මම ආණ්ඩු පිහිටුවන්න වැඩ කළේ නෑ | දිනමිණ

මම ආණ්ඩු පිහිටුවන්න වැඩ කළේ නෑ

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

රටේ පවත්නා දේශපාලන වාතාවරණය, වත්මන් සමාජය මුහුණ දී ඇති අර්බුද, රටේ සමාජ, ආර්ථික, අධ්‍යාපන ක්ෂේත්‍රවල තත්ත්වය ඈ නෙක් කරුණු පිළිබඳ,සාකච්ඡා කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අද එහා ඉවුරට එක්වේ.

* 2015දී මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, වියතුන් එකතුවෙලා යහපාලනය කියලා ආණ්ඩුවක් පිහිටෙව්වා. ඒ ආණ්ඩුව පිහිටුවලා කිව්වා මේ රටේ සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනෑ කියලා. ඒ කාරණය ඉටුවෙලා තියෙනවා ද?

මට පළමුවෙන්ම කියන්න තියෙන්නේ, මම ආණ්ඩුවක් පිහිටවන්න වැඩ කළේ නැහැ. මම වැඩ කළේ තිබුණ ආණ්ඩුව, එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න. සාමාන්‍යයෙන් ඊළඟට එන ආණ්ඩුවකින් මම බලාපොරොත්තු වන ආකාරයේ දේ වෙයි කියන එක ගැන, මට කොහොමත් විශ්වාසයක් තිබුණෙත් නැහැ. මෙහෙම කියනකොට කෙනෙක් අහන්න පුළුවන්, ඇයි එහෙම නම් තියෙන ආණ්ඩුව පෙරළන්නෙ කියලා. ඒකට උත්තරේ තමයි තිබෙන දේශපාලන යථාර්ථය ඇතුළේ ඒක කරන්න ඕනෑ කියන එක. එදා මගෙ අදහස වුණේ, රාජපක්ෂ පාලනයේ නරක දේ වෙනස් වෙන තත්ත්වයක් නොතිබූ නිසාත්, ඊට විරුද්ධව විශාල පෙළ ගැසීමක් තිබුණ නිසාත්, ඇතිවන ආණ්ඩුව කුමක් කළත්, තිබුණ ආණ්ඩුව වෙනස් වීම ම ප්‍රයෝජනවත් කියන එකයි. ඒක තමයි මම කළේ සහ මේ වෙනසට සම්බන්ධ බොහෝ දෙනෙක් කළේ. ‘යහපාලන ආණ්ඩුව’ කියන එක මම කවදාවත් භාවිත කරන්නෙ නැහැ. ඒක තේරුමක් නැති වචනයක්.

* එදා සාධාරණ සමාජයක් වූ ජාතික ව්‍යාපාරයේ හඬට, මේ රටේ ජනතාව අවනත වුණා. ඔබතුමාත් එතැන නියෝජනය කළා නේද?

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ නරක දේ ගැන විවේචනාත්මක කතාවක් ගොඩනැඟුණා. ඒ වගේම එතැන අපේ දේශපාලන ක්‍රමයේ පදනම් විය යුතු යම් යම් මූලධර්ම ගැන ප්‍රකාශන ගණනාවක් තිබුණා. මගේ දායකත්වය සපයපු ලියැවිල්ල තමයි ප්‍රධාන වශයෙන් සාධාරණ සමාජයක් වූ ජාතික ව්‍යාපාරයේ දස වැදෑරුම් වැඩපිළිවෙළ කියන එක. පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක අවබෝධතා ගිවිසුමක් තිබුණා. ඒවා සකස් කරන්න මගේ දායකත්වය දුන්නා. ඒ ලියැවිලි දිහා බැලුවොත්, ඒවායේ මූලධර්ම කිහිපයක් තියෙනවා.

