සෞඛ්‍ය ඉලක්ක සපුරා ගැනීමෙන් අපේ රට ලෝකයේ බොහෝ රටවල් පරදවා ඉදිරියෙන් ම සිටිනවා | දිනමිණ

සෞඛ්‍ය ඉලක්ක සපුරා ගැනීමෙන් අපේ රට ලෝකයේ බොහෝ රටවල් පරදවා ඉදිරියෙන් ම සිටිනවා

වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය අනුලා විජේසුන්දර

රටක් ජයගත යුතු සෞඛ්‍ය අභියෝග රැසක් ජයගත් රටක් ලෙස ශ්‍රී ලංකාව විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ දේශයකි. ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය හා සංවර්ධනය අනිත් ලෝකයේ බොහොමයක් දියුණු රටවල තත්ත්වයන්ට සමාන්තර මට්ටමක පවතින අපේ රට ඇතැම් සෞඛ්‍ය ඉලක්ක ජයගෙන ඇත්තේ මුළු මහත් ආසියා කලාපයම අභිබවා ප්‍රථම ස්ථානය දිනා ගනිමිනි. ජන්ම, ළදරු හා මාතෘ මරණ අවම අගයක පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවම ආසියා කලාපයේ රටවල් අතරින් මුල් තැන හිමි වෙයි. දේශීය මැලේරියාව, පෝලියෝ, කක්කල් කැස්ස, ළමා පිටගැස්ම හා වසූරිය වැනි වසංගත රෝග සහමුලින්ම තුරන් කළ රටක් බවට ශ්‍රී ලංකාව පත් වූයේ අදින් දශක ගණනාවකට පෙර පටන්ය. ලාදුරු, එච්.අයි.වී., ඒඩ්ස්, බරවා සහ රැබෙල්ලා රෝග තුරන් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා සිටින අපේ රට මේ වන විට එකී රෝග තුරන් කිරීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය අපේක්ෂාවෙන් පසු වෙයි.

උක්ත සෞඛ්‍ය ජයග්‍රහණ අත්පත් කර ගැනීමෙහිලා රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සපයන දායකත්වය සුවිශාලය. එකී පාර්ශ්වකරුවන් අතර ජනතා සෞඛ්‍ය සුරකින ඒ සඳහා රජය ඇතුළු අනෙකුත් අදාළ ආයතන හා බලධාරීන් දැනුවත් කරමින් උපදෙස් හා නිසි මාර්ගෝපදේශන සපයන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මුල් තැනක වැජඹෙයි. ජනතා සෞඛ්‍ය සංරක්ෂණය සහ ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින් ඉටු කෙරෙන මෙහෙවර පිළිබඳ විමසන්නට පසුගියදා අපි එහි සභාපතිනිය මහාචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය හමුවිය.

සෞඛ්‍ය ඉලක්ක සපුරා ගැනීම අතින් අපේ රට ලෝකයේ බොහෝ රටවල් පරදවා ඉදිරියෙන්ම සිටිනවා. එහෙත් වහාම පිළියම් කර ජයගත යුතු සෞඛ්‍ය ගැටලු රැසක් තවමත් අප හමුවේ පවතිනවා. එකී සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා රජයට මෙන්ම අදාළ සෙසු බලධාරීන්ට මඟ පෙන්වීම සහ තාක්ෂණික දැනුම ලබාදීම වෛද්‍යවරුන් වන අපගේ යුතුකමක් සහ වගකීමද වෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සතු කාර්යභාරයන් අතරින් උක්ත වගකීම සහ යුතුකම ඉටු කිරීම සඳහා උපරිම සහය ලබාදීම අපේ අරමුණයි මහාචාර්ය විජේසුන්දර පවසයි.

2019 - 2020 වසර තුළ අප විසින් හඳුනාගත් ප්‍රධාන සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා හැකිතරම් කැප වී කටයුතු කිරීමට අප සංගමය කටයුතු කරනවා.

දැනට අපේ රට මුහුණ පා සිටින ප්‍රධාන සෞඛ්‍ය ගැටලු දහයක් අපි හඳුනාගෙන තිබෙනවා. එම ගැටලු දහය වන්නේ

බෝ නොවන රෝග (NCD - Non Commnnicable Diseases) වළක්වා ගැනීම

දුම්කොළ මත්වතුර සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් ජනතාව බේරා ගැනීම

අන්තරායකර ඖෂධවලින් ඇතිවන හානිය වළක්වා ගැනීම

සිය දිවි නසා ගැනීම වළක්වාලීම

ඩෙංගු වසංගතයෙන් මිය යාම වළක්වා ගැනීම

2020 වන විට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය තුරන් කිරීම

මහමඟ අනතුරුවලින් සිදු වන මරණ වළක්වා ගැනීම

'මැලේරියාවෙන් තොර රටක්' ලෙස ශ්‍රී ලංකාව පවත්වාගෙන යාම

වියපත් ජනගහන වර්ධනය රටේ සමාජ ආර්ථික ගැටලුවක් නොවන පරිදි කටයුතු කිරීම

හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය (CKDn) සහ කෘෂිකාර්මික ප්‍රදේශවල පවතින වකුගඩු රෝගය (CINAC) වළක්වා ගැනීම හා අවම කිරීම යන ඒවා

මෙම අභියෝග ජය ගැනීම සඳහා අප සංගමය දැනටමත් කටයුතු කරමින් සිටිනවා යැයි මහාචාර්යතුමිය කීවාය.

