ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි සේනාරත්නගේ අවසන් කටයුතු අනිද්දා | දිනමිණ

ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි සේනාරත්නගේ අවසන් කටයුතු අනිද්දා

අභාප්‍රාප්ත ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ (83) අවසන් කටයුතු මේ මස 27 වැනි දින පස්වරු 3.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා ප්‍රකාශ කළේ ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙසේ නික්මයාම ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි.

දශක ගණනාවක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ දිදුලන තාරකාවක් ලෙස කටයුතු කළ ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ හඬ ඉතාම සුවිශේෂී බවද පැස්කුවල් මහතා පැවසීය. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයෙන් ළමා ගායිකාවක ලෙස සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ සේනාරත්න මහත්මිය රේඛාව ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායිකාවක මෙන්ම ගුවන් විදුලියේ ‘ඒ‘ ශ්‍රේණියේ ගායිකාවකි. ඇය ගැයූ රතුපාට මල්, වෙසක් කැකුළු අතු අග හිද, ආදරෙයි මම ආදරෙයි, සුදු සඳ එළියේ, ගයා ගීතයන් ගමේ ආදී ගීත රසික ප්‍රසාදය අතිශයින් දිනාගත් ඒවාය.

මේ වන විට ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.


නව අදහස දක්වන්න