බැටිකලෝ කැම්පස් නිරීක්ෂණ වාර්තාව ඇමැති මණ්ඩලයට | දිනමිණ

බැටිකලෝ කැම්පස් නිරීක්ෂණ වාර්තාව ඇමැති මණ්ඩලයට

කමනි අල්විස්

බැටිකලෝ කැම්පස් ආයතනය (Batticloa Campus Pvt Ltd) පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිරීක්ෂණ වාර්තාවේ සටහනක් ඊයේ (24) ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අධ්‍යාපන මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා දිනමිණට පැවසීය.

මේ ආයතනය පිළිබඳ නීතිපතිවරයාගෙන් මත විමසුමක් ද සිදු කර තිබෙන බවත් මන්ත්‍රී මහාචාර්ය මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඇමැති මණ්ඩලය සති හයකින් මෙම සටහන පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම්දීම කළ යුතු බවත් මන්ත්‍රී මහාචාර්ය මාරසිංහ මහතා සඳහන් කළේය.

මෙම නිරීක්ෂණ වාර්තාව ඉකුත් 26 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

බැටිකලෝ කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන්නේ නැඟෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් හිරාස් හිස්බුල්ලා මහත්වරුන් ය.

බැටිකලෝ කැම්පස් ආයතනයට සෞදි අරාබියේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් අවස්ථා හතරක දී රුපියල් කෝටි තුන්සීයකට අධික මුදලක් පොලී රහිත ණය මුදල් ලෙස ලැබී තිබේ. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කර නොමැති බවත් වාර්තා වෙයි. තවද මෙරටින් ද කෝටි හැත්තෑවක පමණ මුදල් ලැබී තිබෙන බවත් වාර්තා වෙයි.

මෙම මූල්‍ය ලැබීම් සැක කටයුතු බැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක අවශ්‍යතාවය නිරීක්ෂණ වාර්තා මඟින් දැනුම් දී තිබේ.


නව අදහස දක්වන්න