එජාපයෙන් ජනාධිපතිවරණයට දේශපාලන පරිණත පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා | දිනමිණ

එජාපයෙන් ජනාධිපතිවරණයට දේශපාලන පරිණත පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා

එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියා වෙනසක් නොමැති බවත් රටට ඔබින, ජාතික මට්ටමේ නායකත්වයක් දිය හැකි දේශපාලන පරිණත කෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ, පසුගියදා මරදාන බුහාරි තයිකා මුස්ලිම් පල්ලියේ 234 වැනි සාංවත්සරිකය සහ දානමය අවස්ථාවකට සහභාගි වෙමිනි.

එ.ජා.ප.යෙන් සිදුවූ සියලු වැරැදි නිවැරැදි කරගෙන, ජනතාව තුළ විශ්වාසයක් ඇතිවන පරිදි කටයුතු කරන බවත් එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් තුළින් අපි ඉදිරියට යන්න අවශ්‍ය බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ. සියල්ලන්ම එකම පක්ෂයක්. එක්කෙනෙක් දෙන්නෙක් පීලි පැනලා කතා කළාට ඒක පක්ෂයේ ස්ථාවරය නෙමෙයි. එ.ජා.ප.යෙනුත් වැරදි සිදුවෙලා තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් නොමඟ යවන ප්‍රකාශ කරලා, පක්ෂය නැති කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ සියලු දේ නිවැරැදි කරගෙන, ජනතාව තුළ විශ්වාසයක් ඇතිකරන්න පුළුවන් ගමනක් අපි ආරම්භ කරනවා.

අද අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අත්වැල් බැදගෙනයි සිටින්නේ. ඒ අනන්‍යතාවය සනාථ කරන්න තමයි, අද අපි මේ මුස්ලිම් පල්ලියට පැමිණියේ. එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් තුළීන් අපි ඉදිරියට යන්න ඕන. ශ්‍රී ලාංකික යන පදනමෙන් ගියොත් අපි කාටවත් වරදින්නේ නැහැ.

නොයෙක් පුද්ගලයන් කිසිම ස්ථාවරයක් නොමැතිව,ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ විවිධ අදහස් සහ නාමයන් ඉදිරිපත් කරනවා. නමුත් මම වගකීමෙන් කියන්නේ, තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයා පිළබඳව තීරණයක් අරගෙන නැහැ. රටට ඔබින, ජාතික මට්ටමෙන් නායකත්වයක් දෙන්න පුළුවන් දේශපාලන පරිණතයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්නේ. එහෙම නැතිව, තමන්ගේ ප්‍රදේශයේවත් ජයග්‍රහණයක් හිමිකරගන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වන්නේ. විශේෂයෙන්ම ඒ පුද්ගලයා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු යන සැම පාර්ශ්වයක්ම ආරක්ෂා කරන්න, ජීවත් කරවන්න හැකියාවක් තිබෙන අන්තවාදි නොවන පුද්ගලයෙක් විය යුතුයි.

නව අදහස දක්වන්න