දහනවයයි අනූව! | දිනමිණ

දහනවයයි අනූව!

දහ නවයයි අනූව (1990) යන දුරකථන අංකය දැන් රට පුරාම ප්‍රචලිතය. එය කවුරුත් දන්නා දුරකථන අංකයක් බවට පත් වී ඇත්තේ ජනප්‍රිය පුද්ගලයකු නිසා හෝ ජනප්‍රිය ආයතනයක් නිසා හෝ නොවේ. එම අංකය ප්‍රචලිත වී ඇත්තේ ජනප්‍රිය සේවාවක් නිසාය. එය සුව සැරිය ගිලන් රථ සේවය ලෙස හැඳින් වේ. 2016දී සුව සැරිය ගිලන්රථ සේවය ආරම්භ වූ අතර එවකට එහි ‍සේවය බස්නාහිර පළාතට හා දකුණු පළාතට සීමා විය. එහෙත් අද වන විට මෙම ගිලන් රථ සේවය රට පුරාම ක්‍රියාත්මක ය. නොමිලේ දවසේ පැය විසිහතර පුරාම මහජනයාට මෙබඳු සේවාවක් ලබාදීමට හැකි වීම ගැන ආණ්ඩුව සැබෑවටම සතුටු විය යුතුය.

ලෝකයේ දියුණු රටවල් බොහොමයක් නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්නේ නැත. එම රටවල ජනතාව ප්‍රතිකාර සඳහා මුදල් ගෙවිය යුතුය. තවත් රටවල් රක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරයි. ඒ අනුව සෑම පුරවැසියකුම රක්ෂණයට දායක විය යුතුය. ඉන් අදහස් කෙරෙන්නේ රක්ෂණ කාඩ්පත හෝ මුදල් හෝ නැති අයට ප්‍රතිකාර ලබාගත හැකි ක්‍රමයක් නැති බවය. ඒත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට ඉඳුරා වෙනස් ය. මෙරට පවතින නිදහස් සෞඛ්‍ය සේවාවට අනුව ඕනෑම රෝගයකට නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකිය. මේ සේවාවෙහි දී පැවැති අඩුවක් වූයේ දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් නොතිබීමය. එයද සුව සැරියෙන් සම්පූර්ණ වී ඇත.

අසාධ්‍ය රෝගියකු පරිස්සම්සහගතව රෝහලක් වෙත රැගෙන යාම අපේ දුප්පත් ජනතාව මුහුණ දුන් ගැටලුවක් සේ සැලකිය හැකිය. හෘද රෝගියකු, හදිසි අනතුරකට ලක් වූ තැනැත්කු හෝ දරු ප්‍රසූතියකට ආසන්න ගර්භණී මවක් අසාධ්‍ය තත්ත්වය සහිත රෝගියකු ලෙස හැඳින්විය හැකිය. බොහෝ විට මෙබඳු අය රෝහල වෙත රැගෙන යන්නේ ත්‍රිරෝද රථයකිනි. ත්‍රිරෝද රථය යනු ඉඩ පහසුකම් ඇති වාහනයක් නොවේ. රෝගියකු ප්‍රවාහනය කිරීම සඳහා එම රථය කිසිසේත්ම සුදුසු නැත. මේ අනුව අපේ රෝගීන් මරණයට පත් වූ අවස්ථා වැඩිය. එලෙසම පවතින රෝගයට අමතරව වෙනත් රෝග වැලඳුණු අවස්ථා ද වැඩිය. මේ තත්ත්වය සෝචනීය විය.

රෝගියකු ත්‍රිරෝද රථයකින් හෝ වෙනත් වාහනයකින් හෝ රෝහල වෙත රැගෙන යාම රෝගියාගේ රෝගී තත්ත්වය උත්සන්න කිරීමක් ලෙස ද සැලකිය හැකිය.

මෙබඳු අවස්ථාවකට ගැළපෙන උපකරණ වාහන තුළ නැත. එලෙසම ප්‍රථමාධාර ලබාදිය හැකි කෙනකු ද වාහන තුළ නැත. හෘද රෝගියකු දෙකට නවා ත්‍රිරෝද රථයකට තල්ලු කළ විට රෝගියා හුස්ම හිරවී මරණයට පත්වීමට ද පුළුවන. හදිසි අනතුරකට ලක් වූ තැනැත්තකුද මෙලෙස ත්‍රිරෝද රථයකට තල්ලු කළ විට කොඳු ඇට පෙළ ආබාධයකට ලක් වී, නැති රෝග ඇතිවන්නට ද පුළුවන. ත්‍රිරෝද රථ රියැදුරන් හෝ වෙනත් වාහනවල රියැදුරන් හෝ ආරක්ෂා සහිතව රෝගියකු ප්‍රවාහනය කරන ක්‍රමවේදය දන්නේ ද නැත.

