බොර දියේ මාළු බාන ව්‍යාපාරික ප්‍රජාව | දිනමිණ


 

බොර දියේ මාළු බාන ව්‍යාපාරික ප්‍රජාව

මහාචාර්ය වසන්ත අතුකෝරාළ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන දෙපාර්තමේන්තුව

පාස්කු ප්‍රහාරයත් සමඟ මෙරට ජාතීන් හා ආගම් අතර පැවැති සම්බන්ධතාව කිසියම් වූ ආකාරයකින් පළුදු විය. ආගමික නායකයන් පවා අන්තවාදී ප්‍රකාශ කරමින් අප්‍රේල් 21 දිනෙන් පසු ගෙවුණු දෙමසක කාලයේදී මෙම බෙදීම තවත් තිව්‍ර කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි. වඳ සැත්කම් කළ බවට මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට මාධ්‍යය මගින් චෝදනා එල්ල කරමින් මුස්ලිම් විරෝධයක් රටේ නිර්මාණය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන්, සුළු පිරිසක් වූ අන්තවාදී ඉස්ලාම් ආගමිකයන්ගේ ගොඩට දමා මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව දෙසද වපර ඇසින් බලන්නට ඇතැම් සිංහල බෞද්ධයෝ පියවර ගත්හ. මේ ඔස්සේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම ඇතුළු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විවිධ විරෝධතා සිංහල සමජය තුළ මතු විය.

මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වර්ජනය කළ යුතුය යන ස්ථාවරයක් දක්වා මෙය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට ඇතැම් සිංහල ව්‍යාපාරිකයන්ට පවා තමන්ගේ ජාතිය කියා පාමින් වෙළෙඳ දැන්වීම් පළ කරන්නට සිදුව තිබේ. මුස්ලිම් ව්‍යාපාරිකයින්ට අයත් ව්‍යාපාර ආයතනවල සේවය සිංහල පිරිස් ලවා එම ආයතන මගින් සිදුවන සේවාව සම්බන්ධව පැහැදිලි කිරීම් කරමින් රූපවාහිනි හා පුවත්පත් දැන්වීම් දමන්නට ඒවාහි හිමිකරුවන්ට ලක්ෂ ගණනින් මුදල් යට කරන්නට සිදුව ඇත. ව්‍යාපාරික ආයතනයකින් නිෂ්පාදනය කරන හෝ ගෙන්වා බෙදා හරිනු ලබන භාණ්ඩ ප්‍රවර්ධනය කරනු වෙනුවට එහි හිමිකාරත්වයේ හෝ සේවකයින්ගේ ජාතිකත්වය කියා පාමින් දැන්වීම් පළ කරන්නට සිදුවන තත්ත්වයක් කරා රට තල්ලු වීම සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවන්නේය. මෙය ඇත්තෙන්ම ජාතිකත්වය සම්බන්ධව නොව මෙරට ආර්ථිකය කෙරහි බලපාන්නා වූ ප්‍රශ්නයක් බව ප්‍රශ්න ඇති කරන්නෝ මෙන්ම ඒවාට විසඳුම් දීමට සිටින පාලකයෝද තේරුම් ගැනීම වැදගත්ය.

යථාර්ථයට පිටුපෑම

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට මෙරට ආර්ථිකය පැවැති තත්ත්වය මුලින් තේරුම් ගැනීම ඉතා වැදගත්ය. වසර 2018 අවසන් භාගය වන විට මෙරට ආර්ථිකය පැවැතියේ දැඩි පසුබෑමකට ලක්වය. මෙයට විවිධ සාධක බලපෑවේය. දළ දේශීය ආර්ථික වර්ධනය පැවැතියේ 3.1% ක අගයකය. සමස්ත ආයෝජනය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 31% කි.

දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ඉතුරුම් අගය 24% ක් වනවිට ණය ප්‍රමාණය 80% ක් විය. සමස්ත ආර්ථික විචල්‍යයන් සැලකීමේදී කිසියම් වූ අවිනිශ්චිත තත්ත්වයක් එහි දක්නට ලැබිණි. මෙයට දේශපාලන ක්ෂේත්‍රයේ පැවැති අස්ථාවරත්වය ඍජුව බලපෑවේය. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවත්නා ගැටුම, පක්ෂ අභ්‍යන්තර ගැටුම් මෙන්ම පක්ෂ අතර පවත්නා ගැටුම් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවීමට ප්‍රධාන හේතුව විය. දේශපාලන ස්ථාවරත්වයක් නොමැති තැන ආර්ථික ස්ථාවරත්වයක් අපේක්ෂා කළ නොහැකිය. මෙම පසුබිම තුළ ඉදිරියට යාගත නොහැකිව සමස්ත ආර්ථිකය කඩා වැටීමකට ලක්විය. අවාසනාවන්ත තත්ත්වය වූයේ ප්‍රධාන පක්ෂවල නායකයන් මෙම යථාර්ථය තේරුම් නොගෙන ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළක නිරන්තරව ගැලී සිටීමය.

ව්‍යාපාරික ඥානය

මෙරට ජනගහණය සැලකීමේදී සිංහල 74.9% ක් ද, දෙමළ 15.4% ක් ද, මුස්ලිම් 9.2% ක්ද වෙයි. සමස්ත ජනගහණය සලකා ඉන් ප්‍රතිශතයක් ලෙස ගත් කල මුස්ලිම් ජනතාව ඉන්නේ සිංහල හා දෙමළ ජනතාවට වඩා අඩු අගයකි. එසේ වුවත් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ මුස්ලිම් ජනතා නියෝජනය එයට වඩා ඉතා ඉහළ අගයක් ගනී. මේ නිසා සිංහල ජනතාව විසින් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වර්ජනය කිරීම කියන කාරණය මෙරට ආර­්ථිකයට සැලකිය යුතු ආකාරයට දැනෙන අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන්නේය. ආර්ථිකයේ අස්ථාවරත්වයක් පවතින ඕනෑම අවස්ථාවක සමාජ අස්ථාවරත්වක් ඇති වීම වැලැක්විය නොහැකිය. මෙයින් පෙනී යන්නේ දේශපාලන අස්ථාවරත්වය ආර්ථික අස්ථාවරත්වයක් ඇති වීමටත් ආර්ථික අස්ථාවරත්වය සමාජ අස්ථාවරත්වයක් ඇති වීමටත් හේතු වන බවයි. පසුගිය වසරේ පැවැති දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය දැන් සමාජ අස්ථාවරත්වයක් සඳහා බලපා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙය ව්‍යාපාරික අංශයේ කඩා වැටීමට ප්‍රබලව බලපා තිබේ.

ව්‍යාපාරික ක්ෂේත්‍රය ගත් විට එහිදී මූලික වශයෙන් සිදු වන්නේ නිෂ්පාදනය හෝ ආනයනය, බෙදා හැරීම හා අලෙවියයි. නිෂ්පාදනය සඳහා දක්ෂ පිරිසක් සිටිය යුතුය. එසේම බෙදා හැරීමේදී හා අලෙවියේදී වඩාත් වැදගත් වන්නේ සේවාවයි. පාරිභෝගිකයන්ගේ සිත් දිනා ගැනීමට හැකි පිරිසක් සිටී නම් භාණ්ඩයක් අලෙවි කිරීම පහසුය. එම හැකියාව ඈත අතීතයේ සිට මුස්ලිම් ජනතාව සතුව තිබූ බව අප අමතක නොකළ යුතුය. මෙම හැකියාව තමන් සතු බව මුස්ලිම් ජනතාව ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ. නාගරික ප්‍රදේශවල ඇති ව්‍යාපාරික ස්ථාන බොහොමයක හිමිකාරීත්වය ඇත්තේ මුස්ලිම් ජනතාවටය. ඔවුන් එම ඉලක්කය වෙත ගොස් තිබෙන්නේ ව්‍යාපාරික ඥානය හා පාරිභෝගික ආකර්ෂණය දිනා ගනිමින් ව්‍යාපාර කිරීම හේතුවෙනි. අද මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන උදවියට පවා මෙම යථාර්ථය පිළිබඳව අවබෝධයක් ඇත.

සිංහල හා මුස්ලිම් ව්‍යාපාරිකයන් අතර පවත්නා සීතල යුද්ධය, පාස්කු ප්‍රහාරයට පෙර සිටම සමාජය තුළ පැවැතිණි. හලාල්කරණය, වඳ පෙති ආදි සිදුවීම් ඔස්සේ කරළියට පැමිණියේ ද මෙම ප්‍රශ්නයමය. විශේෂයෙන් මෙම සීතල යුද්ධය කේන්ද්‍රව පැවතියේ නගරයටය. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වර්ජනය කිරීම සම්බන්ධව මෙයට ප්‍රථමද සමාජයේ කතා බහක් ඇති විය. එහෙත් ඒවාට එතරම් ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්වන්නට සිංහල සමාජය පියවර නොගත්තේය.

