වස දී මුවන් මරා මස් බෙදූ ජාවාරම වනජීවියට කොටු | දිනමිණ

වස දී මුවන් මරා මස් බෙදූ ජාවාරම වනජීවියට කොටු

අම්බලන්තොට සමූහ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සහ හම්බන්තොට දිස්ත්‍රික් සමූහ පී. ඩබ්. කොඩිතුවක්කු

හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 21 හම්බන්තොට වල්සපුගල රක්ෂිතය හා ඒ අවට ඇති මඬ වැව ආසන්නයේ මළ පුඩු යොදා සහ ජලයට වස මුසුකර මුවන් ඝාතනය කර මුව මස් අලෙවි කිරීමේ ජාවාරමක නියැලී සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත්වී තිබේ .

අදාළ ප්‍රදේශයේ රැකවල්ලාගෙන සිටි වනජීවී නිලධාරීන් කම්බි මළ පුඩු අටවන ලද සැකකරුවන් තිදෙනා පැමිණ ඒ සඳහා මුවන් හසුවී ඇද්ද යන්න නිරීක්ෂණය කරමින් සිටියදී ඔවුන් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීහු පැවැසූහ.

ඉන් පසුව අදාළ ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමේදී පසුගිය දින කීපය පුරාවට ඝාතනය කරන ලද මුවන් සිවු දෙනෙකුගේ හිස් කොටස් හා ශරීර කොටස් මෙන්ම එම මුවන් ඝාතනය කිරීමට රක්ෂිතයේ නොයෙක් ස්ථානයන්හි අටවා තිබු කම්බි මළ පුඩු 40ක් ද වනජීවී නිලධාරීන්ට සොයා ගැනීමට හැකිවී තිබේ.

එමෙන්ම ජලයට වස මුසුකර ඝාතනය කරන ලද විශාල මුවකුගේ සිරුරක් ද එම ප්‍රදේශයේ වන ලැහැබක තිබී හමු වී තිබේ. එමෙන්ම ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වනජීවී නිලධාරී ප්‍රශ්න කිරීමේදී පසුගිය දින කීපය පුරාවට මුව මස් අලෙවි කළ ප්‍රදේශ දැනගැනීමෙන් අනතුරුව ඒ අනුව සිදුකළ වැටලීමකදී අම්බලන්තොට හෝටලයක තිබු මුවමස් කිලෝ 22ක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා 21 දින සවස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැර ඇති අතර චෝදනා ගොනුකිරීම අගෝස්තු මස 29 වනදාට කල් දමා තිබේ .

මෙම වැටලීම හම්බන්තොට අඩවි ආරක්ෂක සමන් පාලිත මහතාගේ ප්‍රධානත්වයෙන් වන සත්ව නියාමක රුවන් ජයන්ත ,ජනක සුරංග මෙන්ම කලමැටිය වනජීවී කාර්යාලයේ අඩවි සහකාර තුෂාර , වන සත්ව නියාමක සමන්ත සිරිවර්ධන , සහ රියදුරු ප්‍රදීප්,චාමර,කැළුම්,ධනුෂ්ක,ප්‍රියන්ත යන නිලධාරිහු ද සහභාගි වූහ.

ඡායාරූප - අම්බලන්තොට සමූහ

නව අදහස දක්වන්න