පොලීසියට එරෙහි මහජන පැමිණිලි අන්තර්ජාලයෙන් | දිනමිණ

පොලීසියට එරෙහි මහජන පැමිණිලි අන්තර්ජාලයෙන්

ගයාන් කුමාර වීරසිංහ

පොලීසියට එරෙහි මහජන පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ද ලබා ගැනීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

ලිඛිතව, වාචිකව, මෙන්ම වීඩියෝ මඟින් අන්තර් ජාලය ඔස්සේ පැමිණිලි භාර ගැනීමට හැකි ආකාරයට මේ වන විට ජාතික පොලිස් කොමිසමේ වෙබ් අඩවිය වැඩි දියුණුකර ඇතැයි පොලිස් කොමිසමේ තොරතුරු අනාවරණය කළේය. ජාතික පොලිස් කොමිසමේ එම වැඩ පිළිවෙළ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 28වෙනි දා කොළඹ දී පැවැත්වෙන උත්සවයක දී මහජනතාවට විවෘත කෙරෙන බව පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය‍.

එසේම පොලීසිය සම්බන්ධයෙන් මහජනතාව දකින ඇතැම් වැරැදි ක්‍රියා පවා තම අතේ ඇති ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ජාතික පොලිස් කොමිසමට යොමු කිරීමට ද හැකියාව ලැබෙන බව එම නිලධාරියා පැවැසීය.

තමන් කළ ඒ පැමිණිල්ලට කුමක් සිදුවී දැයි පහසුවෙන්ම සොයා බැලීමට ද එහිදී අවස්ථාව ලැබෙන බවද ඔහු සඳහන් කළේය. පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී පරිගණකයෙන් ම ලබාදෙන පරිශීලන අංකය 1960 අංකයට දුරකතන ඇමතුමක් දෙමින් සඳහන් කිරීමෙන් ඒ බව දැන ගැනීමට හැකි බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

මොරටුව විශ්වවිද්‍යාලය මේ සඳහා තාක්ෂණික සහයත් සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (අයි.ඕ.එන්) මූල්‍ය දායකත්වය ලබා දී තිබේ.

නව අදහස දක්වන්න