මහජන-ජාතික ආරක්ෂාව පටලවාගෙන හිටපු පාලකයන් ජාතිවාදී ප්‍රකාශවලින් පටු දේශපාලනයක් කරනවා | දිනමිණ

මහජන-ජාතික ආරක්ෂාව පටලවාගෙන හිටපු පාලකයන් ජාතිවාදී ප්‍රකාශවලින් පටු දේශපාලනයක් කරනවා

චමීර ඇල්ලදෙණිය

මහජන ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව පටලවාගෙන හිටපු පාලකයන් ජාතිවාදී ප්‍රකාශ කරමින් පටු දේශපාලනයක් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

මහජන ආරක්ෂාව ගොඩනැගිය හැක්කේ ජාතික සමගියෙන් පමණක් බවත් ජාතිවාදය අවුලවන අයට ජාතික ආරක්ෂාව

ඇති කළ නොහැකි බවත් සිල්වා මහතා පෙන්වා දුන්නේය.

කොළඹ සමාහික කේන්ද්‍රයේ ඊයේ (24) පැවැති ජනතා විමුක්ති පෙරමුණ යෝජනාමාලව ජනගත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේය.

එහි දී අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

පසුගිය පාස්කු ඉරිදා එල්ල කරන ලද උමතු අන්වාදී ප්‍රහාරයන් සමඟ රට තුළ උද්ගතව ඇති ජාතිවාදී අන්තවාදී ප්‍රවනතාවන් හමුවේ අනතුරේ වැටී තිබෙන ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ජාතික සමගිය ගොඩ නැ‍ඟීමට ගත යුතු ක්‍රියාමාර්ග මෙම යෝජනා මාලාවේ ඇතුළත්ව ඇත.

පොදු ප්‍රතිසංස්කරණ යෝජනා, මහජන ආරක්ෂාව, නීති ප්‍රතිසංස්කරණය, ආගමික ආයතන ප්‍රතිසංස්කරණ හා පරිපාලනය, අධ්‍යාපනය, ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ඇති කිරීම සඳහා වන රාජ්‍ය ආයතන හා පොදු ප්‍රතිසංස්කරණ, ජනමාධ්‍ය සහ ආගමික වියතුන් සතු විශේෂ කාර්යභාරය යන ප්‍රධාන තේමා අටක් යටතේ මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.

දේශපාලනය ඉදිරියේ දී තීරනාත්මක පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ සඳහා පෙළ ගැසිය යුතුයි. මේ ජනගත කරන යෝජනා ජනතාව වෙනුවෙන්ම සකස් කළ ඒවායි. මෙයින් ඉදිරියේ දී දේශපාලනය තුළ හොරුන් බිහි වන්නේ නැහැ.

තවත් ප්‍රහාරයක් එල්ලවේදැයි බියෙන් ජනතාව හිටියා. මේ බියෙන් ඇතිවූ නරකම සිදුවීම තමයි ඒ බය භාවිත කරලා ජාතිවාදය වපුරලා දේශපාලනය කරන්න උත්සාහ කළා. ඒ නිසයි මැයි 13 වැනිදා තවත් ප්‍රහාරයකට ජනතාව බිය ගැන්නුවේ. මේ ප්‍රහාරය නිසා රටේ ඇතිව තිබෙන තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුම්වත් කර ඉදිරියේ දී ගත යුතු පියවර ගන්නවා. 83 ජාතිවාදී කෝලාහලයක් ඇතිවෙලා වසර 30ක යුද්ධයක් ඇති වුණා. ඒ නිසා විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වුණා. එයින් අපට ඇතිවූ හානිය මිල කරන්න බැහැ. ලෝක ප්‍රජාව ඉදිරියේ අපි ඒ නිසාම ලැජ්ජාවට පත්වුණා. එය නිමා කරලා වසර නවයක් ගත වන විට අන්තවාදීන් ප්‍රහාර එල්ල කළා. දැන් රටේම යුද තත්ත්වයක් වගේ මුරපළවල් දමා තිබෙනවා. රට හදන සංවාදය වෙනුවට රට රකින සංවාදයක් ආරම්භ වුණා. රට හදන සංවාදය දැන් කතා කරන්නේ නැහැ. ග්‍රාමීය සංවර්ධනය, කර්මාන්ත සංවර්ධනය, අධ්‍යාපන ප්‍රතිපත්ති, සෞඛ්‍ය ප්‍රතිපත්ති සංවාදය දැන් නැවතිලා. අන්තවාදී ප්‍රහාරය නිසා මේ සංවාදය නැවතුණා. මහජන ආරක්ෂාවටයි ප්‍රශ්නය වුණේ. මහජන ආරක්ෂාවයි රකින්න බැරි වුණේ. මෙය දිගින් දිගටම ගියොත් ජාතික ආරක්ෂාවට බලපෑමක් විය හැකියි. මේ ගැටලුව ඇති වුණ වේලාවේ හිටපු පාලකයන් මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව පටලවාගෙන ප්‍රකාශ කළා. ජනතාවට තිබෙන නිදහස මේ වන විට අහෝසි වෙලා තිබෙනවා. තවම මහජන ආරක්ෂාව සහතික වේලා නැහැ. මහජන ආක්ෂාව තහවුරු නම් පාසල් ළඟ හමුදාව ඉන්න බැහැ. මාර්ග බාධක තිබෙන්න බැහැ. ඒ නිසා අපට පෙනෙන විදිහට මහජන ආරක්ෂාව නැහැ. අපේ රටේ ජීවත්වන සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට බියේ ජීවත් විය යුතු නැහැ. මුස්ලිම් ජනතාව සිංහල ජනතාවට බයේ ජීවත් විය යුතු නැහැ. ආගම් ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීම තුළින් මහජන ආරක්ෂාව තහවුරු කළ හැකියි. මේ සඳහා සමාජවාදී මූලධර්ම මත යෝජනා මාලාවක් සකස් කළේ. එය ජනගත කළේ ඒ නිසයි. සිහිබුද්ධිය තිබෙන කිසිදු කෙනෙක් ජාතිවාදය වැළඳ ගන්නේ නැහැ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්විය.

 

නව අදහස දක්වන්න