පාකිස්තානය හමුවේ දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු බිඳ වැටෙයි | දිනමිණ

පාකිස්තානය හමුවේ දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු බිඳ වැටෙයි

දකුණු අප්‍රිකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබියදී වේලාසනින්ම තරගාවලියේ ඉවත් වීමට පෙරේදා සිදුවිය. ඒ තරගාවලියේ 30 වැනි තරගය ලෙස පාකිස්තානය සමගින් ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේ පැවැති තරගය ලකුණු 49කින් පරාජයට පත්වීම හේතුවෙනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 308ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 259ක් පමණි.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ දෙවැනි ඕවරයෙන්ම මොහොමඩ් අමීර් හමුවේ හසීම් අම්ලා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් අනතුරුව ක්වින්ටන් ඩි කොක් සමග එක්වූ නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 87ක සබඳතාවක් ගොඩනගමින් මුළු ලකුණු සංඛ්‍යාව 91 දක්වා ඉදිරියට ගෙන ගියේය.

ලකුණු 12ක් තුළ ඩි කොක් (47) සහ එඩින් මාක්‍රම් (7) පිටියෙන් ඉවත් කරමින් තරගය පාකිස්තානය දෙසට හරවා ගැනීමට ශදාබ් ඛාන් සමත්වූ අතර ඩු ප්ලෙසිගේ ඉනිම ලකුණු 63කට සීමා කරමින් තරගාවලියේ කඩුලුලාභීන් අතර යළිත් පෙරමුණ ගැනීමට මොහොමඩ් අමීර් සමත් විය. හතරේ පහර 5ක් සමගින් පන්දු 79කින් ලකුණු 63ක් ලබාසිටි ප්ලෙසි දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 136ක් විය.

ඩේවිඩ් මිලර් (31) සහ රෙසී වැන් ඩර් ඩුසෙන් (36) 5 වැනි කඩුල්ලට ලකුණු 53ක් එක්කළ අතර ලකුණු 3ක් තුළ ඔවුන් දෙදෙනාම යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ඇන්ඩිලි පෙලුක්වායෝ වේගවත් ඉනිමක් දියත් කරමින් හතරේ පහර 6ක් සමගින් පන්දු 32කින් ලකුණු 46ක් රැස්කළ ද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. දකුණු අප්‍රිකානු ඉනිමේ බිඳ වැටුණු අවසන් කඩුලු 3 ට හිමිකම් කී හැරිස් සොහේල් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

හැරීස් සොහේල් දියත් කළ වේගවත් පිති හරඹයත්, බාබර් අසාම් රැස්කළ ලකුණු 69ක් හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.

පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ෆකාර් සමාන් සහ ඉමාම් උල් හක් ලකුණු 81ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුහ.

ඔවුන් දෙදෙනාම ලකුණු 44ක් බැගින් ලබා සිටියදී ඉම්රාන් තාහීර් හමුවේ දැවී ගිය අතර දෙවැනි කඩුල්ල අහිමි වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 98ක් විය. ලකුණු 20ක් ලබාසිටි මොහම්මඩ් හෆීස් දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි හැරිස් සොහේල්, බාබර් අසාම් සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 244 දක්වා ඉදිරියට ගෙන ගියේය. පන්දු 68කදී ලකුණු 81කින් ගොඩනැගු එම සබඳතාව නිමා කිරීමට ඇන්ඩිලි පෙලුක්වායෝ සමත්වූයේ ලකුණු 69ක් ලබාසිටි අසාම් දවා ගැනීමෙනි. පන්දු 80කට මුහුණදුන් අසාම් හතරේ පහර 7ක් එල්ල කර තිබිණි.

ඒ සමගින් ප්‍රතිහාරය වේගවත් කළ සොහේල් ඉමාඩ් වසීම් (23) සමගින් 5 වැනි කඩුල්ලට ලකුණු 71ක් එක්කළේ පන්දු 40කිනි. පන්දු 15කින් ලකුණු 23ක් ලබාගත් වසීම් දවා ගැනීමට සමත්වූ ලුන්ගි එන්ගිඩි තවත් ලකුණු 12ක් තුළ වහබ් රියාස් සහ සොහේල්ද දවා ගත්තේය. හතරේ පහර 9කින් සහ හයේ පහර 3කින් ලකුණු 89ක් රැස්කළ සොහේල් ඒ සඳහා වැය කළේ පන්දු 59ක් පමණි.

මේ තරගයෙන් පසු දකුණු අප්‍රිකාවට, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සමගින් තරග 2ක් ඉතිරිව තිබේ. පාකිස්තානය සහභාගීවන ඊළඟ තරගය 26 වැනිදා පාකිස්තාන සමගින් පැවැත්වෙයි.


නව අදහස දක්වන්න