ඉන් එකක් තමයි ප්‍රජාතන්ත්‍රීකරණය. ඊ ළඟ කාරණය සමාජ සාධාරණත්වය. තුන් වැනි කාරණය, ජන වර්ග අතර සහජීවනය, සංහිඳියාව. මේ කාරණා තුන රාජපක්ෂ පාලනය තුළ නිශේධාත්මකව තිබුණා. ඊට පස්සෙ ගොඩනැඟුණු ආණ්ඩුවෙන් මේ කාරණා සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රගතියක් නෑ කියලා පේන්න ගත්තා. 2015 ජනවාරි 8 වැනිදායින් පස්සේ වුණේ, විශාල දේශපාලන අස්ථාවර භාවයක්. ඊට එක හේතුවක් තමයි ජනාධිපති සහ අගමැති අතර දේශපාලන වශයෙන් ඇති වූ විරසක ය.

ආණ්ඩුව ඇතුළේ මූලික බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වුණා. දකුණේ සමාජය තුළ බැලුවොත්, රාජ්‍ය බලයේ සිටින පිරිස්වලට තියෙන සහයෝගය, ඛාදනය වෙලා. ඒක පැහැදිලිව පේන්න ගත්තෙ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදීයි. මෙහෙම තිබියදී දෙමළ සහ මුස්ලිම් දේශපාලනය, ප්‍රධාන ධාරාවෙන් ඉවත් වෙමින් යනවා. මේ කියන දේශපාලන අස්ථාවරභාවය නිසා ම, සමාජයේ දේශපාලන විවෘතභාවයකුත් ඇති වෙලා තියෙනවා. ඒක සාධනීය විවෘතභාවයක් නෙමෙයි.

* එදා මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අරමුණ වුණේ, විධායකය අහෝසි කරන එක. අද මහාචාර්ය සරත් විජේසූරිය කියනවා බිහි කළ ආණ්ඩුව ගැන කම්පා වෙනවා කියලා. සමස්ත සමාජයම උගතුන්, බුද්ධිමතුන්ගේ ප්‍රකාශන දිහා විමසිල්ලෙන් ඉන්නවා. ඒ ගැන මොනව ද කියන්නේ?

සරත් විජේසූරිය මහත්තයා වගේ අය ජනවාරි 8 වැනිදායින් පස්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගයයි, මම අනුගමනය කළ ක්‍රියාමාර්ගයයි අතර වෙනසක් තියෙනවා. එතුමාට තියෙන ප්‍රශ්න මට නැහැ. එතුමා බිහිවුණ ආණ්ඩුවේ අය එක්ක කිට්ටුවෙන් වැඩ කරලා, යම් යම් දේ වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්න ඇති. ඒත් මට එහෙම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. සරත් විජේසූරිය මහත්තයා මේ වෙන දේ ගැන පුදුම වෙනවා වගේ පේනවා. මට එහෙම පුදුමයක් වෙන්න දෙයක් නැහැ.

* ඒ කියන්නෙ, මේ රටේ දේශපාලනය කුමන ආකාරයට වෙනස් වුණත්, වෙන්නේ අද සිදුවෙලා තියෙන තත්ත්වය කියන එක ඔබතුමා දැනගෙන හිටිය ද?

නැහැ, දේශපාලනයේ විවිධ තල තිබෙනවා. සමහර දේ ඉහළ මට්ටමින් වෙනස් කරන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වය ඉහළ මට්ටමින් වෙනස් කරන්න බැහැ. අපේ සමාජය, දේශපාලනයට බොහෝ සේ සම්බන්ධයි. අද පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජනයා පත් කරපු අය. ඒ 225 දෙනා මහජනයා අනවබෝධයෙන් පත් කරපු අය නෙවෙයි. ජනතාව හොඳින්ම ඒ අය ගැන දන්නවා.

