ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුනෙන් දෙකක් නිමයි කණ්ඩායම් 2ක් අපරාජිතයි | දිනමිණ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුනෙන් දෙකක් නිමයි කණ්ඩායම් 2ක් අපරාජිතයි

එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා වනවිට මුලික වටයේ තරග 30ක් නිමාවට පත්විය. එය තරගාවලියෙන් තුනෙන් දෙකක ප්‍රමාණයකි. තරගාවලියේ මූලික වටයට තරග 45ක් ඇතුළත් වන අතර තවත් තරග 15ක් ඉතිරිව තිබේ.

නවසීලන්තය පෙරමුණේ

තරග 30ක් නිමාවනවිටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව සිටින්නේ අපරාජිතවය. තරග 15ක් නිමාවනවිටත් අපරාජිත පෙරමුණේ සිටි ඔවුන් තරග 6කින් 5ක් ජයගෙන +1.306ක දළ ලකුණු වේගයක් සමග ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 11කි. එක් තරගයක් වැස්සට සේදී ගියේය.

තරග 6කින් 5ක් ජයගෙන ඔස්ට්‍රේලියාව ලකුණු 10ක් (+0.849)සමගින් දෙවැනි ස්ථානයේ පසුවන අතර සහභාගිවූ තරග පහෙන් 4ක් ජය ගනිමින් ලකුණු 9ක් සමගින් ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසුවෙයි. (වර්ෂාව හේතුවෙන් ඔවුන්ටද තරගයක් අහිමිවිය.) එංගලන්තය සිවුවැනි තැන පසුවන්නේ තරග 6කින් 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු 8ක් සමගිනි. මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. කණ්ඩායම් 10 අතරේ ඇෆ්ගනිස්තානය සහභාගිවූ තරග හයෙන්ම පරාජයට පත්ව අවසන් ස්ථානයේ පසුවෙයි.

වැඩිම ලකුණු සත්කාරකයන්ගෙන්

තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට සත්කාරක එංගලන්තය සමත්ව සිටී.

තරගාවලියේ 24 වැනි තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 6කට ලකුණු 397ක් ලබා ගැනීමට එංගලන්තයට හැකිවූ අතර දෙවැනි වැඩිම ලකුණුද එංගලන්තය විසින්ම වාර්තා කර තිබේ. ඒ තරගාවලියේ 12 වැනි තරගය ලෙස කාඩිෆ් හිදී පැවැති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ඔවුන් කඩුලු 6කට ලකුණු 386ක් රැස් කිරීමය. බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5කට ලකුණු 381ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියා තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළේය.

තරග 6කට සහභාගිවූ ශ්‍රී ලංකාවේ ඉහළම ලකුණු සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස්කළ ලකුණු 247යි.

මේ තරග 30 දී කණ්ඩායම් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය අවස්ථා 17ක් වාර්තා වෙයි. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සිවුවරක් බැගින් එම සීමාව ඉක්මවා ගොස් ඇති අතර බංග්ලාදේශය තෙවරක් එම සීමාව පසුකර තිබේ. පාකිස්තානය සහ ඉන්දියාව 2ක් බැගින් ලකුණු 300 පසුකර ඇති අතර දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල එක් අවස්ථාවක් බැගින් එම සීමාව පසුකර තිබේ.

අඩුම ලකුණු පාකිස්තානයෙන්

තරගාවලියේ දෙවැනි තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 105කට දැවී යෑම තවමත් තරගාවලියේ අඩුම ලකුණු ලෙස වාර්තා වෙයි.

දකුණු අප්‍රිකාව හමුවේ ඇෆ්ගනිස්තානය ලකුණු 125කට දැවී ගිය අතර ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ ලකුණු 136කට දැවී ගොස් තිබේ.

වැඩිම අතිරේක ලකුණු

මේ වනවිට කණ්ඩායමක් ලබාදුන් වැඩිම අතිරේක ලකුණු ප්‍රමාණය වාර්තා වන්නේ ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන තරගයේදීය. එහිදී පළමුව පන්දු යැවූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් අතිරේක ලකුණු 35ක් ලබාදී තිබිණි.

ඔස්ට්‍රේලියාව සමග තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල අතිරේක ලකුණු 27ක් ලබාදී ඇති අතර බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී කොදෙව්වන් විසින් අතිරේක ලකුණු 26ක් ලබාදී ඇත.

වැඩිම ලකුණු ඩේවිඩ් වෝනර්ට

තරග 6කදී ලකුණු 447ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙවර තරගාවලියේ තරග 30ක් නිමාවනවිට වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. ශතක 2කට සහ අර්ධ ශතක 2කට හිමික්ම් කියන ඔහුගේ හොඳම ඉනිම බංග්ලාදේශට එරෙහිව ලකුණු 166ක් රැස් කිරීමයි. බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් තරග 5කදී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 425ක් ලබා දෙවැනි තැන පසුවන අතර එංගලන්තයේ ජෝ රූට් තෙවැනි තැන අත්කරගෙන ඇත්තේ ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමග ලකුණු 424ක් රැස් කරමිනි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න තරග 4කදී අර්ධ ශතක 2ක් ලබා ලකුණු 180ක් සමගින් සමස්ත පිතිකරුවන් අතර පසුවන්නේ 22 වැනි ස්ථානයේයි.