'වර්තමානයේ අපේ රටේ මෙන්ම ලෝකයේද සිදු වන මරණ වලට ප්‍රධාන හේතුව වන්නේ කුමක් හෝ බෝ නොවන රෝගයක්. දියවැඩියාව, හෘදය ආබාධ, අධික රුධිර පීඩනය, ශ්වසන රෝග හා පිළිකා ප්‍රධාන බෝ නොවන රෝග ලෙස හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණවලින් 70%කටම හේතු වන්නේ බෝ නොවන රෝග. හෘදයාබාධ ඒ අතරින් ප්‍රධානයි. දෙවනුව පිළිකා සහ තෙවනුව ආඝාතය මෙරට මරණවලට හේතු වෙනවා. අපේ රටේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුම අධික රුධිර පීඩනයෙන් පෙළෙන මුත් එයින් ප්‍රතිකාර ලබා ගන්නේ 50%ක් පමණයි. රටේ නාගරික ජනගහනයෙන් සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම දියවැඩියාවෙන් පෙළෙනවා. සෑම නාගරික පිරිමින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම ස්ථූලතාවයෙන් ‍පෙළෙනවා. සෑම නාගරික කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුම ස්ථූලතාවයෙන් පෙළෙනවා. නාගරික ළමයින් අතර ස්ථූලතාවය මෙන්ම ළමා දියවැඩියාවද දක්නට ලැබෙනවා. මෙම රෝග තත්ත්ව වළක්වා ගන්නට ළමා වියෙහි පටන්ම යහපත් ආහාර රටාවකට‍ මෙන්ම කාර්යශීලී ජීවන රටාවකට ළමයින් හුරු කළ යුතුයි. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අභියෝගය ජය ගන්නට රජය සහ සෞඛ්‍ය සේවාවන් බලගන්වන්නට අපි සංගමයක් ලෙස සහයෝගය හා දැනුම ලබා දෙනවා. වෛද්‍යවරුන් මෙන්ම අධ්‍යාපන බලධාරීන්, සමාජ සේවා, මුදල්, අධ්‍යාපන ඇතුළු අදාළ අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සහය ලබාදීමට අපි සූදානම්.

සහශ්‍රා සංවර්ධන ඉලක්ක සපුරාලමින් බෝ නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාව ‍2030 වසර වන විට 1/3කින් අවම කිරීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාවයි. රජය මඟින් මෙරට ජනතාවට ලෝක සෞඛ්‍ය ආවරණය 75%ක් ලබා දෙමින් බෝ නොවන රෝග තුරන් කිරීම සඳහා කැප වී කටයුතු කරනවා. බෝ නොවන රෝග මර්ධනයට මෙන්ම ඩෙංගු සහ එච්.අයි.වී. ඒඩ්ස් වැනි වසංගත මෙරටින් තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙනවා. වෛද්‍ය අංශයෙන් රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දියත් කර ඇති වැඩසටහන්වලට අප සංගමයේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. වෛද්‍ය සංගමය මඟින් ඒ සඳහා සුදුසුකම් සහිත වෛද්‍යවරුන්ගෙන් යුත් අනු කමිටු පත් කර ඒ ඒ ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙනවා. මසකට වරක් මාධ්‍ය සම්මන්ත්‍රණ පවත්වා මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා.

අපේ රටේ පිරිමින් ගෙන් 33.4% දුම්වැටි උරනවා. දුම් උරන කාන්තාවන්ගේ ප්‍රතිශතය නම් 0.5%යි. දුම්වැටි වලින් ඇතිවන පිළිකා නිසා අපේ රටේ වසරකට 20000ක් දෙනා මරණයට පත් වෙනවා. හෘදයාබාධ සහ පෙනහළු ආබාධ වලටත් දුම්වැටි හේතු වෙනවා. ශ්‍රී ලංකාව දුම්වැටියට විරෝධී බොහෝ සාර්ථක බාධක පනවා තිබෙනවා. සිගරට් පැකට්වල 70%ක් රූපමය අවවාද යෙදීම, දුම්වැටි අළෙවිය පාලනය, ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම ‍තහනම් කිරීම වැනි දේ නිසා දැන් ජනතාව දුම් බීමෙන් බොහෝ දුරට ඈත් වෙමින් සිටිනවා.

