති නොවේ.

හයිලන්ඩ් ජනතා විශ්වාසය දිනාගත් නාමයකි. එය රාජ්‍ය මැදිහත්වීමක් සහිත ආයතනයක් බැවින් එයින් නිසි ඵල නෙළාගැනීම කෙරෙහි රජයේ අවධානය තවදුරටත් යොමුවේ නම් කිරිපිටි නිෂ්පාදනයේ ඉහළ තැනකට ළඟාවීමට හයිලන්ඩ් සමාගමට හැකියාව ලැබෙනු ඇත.

දිල්රූ ජයසේකර

 

 

නව අදහස දක්වන්න