පාස්කු ප්‍රහාරයත් සමඟ සමාජයේ ඇතිවූ තත්ත්වය පෙර පැවැති තත්ත්වයට බෙහෙවින් වෙනස් වූවකි. සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම්වලට මෙන්ම මැතිවරණ ඉලක්ක කර දේශපාලනය කරන්න දේශපාලනඥයින්ට ද සිංහල බෞද්ධ ජනතාවගේ හැඟීම් අවුස්සන ප්‍රකාශ කරන්නට අවශ්‍ය පසුබිම මෙම සිදුවීම් පෙළෙහි ගැබ්ව තිබිණි. ඇතැම් මාධ්‍යය ද ඊට අවශ්‍ය පසුබිම සැකසුවේය. මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට යනවා තබා අසනීප අවස්ථාවක මුස්ලිම් වෛද්‍යවරයකු වෙතින් ප්‍රතිකාර ගන්නට පවා නොයන තැනකට සමාජය තල්ලු විය. සමාජයේ එකට ජීවත් වූ ජන කණ්ඩායම් දෙකක් එකිනෙකාට එරෙහිව වෛරය පතුරුවන තැනක් දක්වා මෙය දුරදිග ගියේය. මෙම බෙදීම ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙලා ගත්තේය. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් කුලී රථවල පවා සිංහල ජනතාව ගමන් බිමන් නොගියහ.

තටු ලැබූ ප්‍රවෘත්ති

සෞඛ්‍යය යනු ඍජුවම ජීවිතයට බලපාන්නා වූ ක්ෂේත්‍රයකි. සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කළ බව කියන වෛද්‍යවරයා එසේ කළේද නැද්ද යන්න සම්බන්ධව ආණ්ඩුව රටට ස්ථිර යමක් කඩිනමින් කිව යුතුය. ආණ්ඩුව දැන් කරමින් සිටින්නේ පෞද්ගලික මාධ්‍යය ඔස්සේ යම් යම් පිරිස් විසින් අදාළ වෛද්‍යවරයාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි. එක් පාර්ශ්වයක් විසින් සිදු කරන ප්‍රකාශ සමාජගත වීම ඔස්සේ මුස්ලිම් ජනතාව කෙරෙහි කිසියම් හෝ වෛරයකින් පසුවන සිංහල ජනතා ප්‍රතිශතය සුළුවෙන් හෝ ඉහළ යෑමට හේතු වනු ඇත.

මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වර්ජන අදහස ව්‍යාප්ත වීමට මෙයද එක් ප්‍රබල හේතුවක් විය. මෙම තත්ත්වය ප්‍රාථමික මට්ටමේ ආර්ථික ක්‍රියාවලියට දැඩිව බලපා තිබේ. ආහාර වලට වඳ පෙති දමන බවට එල්ල වූ චෝදනා ද කාන්තාවන් වඳ කිරීමේ සිද්ධියේදී මෙන්ම තටු ලබා සමාජය පුරා පියඹා ගියේ ආණ්ඩුව එම චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය, තහවුරු කිරීමට කටයුතු නොකළ නිසාය. ආහාර පරීක්ෂා කිරීම සඳහා බලය ඇති නිලධාරීන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සිටියදී ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූයේ ඇයිද යන්න ප්‍රශ්නයකි. මේවා සුළුවට තැකීමේ ප්‍රතිඵල දැන් දක්නට ලැබෙන අතර අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීම තේරුමක් නොමැති බව ආණ්ඩුව දැන් හෝ තේරුම් ගත යුතුව තිබේ.