මගෙ අදහස, සිවිල් සමාජය කියලා ඉන්න අය එක්ක වැඩ කළාට, ඒ අයට ශ්‍රී ලංකාවේ දේශපාලනයට බොහෝ දේ කරන්න බැහැ. සමහර අය සිවිල් සමාජය කියලා පාලකයන්ගේ තනතුරු ගන්නවා. ඒවා විහිළු වැඩ. ඒ නිසා, ඊනියා සිවිල් සමාජ සංස්ථාපිතයට මම නැහැ. ඒ අයට තියෙන්නේ ඊ ළඟ ඡන්දයේදී ඒ අයට කිට්ටුවෙන් ඉන්න කෙනකුට සහයෝගය දෙන එකයි. අද ශ්‍රී ලංකාවේ ජනතාව ඡන්දය භාවිත කරන ආකාරය පැහැදිලිව සලකුණු වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනය කතා කරන අය, පසුගිය කාලයේ දේශපාලනයේ ගැඹුරු මට්ටම් ගැන අධ්‍යයනය කරලා නැහැ. සිවිල් සමාජය කියන අය වුණත්, අපේ දේශපාලන දේහයේ ඇති වෙලා තියෙන වෙනස්කම් ගැන අවබෝධයෙන් කතා කරන්නෙ නැහැ. ජනවාරි 8 කරපු දේ, අද කරන්න බැහැ.

* ඔබ ආචාර්ය සංගමයේ හිටපු සභාපතිවරයා. ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යය වෙනුවෙන් සංගමයේ දායකත්වය සුළු පටු නැහැ. වත්මනේ ඒ කාර්යය කෙරෙනවද?

ආචාර්ය සංගමයේ ක්‍රියාකාරිත්වයේ මම නැහැ. ආචාර්ය සංගමය වගේ ඒවා වෘත්තීය සමිති. සමහර වෘත්තිය සමිතිවලට නිශ්චිත දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. සමහර ඒවාට නොවෙනස් වන නායකත්වයක් තියෙනවා. GMOA එක ගත්තොත් එකම පිරිසක් බලයේ ඉන්නවා. ඒ අයට කැමැති දේශපාලනයක් තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වෙනස්. මම සභාපති වෙලා කාලය අවසන් වුණාට පස්සෙ, කිහිප දෙනෙක් සභාපතිවරු වුණා.

අනෙක් ඒවා වගේ අපේ සභාපති ධුරයට තරගයක් නැහැ. මම පත් වුණෙත් නිතරගයෙන්. ඒ නිසා, මේ කාරණය කවුරුත් තේරුම් ගන්න ඕනෑ. මේ වගේ එකකින් ලොකු දේශපාලන මැදිහත් වීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. පසුගිය කාලයේ මම සභාපති ධුරයේ ඉන්න කාලයේ වෘත්තීය සමිති ක්‍රියාවලියක් අවුරුදු දෙකක් පුරා තිබුණා. මම එතැනින් අයින් වුණාට පස්සෙ කරපු වැඩක් මේ ගිණුමට බැර වුණා. ආණ්ඩු වෙනස් කරන්න පවා මම කරපු මැදිහත්වීම් මේ විශ්වවිද්‍යාල සමිති සම්මේලනයට දැම්මා. ඒක සම්පූර්ණයෙන් වැරැදි අවබෝධයක්. 2015 වෙනකොට ඒ සියලු තනතුරුවලින් මම අයින් වෙලා හිටියේ. දැනට ඒ සම්මේලනය, ඒ අයගෙ වැඩ කරගෙන යනවා. ඒ ගැන ගැටලුවක් නැහැ.

* වත්මන් ආණ්ඩු 18 වැනි ව්‍යවස්ථාව අහෝසි කරලා, කොමිෂන් සභා ස්ථාපිත කරලා, ජනතා හිතෛෂී පාලනයකට ගියා. ඒත් මේ රටේ වියතුන්, බුද්ධිමතුන් නිහඬයි කියලා බොහෝ දෙනෙක් කියනවා?