රෝගියකු ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන යාහැකි නම්; එහි වාසි ගණනාවක් පවතී. එක වාසියක් වන්නේ රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමට හැකි වීමය. තව වාසියක් වන්නේ ඉතා කෙටි කලකින් රෝගියා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමට හැකිවීමය. තවත් වාසියක් වන්නේ රෝගියා සුරක්ෂිත ලෙස ද විශ්වාසවන්ත ලෙසද රෝහල වෙත රැගෙනයාමට හැකි වීමය. සුවසැරිය ගිලන් රථ තුළ පූර්ව වෛද්‍ය ප්‍රතිකාර සේවයක් ද ඇති බැවින් රෝගියාගේ ජීවිතය වඩාත් සුරක්ෂිතය. එය අපේ ජනතාව වෙත දෙවියන් ලබාදුන් ත්‍යාගයක් යැයි සමහරු කියති. සුව සැරියේ සේවාව දෙස බලන විට එය අතිශයෝක්තියක් නොවන බව ද පෙනේ.

‍ෙගවී ගිය කාලය තුළ සුව සැරිය ගිලන්රථ සේවය සඳහා ලැබුණු හදිසි ඇමතුම් ප්‍රමාණය එකොළොස් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව කියයි. එයින් රෝගීන් දෙලක්ෂ ගණනකට ක්ෂණික සේවාව ලබාදී ඇත. ගිලන් රථ තුළ දරු ප්‍රසූති අසූ නවයක් සිදුවී ඇති බවද වාර්තා වෙයි.

එම මව්වරුද දරුවෝ ද සුවෙන් සිටිති. දිනකට මේ ගිලන් රථ සේවය සඳහා ඇමතුම් 2000කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බව කියයි. එයින් පෙනී යන්නේ එම සේවාවෙහි ඇති අවශ්‍යතාවය යැයි කිව හැකිය. මිනිත්තු දොළහක් වැනි කෙටි කාලයක් තුළ දී රෝගියා සිටින ස්ථානයට ගිලන් රථය ළඟා වන බව ද කියයි. බස්නාහිර පළාතේ නම් මේ සඳහා ගතවන කාලය මිනිත්තු අටක් බව ද සඳහන් ය.

සුව සැරිය ගිලන්රථ සේවයට ඉතිහාස කතාවක් ද තිබේ. එම කතාවට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා 2015 මාර්තුවේදී ශ්‍රී ලංකාවට පැමිණි විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙබඳු ගිලන් රථ සේවයක් ඇතිකිරීම සඳහා සහයෝගය දක්වන්නැයි ඉල්ලීමක් කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2016 දී ගිලන් රථ සේවය ආරම්භ වන්නේ මුළුමනින්ම ඉන්දීය ආධාර යටතේ ය. මේ වන විට ඉන්දීය රජය සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 22කට වැඩි ප්‍රමාණයක් වැය කර ඇත. ඒ සියල්ල ආධාර ලෙස සලකන අතර ගිලන් රථ සේවයට අවශ්‍ය සේවකයන් පුහුණු කිරී‍ෙම් කාර්ය ද ඉන්දියාව භාරගෙන ඇත. සුව සැරිය ගිලන් රථ සේවය සංකේතවත් කරන්නේ ඉන්දියාවේ මිත්‍රත්වය යැයි කිව හැකිය.

2016 දී සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන විට ඊට දේශපාලන විරෝධතාවක් ද තිබිණි. එම විරෝධතාවලින් කියැවුණේ ඉන්දියාව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සූරා කෑම සඳහා ගිලන් රථ සේවයක් ආරම්භ කරන බවය. මෙය ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවයට වඩාත් අහිතකර ලෙස බලපාන බව ඇතැම් විවේචනවලින් කියැවිණි. අද වන විට ඒ සියල්ල බොරු වී ඇත. දිනකට මේ සේවය සඳහා ලැබෙන දුරකථන ඇමතුම් දෙදහසින් පෙනී යන්නේ මහජනයා ඒ කෙරෙහි තබා ඇති විශ්වාසයයි. සුවසැරිය ගිලන් රථ සේවය අපේ නිදහස් සෞඛ්‍ය සේවාව පරිපූර්ණ කර ඇති බව ද කිව යුතුය.

මේ වන විට රජයට අනුබද්ධ පදනමක් මඟින් සුව සැරිය ගිලන් රථ සේවය පාලනය කරනු ලැබේ. එහි සේවය කාර්යක්ෂමය. ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඉහත පදනමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරයි.

නව අදහස දක්වන්න