මේ මොහොතේ රටේ පවතින තත්ත්වය තුළ කිසිදු ආයෝජකයකු රටට පැමිණ ව්‍යාපාර ආරම්භ කිරීමට සුදානම් නැත. විදේශකයින් නොපැමිණීම නිසා තරු හෝටල් ක්ෂේත්‍රය බිඳ වැටී බොහෝ පිරිසකට රැකියා පවා අහිමිවී ඇත. සමාජ හා ආර්ථික බෙදීම් තවදුරටත් පැවතුණ හොත් තව තවත් ආර්ථිකය පහත වැටීම කිසිදු අයුරකින් වැළැක්විය නොහැකිය. බෙදී වෙන්ව ගොස් තිබෙන සමාජය ඒකීය සමාජයක් බව පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. සෑම ජන කොටසකටම එක ලෙස බලපාන්නා වූ පොදු නීති පද්ධතියක අවශ්‍යතාව දැන් පෙරටත් වඩා දැනෙන තත්ත්වයක් රටේ නිර්මාණය වී තිබේ. උඩරට පහත රට යනුවෙන් සිංහල සමාජය තුළ පවත්නා විවාහ ක්‍රම ද පොදු ක්‍රමයක් වෙත ගෙන ආ යුතුය. ආගම අවශ්‍ය වන්නේ පුද්ගලයකු වඩාත් යහපත් ජීවිතයක් සඳහා යොමු කිරීමටය. පුද්ගලයකු ජීවත්වීමේදී ආගමක් ඇදහීම වරදක් නැත. එසේ නොමැතිව පුද්ගලයකු ආගම නිසා ජීවත් වන්නේ නම් එය අනුමත කළ නොහැකි දෙයකි. ආගමට ලබා දිය යුත්තේ ද්විතියික ස්ථානයකි.

පුහු වර්ජන

සිංහල රජ දවස මුස්ලිම් ජාතිකයන් මෙරටට පැමිණියේ වෙළෙඳාම සඳහාය. පසුකාලීනව ඔවුහු රජුන්ගේද සිත් දිනා ගනිමින් ආවාහ විවාහය කර ගනිමින් මෙරට පදිංචි වූහ. වර්තමාන ලෝකය එකම ගම්මානයක් බවට පත්ව ඇත. එහිදී ව්‍යාපාර අංශය ද එකම ජාලයක් බවට පත්ව තිබේ. දේශීය ව්‍යාපාර බොහොමයක් ජාත්‍යන්තරය හා බැඳී පවතී. එහිදී සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස ව්‍යාපාර වෙන් කර ගැනීම මහත් අසීරු කාර්යයකි. ව්‍යාපාරයේ හිමිකරු සිංහල ජාතිකයකු වුවත් ඔහු අලෙවි කරන භාණ්ඩ මුස්ලිම් හෝ දෙමළ ජාතිකයකුගේ නිෂ්පාදන විය හැකිය.

එසේ නොවන්නේ නම් ඒවා විදේශ රටකින් මෙරටට ආනයනය කරනු ලබන්නේ අන්‍ය ජාතිකයකුගේ වීමට වුව ද පුළුවන. මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවල අලෙවි කරන ඇතැම් භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන්නේ සිංහල බෞද්ධයන්ය. මුස්ලිම් වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලට නොගැනීමේදී එක් පැත්තකින් එය සිංහලයාගේ බඩටද වදී. මුස්ලිම් ප්‍රජාව පවත්වාගෙන යන ව්‍යාපාර ස්ථාන ප්‍රතික්ෂේප කර සිංහල ව්‍යාපාර ස්ථානයට යන පුද්ගලයා නොදැන මිලදී ගන්නේ මුස්ලිම් ජාතිකයන් මෙරටට ආනයනය කරන භාණ්ඩ විය හැකිය.

වත්මන් ව්‍යාපාර ජාලය දම්වැලක් මෙන් එකිනෙකට යා වි ඇත්තේ ජාති, ආගම් හෝ කුල බේද නොමැතිවය. එක් පුරුකක් ගලවා දැමුව හොත් එය සමස්ත ක්‍රියාවලියටම බලපාන්නේය. මෙම වර්ජනය බොහෝ දුරක් පවත්වා ගෙන යා නොහැකිය. පවතින සමාජ අර්බුදය විසඳීමත් සමඟ මෙම මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වර්ජනයද නිමා වනු ඇත. පාරිභෝගිකයින්ට විශ්වාසවන්ත හා සුහදශීලි සේවාවක් ලබා දීමට අපොහොසත් වීමෙන් ව්‍යාපාර බිඳ වට්ටා ගත් පුද්ගලයින් ජාති, ආගම් බේද මවමින් බොර දියේ මාළු බාන තත්ත්වයක් තිබෙන බවද කනගාටුවෙන් වුව කිව යුතුව තිබේ.

සටහන
අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න