මධ්‍යසාර භාවිතයත් ජයගත යුතු අභියෝගයක් ලෙස අප දකිනවා. මධ්‍යසාර භාවිතය හේතුවෙන් සෘජුව හා වක්‍රාකාරයෙන් වසරකට මෙරට පුරුෂයින් 18,000ක් මරණයට පත් වෙනවා. ලංකාවේ පිරිමින්ගෙන් 40%ක්ම සිය ජීවිත කාලයේදී මධ්‍යසාර භාවිතා කර තිබෙනවා. අඩු ආදායම් සහිත පවුල්වල ආදායමෙන් 1/3ක්ම ඔවුන් බීමට වැය කරන බව ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරියේ 2017 වාර්තාවෙහි සඳහන් වෙනවා. බීමතින් රිය පැදවීම මෙරට මාර්ග අනතුරුවලට බලපාන ප්‍රධාන හේතුවක්. 2018 වසරේදී පමණක් මහ මඟ අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව 3000ක්. මෙය යුද සමයේදී සිදු වූ මරණ සංඛ්‍යාවටත් වඩා වැඩියි. බොහෝ විට මෙම මරණ සියල්ල වළක්වා ගත හැකිව තිබූ ඒවා. මෙම ගැටලු අවම කර ගන්නට රජය මඟින් ගන්නා සියලුම සාධනීය පියවර සඳහා අපි සහයෝගය ලබා දෙනවා යැයි මහාචාර්යතුමිය පැවසීය.

'2020 වන විට ශ්‍රී ලංකාව මතින් තොර රටක්' බවට පත් කිරීමේ අරමුණැතිව ජනාධිපතිතුමා විසින් අරඹන ලද මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායෙහි කටයුතු සඳහා වෛද්‍ය සංගමය මඟින් ලබාදිය යුතු සහය අපි ලබා දෙනවා. ඒ මත් උවදුරින් රට රැක ගැනීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සම්මන්ත්‍රණයක් මේ මස 27දා පැවැත්වීමට සංගමය කටයුතු කර තිබෙනවා. ඩෙංගු මරණ වළක්වා ගැනීම, මැලේරියාව තුරන් කිරීමේ තත්ත්වය රැක ගැනීම, සිය දිවි නසා ගැනීම වළක්වා ගැනීම, එච්.අයි.වී., ඒඩ්ස්, පිළිකා වළක්වා ගැනීම හා ළමා හිංසනය වැළැක්වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණ රැසක් අප සංවිධානය කරනු ලැබුවා. මේ වන විට ඒවායින් කිහිපයක් පවත්වා අවසන්. ජනතාව දැනුවත් කිරීම සඳහා පා ගමන් හා චිත්‍ර තරඟ වැනි වැඩසටහන් ද සංවිධානය කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සාමාජීය හා සෞඛ්‍ය සංවර්ධනය අරමුණු කරගනිමින් අප සංගමය 2019 අය වැය සඳහා මධ්‍යසාර සහ දුම්කොළ භාවිතය අවම කිරීමේ යෝජනා කිහිපයක් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළා. ඒ බියර් මිල අඩු කිරීමෙන් වැළකීම, දුම්කොළ සමාගම් සඳහා බදු වැඩි කිරීම, පැණි බීම සඳහා බදු සහන ලබා නොදීම, පාසල් දරුවන් සඳහා වන රක්ෂණ වැඩසටහන නැවත තක්සේරු කිරීම යන යෝජනා. ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ‍ජාතික සහ අන්තර්ජාතික සම්මන්ත්‍රණ කිහිපයක් පවත්වනු ලැබුවා. 2020 වන විට ජාතික සහනසේවා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට සහය දක්වමින්‍ සංගමය පසුගියදා ජාතික සම්මන්ත්‍රණ කිහිපයක් දියත් කළා. සුව නොවන රෝගීන් සඳහා වන සහන සේවා සැපැයිම, වර්ධනය වන වැඩිහිටි ජනගහනයට අවශ්‍ය සමාජ ආර්ථික හා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවා සංවර්ධනය යන කරුණු පිළිබඳ වෛද්‍යවරුන් මාධ්‍ය හා ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජයගැනීම සඳහා ඔවුන් බලගැන්වීම අපේ අරමුණයි. ඒ අනුව ඉහත සඳහන්අභියෝග දහය ජයගැනීමට අවශ්‍ය දැනුම තාක්ෂණික සහය මෙන්ම මාර්ගෝපදේශනයද ලබාදීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කටයුතු කරනවා' යැයිද මහාචාර්යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

සාගරිකා දිසානායක ජයසිංහ


නව අදහස දක්වන්න