මාදුළුවාවේ සෝභිත හිමි පිළිරුව විවෘත කිරීම අද | දිනමිණ

මාදුළුවාවේ සෝභිත හිමි පිළිරුව විවෘත කිරීම අද

මැදකොළඹ සමූහ

මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ කමිටුව විසින් රජයේ අනුග්‍රහයද ඇතිව පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයේ ඉදි කරන ලද මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව විවෘත කිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරු 3.00ට සිදු කෙරේ.

සෝභිත හිමියන් පසුපසින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාව ගමන් ගන්නා ආකාරය නිරාවරණය වන අයුරින් මේ ප්‍රතිමාව ඉදිකර තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිවරයාව සිටියදී මාදුළුවාවේ සෝභිත හිමියන් 2015 නොවැම්බර් 08 වැනි දින අපවත් වී වදාළහ.

මේ පිළිරුව සඳහා මුල්ගල් තැබුවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණසමරුව යෙදී තිබූ 2017 නොවැම්බර් මස 08 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මාදුළුවාවේ සෝභිත හිමියන් අනුගමනය කළ සහජීවන ප්‍රතිපත්තිය නිරූපණය කිරීමේ අරමුණින් මෙය ඉදි කළ බව මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ කමිටුව දිනමිණට පැවසූහ.

මාදුළුවාවේ සෝභිත හිමියෝ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී රටේ යහපාලනයක් ඇති කිරීම සඳහා කැපවී ක්‍රියා කළහ.

කතානායක කරු ජයසූරිය ,පාර්ලිමේන්තු ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු පාර්ලිමේන්තු හා නාගරික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු සර්වාගමික නායකයන් සහභාගිවීමට නියමිතය.

නව අදහස දක්වන්න