කවුරු කොහොම මැව්වද සල්ලි | දිනමිණ


 

කවුරු කොහොම මැව්වද සල්ලි

ලොව කවර රටක වෙසෙන ජනයාට වුව මුදල් නැතිවම බැරි ය. එහෙත්, මුදල් ගැන අප දන්නා දෙයට වඩා නොදන්නා දෙය වැඩි ය. මුදල් සම්බන්ධයෙන් එසේ වැඩිපුර කතාබහ නොකෙරෙන කාරණා කිහිපයකි මේ.

 

මුදල් භාවිතයේ ආරම්භය

අප අද භාවිතයට ගන්නා කාසිවල ඉතිහාසය ක්‍රි.පූ. යුගය දක්වා දිව යයි. මානව ශිෂ්ටාචාර කිහිපයකම ජීවත්වුණු ජනයා, ලෝහ කැබැලි හුවමාරු කර ගනිමින් ගනුදෙනු කළ බවට සාක්ෂි හමු වී තිබේ. එසේ වුවත්, මානව ඉතිහාසය තුළ පළමුවෙන්ම මුදල් නෝට්ටු හමු වන්නේ 7 වැනි සියවසේදී පමණ ය. මුදල් නෝට්ටු පළමුවෙන්ම නිර්මාණය කිරීමට දායක වී තිබෙන්නේ චීනුන් ය. එකල චීනය පාලනය කළේ ටැන්ග් රාජ වංශයයි. මේ අවධිය වනවිටත් කඩදාසි සොයාගෙන තිබුණේ නැත. කඩදාසි පළමුවෙන්ම සොයා ගන්නේ ද චීනුන් ය. එය 11 වැනි සියවසේදී පමණ සිදුවී යයි සඳහන් වේ. මේ නිසා, පළමු මුදල් නෝට්ටු සැබෑ කඩදාසිවලින් නිර්මාණය කෙරුණේ යැයි කියා කිසි විටෙකත් විශ්වාස නොකෙරේ. මේ ආකාරයේ නෝට්ටු නිෂ්පාදනය කර ගැනීමට පළමුව, ගනුදෙනු සඳහා චීනය කාසි ව්‍යවහාරයට ගෙන තිබී ඇත. ටැන්ග් රාජ වංශිකයන්ගේ සමයේදී ව්‍යාපාරික කටයුතු බෙහෙවින් දියුණු වී තිබුණු බවට ද සාක්ෂි තිබේ. මහා පරිමාණ ගනුදෙනු සඳහා තඹ කාසි තොග වශයෙන් යොදා ගැනීමට ව්‍යාපාරිකයන් අකමැති වීමත් සමඟම, මුදල් නෝට්ටු ප්‍රභවය වන්නට ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

පැරැණිත ම මුදල් ඒකකය

දැනට ව්‍යවහාරයේ ඇති මුදල් ඒකක අතරින් පැරැණිතම මුදල් ඒකකය ලෙස සැලකෙන්නේ, බ්‍රිතාන්‍යයේ පාවිච්චි වන ස්ටර්ලිං පවුම් ය. වසර 1200කට අධික කාලයක් මුළුල්ලේ ස්ටර්ලිං පවුම් භාවිතයට ගැනිණ. පවුම් ප්‍රභවය වූ කාලය, ඇන්ග්ලෝ සැක්සන් යුගය හැටියට දක්වන්නට පුළුවන. පළමුව පවුම් නිෂ්පාදනය කෙරී තිබෙන්නේ රිදියෙනි. එසේ ප්‍රභවය වූ පවුම්, 1527 වසර දක්වා නොවෙනස්ව පාවිච්චි වූ බව ඉතිහාසයේ දැක් වේ.

අමෙරිකාවේ ඩොලර් භාවිතය

අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් කාසි භාවිතයට ගන්නට පටන් ගන්නේ 1792 වසරේදී පමණ ය. ඩොලර් කාසි ප්‍රමාණයෙන් සහ සංයුතියෙන්, එකල භාවිතයට ගැනුණු ස්පාඤ්ඤ ඩොලර්වලට සමාන වූ බව සඳහන් වේ. එම පළමු ඩොලර් කාසි හඳුන්වා දීමට මුල් වුණේ අමෙරිකා එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයයි. එසේ වුවත්, එක්සත් ජනපදය, මුදල් නෝට්ටු පළමුවෙන්ම භාවිතයට ගන්නේ 1690දී පමණ ය. කැනඩාවට එරෙහි මිලිටරි ගනුදෙනුවක් වෙනුවෙන් එම මුදල් නෝට්ටු නිකුත් කෙරුණු බව සඳහන් වේ.