ඔබ කියන ජනතා හිතවාදී පාලනය කියන එකට මම එකඟ නැහැ. ඒක මගේ දේශපාලන ශබ්දකෝෂයේ නැහැ. මම බලන්නේ යම් ආණ්ඩුවක් බලයට පත්වුණාම, ඔවුන්ගේ සම්මුතිය සම්බන්ධයෙන් විමසා බලනවාද? කියන කාරණ ගැනයි.

වත්මන් ජනපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුව පිහිටුවලා ක්‍රියාත්මක කළේ, ඒ අයගේ කලින් තිබුණ න්‍යාය පත්‍රයක්. ඒ අයගේ ළඟින් ඉන්න කිහිප දෙනකුගේ ක්‍රියාවලියක් තමයි ආරම්භ කළේ. ඒක ජනතා හිතෛෂී නැහැ. දැන් තියෙන්නේ මුල් බැහැගත් අර්බුදයක්. මේ දේ වෙනස් කිරීමක් කරන්න ඕනෑ නමුත්, බුද්ධිමතුන්ගේ මැදිහත් වීමක් නැහැ කියන එක හැමදාම කියන කතා. බුද්ධිමතුන් කියලා වෙනම පිරිසක් නැහැ. දේශපාලනය ගැන මැදිහත් වෙන අය කතා කරනවා. අද වෙනකොට මේ කාරණය කතා නොකරන්නේ කවුද? ඒ නිසා, අද කොයි බුද්ධිමතාද නිහඬව ඉන්නෙ? මම අහන්නෙ නිහඬයි කියන්නෙ මොකක් ද? ඒවා තමයි අපට අහන්න තියෙන්නේ.

* කොහොම නමුත් සමාජ, ආර්ථික, අධ්‍යාපන යන ක්ෂේත්‍රවල බිඳ වැටීම්වලට වගකිව යුත්තේ, දේශපාලන අධිකාරිය විතර ද?

මම හිතන්නේ බලය දරන අයට තමයි මේකෙ මූලික වගකීම තියෙන්නේ. වාහනයක් අනතුරකට ලක් වෙනවා නම්, ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒත්, වැඩි වගකීමක් එන්නේ රියැදුරාට.

* ඒ කියන්නේ මේ රටේ රාජ්‍ය පාලකයෝ මේ සිදුවීම්වලට වග කියන්න ඕනෑ?

ඔව්. මේ ඇති වෙලා තියෙන එක ප්‍රශ්නයක්වත් 2015 ආණ්ඩුව පිහිටුවනකොට අවබෝධ කර ගන්න නොහැකි වූ ඒවා නෙමෙයි. මේ ප්‍රශ්න සාකච්ඡා වෙමින් තිබුණා. බොහෝ වෙලාවට මේ අය කළේ බොරදියේ මාළු බෑමක්. තවමත් ඒ ප්‍රශ්න ඇතුළෙන් තමන්ට වාසිදායක දේ තමයි කරන්නේ. දැන් වෙන්නේ අර්බුදයක් තියෙනවා කියලා ඒ අර්බුදයෙන් ප්‍රයෝජන ගැනීමක්.

* දැන් මතුවෙලා තියෙන ආගමික අන්තවාදී උමතුව සහ වසර 30ක යුද්ධයත් ඔබ කියන ආකාරයේ කාරණයක් ද?

ආගමික අන්තවාදය අද ඊයෙ ආපු එකක් නෙමෙයි. මේ ආණ්ඩුව බිහි වෙන්නත් ඒවා බලපෑවා. මේ ප්‍රශ්න කවුරුත් ගණන් ගත්තේ නැහැ. බලයෙ ඉන්නෙ අයට ඒවා ගැන උනන්දුවක් තිබුණේ නැහැ සහ තවමත් උනන්දුවක් නැහැ. ඒ අය ඉන්නෙ වෙනම න්‍යාය පත්‍රයක.

* ඒ කියන්නේ, 30 වසරක යුද්ධයේ උගත් පාඩම් මඟහැර යාමක් ද පාලකයන්ගෙන් දකින්න තියෙන්නේ?