වැඩිම කඩුලු මොහොමඩ් අමීර්ට

පාකිස්තානයේ මොහොමඩ් අමීර් කඩුලුලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ තරග 6කදී කඩුලු 15ක් බිඳ දමමිණි. ඒ සඳහා ඔහු ප්‍රතිවාදීන්ට ලබාදී ඇත්තේ ලකුණු 219ක් පමණි.

එංගලන්තයේ ජොෆ්රා ආචර් තරග 6කදී ලකුණු 269කට කඩුලු 15ක් දවා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් තරග 6කදී කඩුලු 15ක් දවා ගෙන සිටින්නේ ලකුණු 304ක් ලබා දෙමිනි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලසිත් මාලිංග තරග 4කදී කඩුලු 8ක් දවා ගනිමින් කඩුලුලාභීන් අතර 11 වැනි ස්ථානයේ පසුවෙයි.

ඉහළම ඉනිම

මෙතෙක් වාර්තාවු ඉහළම ඉනිමට හිමිකම් කියන්නේ ඩේව්ඩ් වෝනර් ය. ඔහු බංග්ලාදේශය එරෙහිව පැවැති 26 වැනි තරගයේදී ලකුණු 166ක් රැස් කිරීමට සමත්වූයේ පන්දු 147කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.

එංගලනත්යේ ජේසන් රෝයි සහ ඔස්ට්‍රේලියාවේ ඇරොන් ෆින්ච් ලකුණු 153ක් බැගින් රැස්කර තිබේ.

හොඳම පන්දු යැවීම

පාකිස්තානයේ මොහොමඩ් අමීර් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 30කට කඩුලු 5ක් දවා ගැනීම මෙතෙක් තරගයක වාර්තා වූ හොඳම පන්දු යැවීමයි. නවසීලන්තයේ ජෙම්ස් නීෂම් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 31කට කඩුලු 5ක්, ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් කොදෙව්වන්ට එරෙහිව ලකුණු 46කට කඩුලු 5ක් දවාගෙන තිබේ.

කඩුල්ල පිටුපස සිට වැඩිම දවා ගැනීම්

මේ වනවිට කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් අතරින් වැඩිම සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඇලෙක්ස් කෙරීය. ඔහු තරග 6කදී උඩ පන්දු 13ක් සහ ස්ටම්ප් කිරීමක් සමගින් දවා ගැනීම් අවස්ථා 14කට දායකත්වය ලබාදී තිබේ.

නවසීලන්තයේ ටොම් ලැතම් තරග 5කදී දවා උඩ පන්දු 12ක් රැකගෙන ඇති අතර කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ශායි හෝප් තරග 6කදී රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 12කි.

ලකුණු සබඳතා

බංග්ලාදේශයට එරෙහිව ඩේවිඩ් වෝනර් සහ උස්මාන් කවාජා දෙවැනි කඩුල්ලට එක්කළ ලකුණු 192 මෙවර තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ ඉහළම සබඳතාව ලෙස සටහන් වෙයි. බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සහ ලිටොන් දාස් කොදෙව්වන්ට එරෙහිව සිවුවැනි කඩුල්ලට ලකුණු 189ක්, එංගලන්තයේ ජෝ රූට් සහ ඔයින් මෝගන් ඇෆ්ගනිස්තානය සමග තරගයේදී තෙවැනි කඩුල්ලට ලකුණු 189ක සබඳතා ගොඩනගා තිබේ.

ලකුණු වැඩිම තරගය

තරගයක කණ්ඩායම් දෙකම එක්ම රැස්කළ ඉහළ ලකුණු වාර්තා වන්නෙ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර 26 වැනි තරගයේදීය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 381ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය බංග්ලදේශය කඩුලු 8කට ලකුණු 333ක් රැස්කර තිබේ. ඒ අනුව කණ්ඩායම් දෙකම කඩුලු 13කට ලකුණු 714ක් රැස් කිරීමට සමත්විය. එංගලන්තය සහ පාකිස්තානය අතර තරගයේදී ලකුණු 682ක් වාර්තා වන අතර ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගයේදී ලකුණු 668ක් වාර්තා වෙයි.

තරග 4ක ජය වැස්සට

මෙතෙක් පැවැති තරග 30 අතුරින් 4ක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට තිබූ 11 වැනි තරගය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 16 වැනි තරගය සහ ඉන්දියාව සහ නවසීලන්තය අතර 18 වැනි තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමෙන් තොරව අත්හැර දැමුණි. දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 15 වැනි තරගය ඕවර 7.3කට සීමා විය.

නව අදහස දක්වන්න