කවර රටක භාවිත වන මුදල් වුව සකසා ගැනීම ඉතා අසීරු බව සඳහන් වේ. කාසි නිෂ්පාදනය සඳහා වැඩිපුර ඉවහල් වන්නේ ලෝහ කර්මාන්තයේ ඇති තාක්ෂණය ය. ඒ සඳහා ශිල්පීය නිපුණත්වයක් ඇති අයවලුන් අවශ්‍යය වේ. මුදල් නෝට්ටු නිෂ්පාදනය සඳහා විවිධ ද්‍රව්‍යය භාවිතයට ගැනේ. තන්තු වර්ග, කඩදාසි පල්ප, ඒ අතර ප්‍රධාන ය. ඒවා කවර ආකාරයේ රසායනික සංයුතියක් සහිත පල්ප වර්ග සහ තන්තු වර්ග ද යන්නත්, කවර අනුපාත යටතේ එම පල්ප සහ තන්තු මිශ්‍ර කරන්නේ ද යන්නත් රහසිගත ය. නෝට්ටු මුද්‍රණය කිරීමේ කාර්යය ද අදියර කිහිපයක් යටතේ සිදු කෙරේ. මේ කටයුතු යන්ත්‍ර ආශ්‍රයෙන් කෙරුණ ද, අවසානයේදී ඉතා සියුම් අධික්ෂණයන්ට ලක් කෙරෙන බව දැක් වේ. ඒ අනුව බලනවිට මුදල් නිෂ්පාදන කාර්යය, ශ්‍රමිකයන් බොහෝ පිරිසකගේ ශ්‍රමය විශාල වශයෙන් භාවිතයට ගැනෙන කටයුත්තක් හැටියට හඳුන්වන්නට පුළුවන.

මුදල් මුද්‍රණය රහසක්!

අමෙරිකා එක්සත් ජනපදයේ භාවිතයට ගැනෙන ඩොලර් නෝට්ටු සැකසීමට, ද්‍රව්‍යය කිහිපයක් යොදා ගැනේ. කපු සහ පොලියෙස්ටර් තන්තු එහිදී බහුලව යොදා ගන්නා බව සඳහන් වේ. සාමාන්‍ය කඩදාසි සකස් කර ගන්නා පල්පයක් ද එකී තන්තු සමඟ මිශ්‍ර කෙරේ. කඩදාසි සකසන්නට ගන්නා පල්පයට යොදා ගන්නේ ශාකමය ද්‍රව්‍යය බව ප්‍රකට ය. ශාකමය ද්‍රව්‍ය සහිත පල්පයට කපු සහ පොලියෙස්ටර් තන්තු යොදා සකසා ගන්නා මෙවැනි මිශ්‍රණයකින් ඩොලර් නෝට්ටු නිෂ්පාදනය කර ගන්නේ, ඒවා දීර්ඝ කාලයක් භාවිතයට ගැනීමේ අරමුණ ඇතිව ය. මිශ්‍රණයේ සංයුතිය රහසිගතව තබාගෙන තිබෙන්නේ, ව්‍යාජ ඩොලර් නෝට්ටු සකසන ජාවාරම්කරුවන් අතට එය පත්වේ ය යන විශ්වාසය ඇතිව ය.

ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය මුදල් මුද්‍රණය කර ගැනීම සඳහා දිනකට තීන්ත ටොන් 9.7කට ආසන්න ප්‍රමාණයක් භාවිත වන බව සඳහන් වේ. එහි මුදල් මුද්‍රණය සිදු කෙරෙන්නේ ස්ථාන දෙකක ය. ඉන් එකක්, ටෙක්සාස්හි පිහිටා ඇත. අනෙක් ස්ථානය තිබෙන්නේ වොෂින්ටන්හි ය. එතරම් තීන්ත කන්දරාවක් දිනපතා භාවිතයට ගනිමින් මුදල් මුද්‍රණය කළ ද දිනකට ඩොලර් 2ක් තරම් සොච්චම් මුදලකින් යැපෙන මිලියන ගණනක් ජනයා ඇමෙරිකාවේ සිටින බව සමහරවිට ඔබ නොදන්නවා ඇත.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සහ භාවිතයට ගැනීම, මුදල් සම්බන්ධයෙන් පවත්නා ඉතාමත් අයහපත් තත්ත්වයකි. ව්‍යාජ මුදල් නෝට්ටු ලොව වැඩි වශයෙන්ම මුද්‍රණය කෙරෙන්නේ, උතුරු කොරියාවේ බව අනාවරණය වී ඇත. අමෙරිකා ඩොලර් 50 සහ 100 නෝට්ටු ඒ අන්දමට වැඩිපුරම මුද්‍රණය කෙරේ. ඒවා "සුපර් ඩොලර්" යන අන්වර්ථ නාමයෙන් ද හැඳින් වේ. මෙවැනි ව්‍යාජ ඩොලර් නෝට්ටු හඳුනා ගත හැකි වන්නේ, අමෙරිකාවේ ඇති විශේෂ යන්ත්‍ර ආධාර කරගෙන පමණි. 2009 සිට මේ දක්වා සොයාගෙන ඇති ව්‍යාජ නෝට්ටුවල වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 45කට වඩා වැඩි බව සඳහන් වේ.

මුදල්, මිනිසාට මරු කැඳවයි!

මුදල් නෝට්ටුවල සහ කාසිවල විෂබීජ බොහෝ සේ රැඳී ඇති බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. මුදල් ස්පර්ශ කිරීම නිසා මිනිසා රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට පමණක් නොව, මරණයට පත් වීමටත් ඉඩ ඇතැයි සමහර පර්යේෂකයෝ පවසති. එවැන්නක් සිදු වන්නේ, ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධී විෂබීජ මුදල් මත තැන්පත්ව තිබීම නිසා ය. ලේ අතීසාරය, වකුගඩු අකර්මන්‍යතාව වැනි බරපතළ රෝග තත්ත්ව ඇති කර, මිනිසා මරුමුවට පත් කිරීමට සමත් එස්කරයිෂියා කෝලයි බැක්ටීරියා විශේෂ මුදල් මත තිබී සොයාගෙන ඇත. මිනිස් මුත්‍රා මාර්ගය සහ ශ්වසන මාර්ගය ආසාදනය කිරීමට සමත් සියුඩොනොම්නාස් බැක්ටීරියාවක් මුදල් මත තිබී සොයා ගන්නට තවත් අවස්ථාවලදී හැකිව ඇත. ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කොකේන්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය අංශූන් සහ නොයෙකුත් දිලීර වර්ග පවා මුදල් මත තිබී ඇති බවකි.

ඔන්ලයින් වැඩ නිසා මුදල් සංසරණය අවුට්!

ලෝ පුරා බොහෝ දෙනෙක් අන්තර්ජාලයෙන් සහ ක්‍රෙඩිට් කාඩ් පත් හරහා ගනුදෙනු කිරීමට නැඹුරුව සිටිති. මේ නිසා, මිනිසුන් අතර භෞතික වශයෙන් සංසරණය වන මුදල් ප්‍රමාණය අන් කවදාටත් වඩා අඩු වී තිබේ. වාර්තාවල දැක්වෙන අන්දමට, ලොව සංසරණය වන සියලු ම මුදල්වලින් 8%ක පමණ ප්‍රමාණයක් භෞතික වශයෙන් සංසරණය වේ. ඉතිරි 92%ම ඇත්තේ ඩිජිටල් මාදිලියෙනි.

අධික වටිනාකමක් ඇති මුදල් ඒකකය හැටියට අද සැලකෙන්නේ කුවේට් ඩිනාර් ය. කුවේට් ඩිනාර් එකක වටිනාකම අමෙරිකා ඩොලර් 3.31කට පමණ සමාන වේ. මී ළඟට ඉහළ වටිනාකමක් ඇත්තේ, බහරේන් ඩිනාර්වලට බව දැක් වේ. බහරේන් ඩිනාර් එකක වටිනාකම, අමෙරිකා ඩොලර් 2.65කට ආසන්න අගයකට සමාන ය.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
මංජුලා විජ­ය­රත්න

නව අදහස දක්වන්න