එහෙම පාඩම් කවුරුත් ඉගෙන ගන්නෙ නැහැ. අවශ්‍ය වෙන්නේ, මේවා ප්‍රසිද්ධියේ කතා කිරීමයි. ඒවා ලෙහෙසි නැහැ. දේශපාලනය කියන්නේ ලෙහෙසි කාරණයක් නෙවෙයි. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය. අද ජනාධිපති අපේක්ෂකත්වය සඳහා බොහෝ පිරිසක් ඉන්නවා. විවිධ අදහස් තියෙනවා. ඒ නිසා, මේවා සුදු කලු විදිහට සාකච්ඡා කරලා බැහැ. මේ ප්‍රශ්න සංකීර්ණයි. ඔබ කලින් ඇහුවා විධායක ජනාධිපති ධුරය ගැන. කවුරුත් ඒක අහෝසි කරයි කියලා මම නම් හිතන්නේ නැහැ. යම් යම් කාලවල එක එක ප්‍රශ්න දිහාවට තල්ලු වෙනවා. යම් කාලයක ත්‍රස්තවාදය දිහාට තල්ලු වෙනවා. මේවා ඒ වෙලාවට පිට දාන ප්‍රශ්න විතරයි. අපි බලන්න ඕනෑ සමාජ දේහයේ තියෙන ප්‍රශ්නය දිහායි.

* නිදහසෙන් පස්සේ අපේ රටට අත් වූ දේත්, අපට පිටුපසින් තිබූ රටවල් අප අභිබවා යාමත් ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ඒවා ඔය කියන තරම් සරල නැහැ. දැන් තියෙන ආර්ථිකය, ලෝක ආර්ථිකයක්. ඒ තුළ සාපේක්ෂ වාසි සහ අවාසි තියෙනවා. අපි කියනවා සිංගප්පූරුව මෙහෙමයි කියලා. සිංගප්පූරුව, ශ්‍රී ලංකාව එක්ක සංසන්දනය කරන්න බැහැ. ඒක කුඩා නගරයක්. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. ඒ කතා හොඳයි සාමාන්‍ය දේශපාලන වේදිකාවල කතා කරන්න.

* ආගමික වශයෙන් හා ජාතීන් වශයෙන් බෙදිලා අධ්‍යාපනය ලබාදීම ගැන, ඔබේ අදහස කුමක් ද?

ඒක පොඩි ප්‍රශ්නයක්. ඒත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අද වෙනකොට බරපතළ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම කතා කළොත්, අද රටේ අධ්‍යාපනයක් නැහැ. දැන් තියෙන්නේ විභාග කිහිපයක් විතරයි. අපි, ඔය විභාගවලින් වැඩි ම ලකුණු ගන්න, ළමයි පුහුණු කරනවා. ඒක ආණ්ඩුවේ පාසල්වලටත් වඩා කරන්නේ ටියුෂන් පන්තිවලින්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයක් නැති වුණත්, ඕනෑ තරම් මුදල් වියදම් කරනවා. මේ ප්‍රශ්නය මම ජාතික අධ්‍යාපනය ඇතුළේ කතා කළ නිසා ම, එළියට එන්න වුණා. මම දන්න විධිහට දැන් තියෙන්නේ අධ්‍යාපනයක් නෙමෙයි. ටියුෂන් පන්තියේ කරන්නේ කට පාඩම් කරවන එක. අධ්‍යාපනය ගැන ඔවුන්ට සත පහක අවබෝධයක් නැහැ. ගුරුවරුත් එහෙමයි. ගුරුවරුන්ට හිඟන වැටුපක් දෙන්නේ. අධ්‍යාපනය කියලා කියන්නේ, සම්පුර්ණයෙන් මේ රටේ තුළ අත්හැරලා දාපු දෙයක්.

දුමින්ද අලුත්ගෙදර

ඡායාරූප-විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න